July 21, 2014

වැල්මීත් ඔලිඳත් මින් පසු පටලවා නොගන්න

එදිනෙදා ජීවිතයේදී ඇතිවන රෝග නිවාරණය සදහා විවිධ ශාක, අත් බෙහෙත් ගැමියන් අතර ප්‍රචලිතය. එසේම සිංහළ ආයුර්වේද වෙදකමේද ප්‍රධානතම අංගය වනුයේ ඖෂධීය ශාක කොටස්ය. මෙම ශාකයන් නිසි ලෙස හදුනා ගැනීම මගින් ඉමහත් ප්‍රථිඵල අත්වනවා සේම අනිසි ශාක, ඖෂධ ලෙස යොදා ගැනීමෙන් ඇතිවන අතුරු අන්තරාවන්ද සමනය කරගත හැකිය. සිංහළ වෙදකමේදී මෙසේ එක සමාන ශාකයන් වරදවා වටහා ගැනීම හේතුවෙන් ඖෂධයේ නිසි ප්‍රථිඵලය ලබාගත නොහැකිය. එවැනි ශාක 2 කි වැල්මී හා ඔලිඳ. මෙම ශාක 2 කම සිංහළ වෙදකමේදී වෙනස් වූ රෝගාබාධයන් සදහා ප්‍රථිකාර කිරීමට යොදා ගනී. බාහිර රූපාකාරයේ ඇති සමාන ලක්ෂණ හේතුවෙන් මෙම ශාක 2 ක වරදවා වටහා ගැනීමට ලක් වේ. ඔලිඳ ශාකය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තව ඇති අතර වැල්මී ශාකය ලංකාව තුල නොපවතී. එහෙත් මිනිසුන් ඔලිඳ ශාකයේ පවතින ඇතැම් ගුණාංගයන් සලකමින් වැල්මී ශාකය යැයි වරදවා වටහා ගෙන ඇත.

වැල්මී ශාකය ඇතැම් ස්ත්‍රී ලිංගික හෝමෝන උත්තේජකයක් වශයෙන් ක්‍රියාත්මක වන අතර (කාන්තා ඊස්ට්‍රජන් හෝමෝනය සක්‍රිය කිරීම), උගුර හා පෙනහළු ආශ්‍රිත රෝග හා අක්ෂි රෝග සඳහා ද කදිම ඔසුවකි. එහෙත් ඔලිඳ ශාකය චර්ම රෝග (කුරුලෑ, දද, බිබිලි), සතුන් සපා කෑ විට විෂ හරණයට, පිටගැස්ම සදහා ප්‍රථිකාර වශයෙන්ද, ජල භිතිකාවට ඖෂධයක් වශයෙන්ද භාවිතා කරයි.
ඔලිඳ ඵලයේ බීජ රත් පැහැ වන අතර කළු ලපයකින් යුක්තය. ඇතැම්විට මේවා කළු, සුදු, අළු දුඹුරු, කළු සදු මිශ්‍ර ආදී වශයෙන් විවිධ වර්ණයන්ගෙන් පරිසරයේ දක්නට ලැබේ. කළු බීජ සහිත ඔලිඳ ශාක වැල්මී ලෙස වරදවා වටහා ගැනීමට බොහෝ සෙයින් ඉඩ ඇත. තවද වැල් මී ශාක මුලෙහි ඇති පැණි රසයට හේතු වන ග්ලිසිරයිසීන් නම් රසායනිකය ඔලිඳ පත්‍ර හා මුල් තුලද අඩංගු බැවින් ශාක පත්‍රයේ රසය පරීක්ෂාකර බලා වැරදි වැටහීමක් ඇති කර ගැනීමටද හැකියාව ඇත.
මේ හේතුව නිසා බොහෝ විට වැල්මී යැයි සලකමින් ඔලිඳ ශාක, බොහොමයක් ඔසු උයන් හා කුළු බඩු ශාක වගා කරන උද්‍යාන තුල වගා කර ඇත. එහෙත් උද්භිධ විද්‍යාත්මක ලක්ෂණ සැලකීමේදී මෙම ශාක 2 කම ඉතා පැහැදිලි වෙනස්කම් වලින් සමන් විත වන අතර වැල්මී ශාකය ලංකාව තුල ව්‍යාප්ත නොවී පැවතීම හේතුවෙන් තව දුරටත් පහසුවෙන් හඳුනාගත හැකිය.

ඔලිඳ ශාකය
ඇබ්රස් ප්‍රිකේටෝරියස් (Abrus precatorius) නම් උද්භිධ විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ශාකය ලෙගුමිනෝසියේ (Leguminosae) ශාක කුලය යටතට අයත් වේ. ලංකාවේ වියලි කලාපයේ සුලභව වැඩෙන මෙම ශාකය ඉන්දියාව, තායිලන්තය, දකුණු චීනය, පිලිපීනය හා නිවර්තන අප්‍රිකාව ආදී රටවල් වල ව්‍යාප්තව ඇත.
සිහින් කදකින් යුක්තයි. අරෝහක ශාකයකි. පදුරු හා ශාක වල එතී වැඩෙන මෙම ශාකය ඉහල වියන දක්වාම වර්ධනය වන බැවින් ඇතැම් විට පහසුවෙන් නිරීක්ෂණය කිරීමට ද නොහැකිය. ආධාරකයක් නොමැති අවස්ථාවලදී බිම පැතිරී වැඩේ. සංයුක්ත පත්‍ර කඳේ ඒකාන්තරව පිහිටා ඇත. ආයත හෝ ඉලිප්සාකර හැඩයක් ගන්නා පත්‍රිකා පත්‍ර තලය ඔස්සේ සම්මුඛව පිහිටා ඇත. සංයුක්ත පත්‍රය කෙලවර පත්‍රිකා යුගලක් පිහිටයි. කුඩා දම් හෝ සුදු පාට පුෂ්ප දරණ අතර ඒකාක්ෂ පුෂ්ප මන්ජරියක් පවතී (සෙ.මි. 1ක් පමණ කුඩා). කරල පැතලිය. කෙලවර තියුනු හොටයක් පිහිටන අතර සෙ.මි. 3-5ත් අතර වේ. කරල පුපුරා බීජ ව්‍යාප්ත වේ. බීජ කුඩාය. ඕවලාකාර තද රතු පැහැතිය. කළු ලපයක් ඇත. ඔලිඳ ඇට විශ සහිතය.

ඔලිඳ බීජ
කළු පැහැති ඔලිද බීජ









වැල්මී ශාකය 


ග්ලයිසීරිසා ග්ලැබ්රා (Glycyrrhiza glabra) නම් උද්භිධ විද්‍යාත්මක නාමය සහිත මෙම ශාකයද ලෙගුමිනෝසියේ (Leguminosae) කුලයට අයත් වේ. මෙම ශාකය මධ්‍යදරණී පෙදෙස් නිජබිම ලෙස තෝරාගෙන ඇත. දේශීය වෙදකම සඳහා මෙම ශාක කොටස් ආනයනය කෙරේ. අඩ් 4ක් පමණ උසැති මෙම ශාකය බහු වාර්ෂික ශාකයකි. පාදස්තයෙන් කද කොටස් කීපයකට බෙදී ඇත. ගැඹුරු, ඝණ මූල මණ්ඩලයකින් යුක්තයි. සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටා ඇත. පත්‍රිකා 4-7ත් අතර ප්‍රමාණයක් එක් පත්‍රයක දැකිය හැකිය. අග්‍රස්ථය පත්‍රිකාවකින් කෙලවර වේ. දම් පැහැති කුඩා මල් වලින් සමන්විත වන අතර ඒකාක්ෂ පුෂ්ප මන්ජරියක් දරයි. කරල පැතලිය. කෙලවර උල්ය. අඟලක් පමණ දිගටිය. නොපැලෙන ඵලයකි. තද දුඹුරු පැහැති පැතලි හතරැස් බීජ 2-5ත් පමණ එක් ඵලයක පිහිටයි.








Frost Research News Letter, Issue 7 (2007) ඇසුරිනි.

1 comments:

කලු ඔලිද කියන්නෙ වැල්මී වලටද
ඔලිද වලට කියන ඉංග්‍රීසි නම මොකක්ද

Post a Comment