July 28, 2014

ෆුකුෂිමා අසල කැලෑ වඳුරන්ගේ අඩු රුධිර සෛල ප්‍රමාණය.

න්‍යෂ්ටික බලාගාර අසල ජීවත් වන වානරයන් විකිරණවලින් බලපෑමට ලක් කරනු ලැබීමට ඉඩ ඇත.
විකිරණවලට නිරාවරණය වීම නිසා ජපානයේ කැලෑ වඳුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබේ. නව අධ්‍යයනයකට අනුව, ආපදා ප්‍රදේශයට ඈතින් ජීවත් වන වඳුරන්ට වඩා, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අසල ජීවත්වන වඳුරන්ගේ මස්පිඩු තුල විකිරණශීලී සීසියම් (Cesium) අඩු මට්ටමකින් පැවතීමටත්, සාපේක්ෂව අඩු  රුධිර සෛල ප්‍රමාණයක්  තිබීමටත් හැකිය.
2011 වර්ෂයේ ඇතිවූ “ Tohoku”  නමින් හැඳින්වූ භූමි කම්පනය හා සුනාමි ව්‍යසනය මඟින් න්‍යෂ්ටික බලාගාරයටද  අනිසි බලපෑම් ඇතිවිය.
වඳුරන් සඳහා මෙම සෞඛ්‍යමය කරුණු තරමක් අපහැදිලි වුවද, මිනිසා ඇතුළු ව වෙනත් වානරයන් මත විකිරණවල බලපෑම් පුරෝකතනය කිරීමට, මෙම සොයාගැනීම යොදා ගත හැකිබව මෙම අධ්‍යයනයේ කතෘවරුන් විසින් පවසති. මෙම අධ්‍යයනයේ ප්‍රථිඵල ජූලි 24 දින Scientific Reports වලින් පෙන්නුම් කෙරේ.
ටෝකියෝවේ ජීව විද්‍යා පර්යේෂකයින් විසින්, ෆුකුෂිමා නගරයේ ජීවත්වන Macaca fuscata නම් ජපන් වඳුරන් 61 දෙනෙකුගෙන් රුධිර හා මස්පිඩු සාම්පල එක්රැස් කරන ලදි. එම ප්‍රදේශය න්‍යෂ්ටික බලාගාරයට  කි. මී. 70 ක් පමණ වයඹ දෙසින් පිහිටා ඇත.
එසේම පර්යේෂකයින් බලාගාරයට කි. මී. 400 ක් පමණ උතුරින්  පිහිටි Shimokita Peninsula නම් ප්‍රදේශයක වඳුරන් 31 දෙනෙකුගේද සාම්පල එක් රැස් කරන ලදි.
Shimokita වඳුරන්ගේ මස්පිඩුවල සැලකියයුතු තරම් සීසියම් අඩංගු නොවුණ නමුත් එම වඳුරන් සමඟ සැසඳීමේදී, ෆුකුෂිමා වඳුරන්ගේ රතු හා සුදු සෛල අඩු සංඛ්‍යාවක් තිබුණ අතර ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් ප්‍රෝටීනයද අඩු මට්ටමක පැවතිණ.
මෙම වඳුරු කණ්ඩායම් දෙකම පෙනුමෙන් එක සමාන ව සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනුනත් අඩු රුධිර සෛල සංඛ්‍යාවක් පැවතීම නිසා රෝග වලට එරෙහි ඔවුන්ගේ ආරක්ෂාවන්  දුර්වල විය හැකි බව පර්යේෂකයෝ අනුමාන කරති.

උපුටා ගැනීම http://www.sciencenews.org
ජේ.ඒ. එස්. සාගරිකා කුමාරි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කුරුණෑගල


0 comments:

Post a Comment