July 10, 2014

පොලිතීන් වෙනුවට ජීව දවටන



පරිසරය දුෂණය කරන එක් ප්‍රධාන සාධකයකි පොලිතීන්. අපද්‍රව්‍යයක් ලෙස ඉවතලන පොලිතීන් කාබනික අපද්‍රව්‍ය මෙන් ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වයෙන් ජීර්ණයට ලක්නොවේ.විශාල වශයෙන් ආහාර දැවටීම පිණිස භාවිතා කරනු ලබන පොලිතීන් වලින් සකසන ලද කෘතීම දවටන සඳහා විකල්පයක් ලෙස ජීව දවටන ඉදිරිපත් කල හැකිය. ජීව දවටන සකස්කිරීම සඳහා අප රටේ බහුලව වගාකෙරෙන පළතුරු බෝගයක් වන කෙසෙල් යොදාගනී.‍

 කෙසෙල් යනු ලොකයේ නිවර්තන හා උපනිවර්තන කලාප වල වගාකෙරෙන පළතුරු බෝග අතරින් දෙවැනිතැන ගන්නා පළතුරු බෝගයයි.ශ්‍රී ලංකාව ගත්කල ප්‍රධාන පළතුරු බෝගයයි.පිසීමෙන් ආහාරයට ගන්නා කෙසෙල් ප්ලාන්ටන් නමින් හදුන්වන අතර පරිභෝජනයට ගන්නා ඉදුණු කෙසෙල් ඩෙසර්ට් බනානා ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවේ කෙසෙල් කොළය ආහාර ද්‍රව්‍ය එතීම සඳහා බහුලව භාවිතා කෙරේ.
කෘතිම ආහාර දවටන වලට පිළියමක් ලෙස ආහාර දවටන සඳහා කෙසෙල් කොළ යොදාගැනීමටත් ඒවා දීර්ඝ කාලයක් තුල වර්ණයේ සහ තත්වයේ වෙනසක් නොවන පරිදි තබා ගැනීමටත් අවශ්‍ය ක්‍රම වේදය තෙලිජ්ජවිල කෘෂි කාර්මික පර්යේෂණ මධ්‍යස්ථානයෙන් සොයා ගන්නා ලදී.
වර්ණයෙහි සහ තත්වයෙහි වෙනසක් සිදුනොවී ශීතකල තත්ව යටතේ මසකට වැඩි කාලයක් තබාගත හැකි ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර නිෂ්පාදනය කිරීමේ ක්‍රමය සොයාගන්නා ලදී.අප රටේ වගා කරනු ලබන ඕනෑම කෙසෙල් ප්‍රභේදයක පත්‍ර මෙම කටයුත්ත සඳහා යොදාගත හැකිය. මෙහිදී හොදින් වැඩුණු සහ සම්පූර්ණයෙන් දිගහැරුණු පත්‍රවල ,මැද නාරටිය අඩංගු නොවන පරිදි (සෙ.මී.45-45 ප්‍රමාණයේ) කැබලිවලට කපා වෙන් කරනු ලැබේ. 
මෙම පත්‍ර කැබලි අවශ්‍යතාවයට අනුව චතුරස්‍රාකාර හෝ වෘත්තාකාර ලෙස සකසා ගත හැකිය.මෙසේ වෙන්කරගත් පත්‍ර කැබලි මත තැන්පත්ව ඇති දුවිලි සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම පිණිස පළමුව පිරිසිදු ජලයෙන් සෝදනු ලැබේ.ඉන් අනතුරුව,පත්‍රවලට ප්‍රතිකාර කිරීම සිදු කරනු ලබන අතර මේ සඳහා පහත සඳහන් ශිල්ප ක්‍රම අනුගමනය කිරීමට පිළිවන. 
උදුනක වියලීම
මෙහිදී උදුනක ආධාරයෙන් සෙ. 800 850 ත් අතර උෂ්ණත්වයක විනාඩි 5 ක කාලයක් පත්‍ර වියලා ගැනීම සිදුකෙරේ.
හුමාලයෙන් තැම්බීම
පත්‍ර ඔලිව් කොළ පැහැවන තෙක් තත්පර 2560ත් අතර කාලයක් ස්ටීමරයේ තැම්බීම
උණු -ජල ප්‍රතිකාරය
පත්‍රවල කොළපැහැ පෙනුම වෙනස්වනතුරු උණුවතුරේ බහා තබා වහාම සීතල වතුරට දැමීම මෙහිදී සිදුකෙරේ.
පීඩන උදුනක ප්‍රතිකාර කිරීම
පීඩන උදුනක විනාඩි කිහිපයක් පත්‍ර තබා ගැනීම මෙහිදී සිදුකෙරේ.
ඉහත සඳහන් ඕනෑම ක්‍රමයක ආධාරයෙන් ප්‍රතිකාර කරනලද කෙසෙල් පත්‍ර මතුපිට ජලය ඇත්නම් එම ජලය ඉවතහලා කෙසෙල්පත්‍ර කැබලි පැය 8-10ක කාලයක් පවනෙහි වියලාගත යුතුය.
හොදින් ප්‍රතිකාර කරන ලද කෙසෙල් පත්‍ර මනාලෙස අසුරා ශීත කල තත්ව යටතේ ගබඩා කල යුතුය.
තෙතමනය උරාගැනීම සඳහා පුවත්පත්,දවටන කොළ,කඩදාසි-අත්පිස්නා වැනි කඩදාසි කැබැල්ලක් සෑම ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රයක් සමගම අසුරා පත්‍ර 10-20කින් යුත් මිටි සෑදීම සිදු කලයුතුය. මේවා කුඩා පෙට්ටිවල හෝ ඇලුමිනියම් ලෝහ පත්‍රවල ආධාරයෙන් අසුරාගත හැකිය.
මෙම ආකාරයට වර්ණයේ සහ තත්වයේ වෙනසකට බදුන් නොවී කාමර උෂ්ණත්වයේ දින 05ක් ද ශීතකල තත්ව යටතේ මාසයකට අධික කාලයක් ද තබා ගත හැකිය.මෙලෙස දැඩිකරන ලද කෙසෙල්පත්‍ර ආහාර ද්‍රව්‍ය එතීම සඳහා සාර්ථක ලෙස යොදා ගැනීම සිදු කල හැකිය.මේවා නැමීමේදී ඉරී නොයන අතර ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රවල ඔතන ලද කෑම පාර්සල් විවෘත කිරීමේදී නැවුම් සුවඳක්ද අත්විදිය හැකිය.
ප්‍රතිකාරිත කෙසෙල් පත්‍රවල ඔතන ලද ආහාර ද්‍රව්‍ය ක්ෂුද්‍ර තරංග (මයික්‍රෝවේ) උදුනක ආධාරයෙන් ඒවායේ කිසිදු වෙනසක් ඇති නොවන පරිදි උණුසුම් කරගත හැකිය.
සාමාන්‍යෙයන් කෙසෙල් වගාවක් සලකන කල කෙසෙල් ගසකින් කෙසෙල් කැන ලබා ගැනීමට අමතරව වසරකට පත්‍ර 10ක් පමණ ප්‍රතිකාරිත කෙසෙල් පත්‍ර සෑදීම සඳහා ලබාගත හැකිය.සෑම පත්‍රයකින්ම(සෙ.මී.45-45 ප්‍රමාණයේ) පත්‍ර කැබලි 5-8 ත් අතර සංඛ්‍යාවක් සකසාගත හැකිය.ඒ අනුව හෙක්ටයාරයක කෙසෙල් වගාවකින් මෙවැනි දවටන 120,000ක් නිෂ්පාදනය කලහැකිවනු ඇත.එක කෙසෙල් කොළ දවටනයක් ශත 50ක් ලෙස මිල කලහොත් වගාවෙන් ලබාගන්නා කෙසෙල් කැන්වල ආදායමට පරිභාහිරව රු:60,000.00ක පමණ අමතර ආදායමක්ද ලබා ගත හැකිය.
  
 ඉදිරිපත් කිරීම :

තෙලිජ්ජවිල,කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ,ආචාර්ය සුජාතා වීරසිංහ මහත්මියගේ වැඩසටහන ඇසුරෙනි.

0 comments:

Post a Comment