July 28, 2014

ප්‍රවේශමෙන් භාවිතා කල යුතු CFL

කාර්යක්ෂම ආලෝක කරණයකට සහ ආලෝක කරණය සදහා වන විදුලි පරිභෝජනය අවම කරගැනීම සදහා යොදාගන්නා ප්‍රධාන උපක්‍රමයක් ලෙස CFL (compact fluorescent lamp)විදුලි පහන් භාවිතය වර්තමානය වනවිට ඉතා ඉහල ගොස් ඇත.සාමාන්‍ය විදුලි පහනක් (incandescent light) දල්වීමීදී ට වඩා 80% පමණ විදුලි ඉතිරියක් CFL විදුලි පහන් භාවිතයේදී ලැබෙන අතර  සාමාන්‍ය විදුලි පහනක් දල්වීමේ දී නිකුත්වන තාප ශක්තියට  සාපේක්ෂව අඩු තාප ශක්තියක් නිකුත් කිරීම ද CFL විදුලි පහන් භාවිතය වැඩි වීමට හේතුවක් වී ඇත.නමුත් මෙම CFL විදුලි පහන් නිවැරිදිව භාවිතා නොකිරීමෙන්  ඉතා අනතුරුදායක තත්වයන්ට මුහුණ පෑමට සිදුවන බව  බොහෝ දෙනා නොදන්නා කරුණකි.

CFL විදුලි පහනක් බෙහෙවින්ම අනතුරු දායක වන්නේ එය බිදුණු විටයි. CFL විදුලි පහනක  රසදිය මිලි ග්‍රෑම් 4- 5  ප්‍රමාණයක් අඩංගු වෙනවා.යම් හෙයකින් CFL විදුලි පහනක් බිදී ගියහොත් ඒ තුල අඩංගු රසදිය පරිසරයට නිකුත් වීම මගින් පරිසර දූෂණය ඉතා ප්‍රබල ලෙස සිදුවනවා.ඉතා විෂ සහිත බැර ලෝහයක් වන රසදිය මිනිස් මොලයට සහ ස්නායු පද්ධතියට හානි ඇති කරනු ලබනවා. මෙම රසදිය වාතයට මුසු වූ පසු එම වාතය අග්‍රහණය කළහොත් ඉතා දරුණු සෞඛ්‍ය ගැටළු ඇති කරනු ලබනවා.එසේම CFL විදුලි පහන් මගින් අධෝරක්ත කිරණ සහ විද්‍යුත් චුම්භක තරංග ද සුළු ප්‍රමාණයක් නිකුත් කරනවා.දිගු කාලයක් මේවාට නිරාවරණය වීම සෞඛ්‍ය ගැටළු වලට හේතුවක් ලෙස ඕස්ට්‍රේලියානු විකිරණ ආරක්ෂණ හා න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සිය පවසනවා. මෙම අවදානමෙන් මිදීමට CFL විදුලි පහන් භාවිතයේදී අවම වශයෙන් අගල් 10කට  වඩා වැඩි දුරක් පවත්වා ගත යුතු බව ඔවුන් පවසනවා.එබැවින් මේස ලාම්පු සහ බිමට ආසන්නව ඇති විදුලි පහන් සදහා CFL පහන් භාවිතයෙන් වැලකී සිටිය යුතුය.

CFL විදුලි පහනක් බිදී ගියහොත් අනුගමනය කලයුතු පියවර ඇමරිකානු පරිසර ආරක්ෂණ ඒජන්සිය දක්වා ඇත. පළමුව එම ස්ථානයේ සිටින සියලුම පුද්ගලයන් සහ සතුන් ඉවත් කර සියලු දොර ජනෙල් විනාඩි 15ක් පමණ විවෘත කර තබන්න.වායු සමීකරණ යන්ත්‍ර සහ විදුලි පංකා සියල්ල ක්‍රියා විරහිත කරන්න.ඉන්පසු අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා අත්වැසුම් පැලද ඇලෙන සුළු සෙලෝ ටේප් වැනි ටේප් වර්ග සහ සීල් කල හැකි පොලිතීන් බෑග් සපයාගෙන වීදුරු කුඩු සහ කැබලි සෙලෝ ටේප් සහ කාඩ් බෝඩ් ආධාරයෙන් ඉවත් කර  විදුලි පහන් බිදුන ප්‍රදේශය තෙත රෙදි වලින් පිසදමා  අපද්‍රව්‍ය පොලිතීන් බෑගයට දමා සීල් කර ඉවත් කරන්න.බිදුණු CFL අපද්‍රව්‍ය මෙන්ම භාවිතයෙන් ඉවත්කළ CFL විදුලි පහන් ද කිසිවිටෙකත් අනාරක්ෂිත ආකාරයට පරිසරයට බැහැර නොකරන්න.කිසි විටෙක වීදුරු කැබලි ශරීරයේ ස්පර්ශ කර ගැනීමෙන් වලකින්න.පිරිසිදු කිරීම සදහා කිසිවිටෙකත් වැකුම් ක්ලීනර් භාවිතා නොකරන්න.
එසේම CFL විදුලි පහන් සවි කිරීමේදී විදුලි පහනෙහි ඇති ප්ලාස්ටික් කොටසෙන් අල්ලා සවිකිරීමට මතක තබා ගත යුතු අතර කරකවා සවිකිරීමට ඇති CFL විදුලි පහන් අනවශ්‍ය ආකාරයට කරකැවීමෙන් වැලකීමට වගබලාගත යුතුය.

0 comments:

Post a Comment