July 7, 2014

සාම්ප්‍රදායික ක්‍රම තුළින් කාබනික වී වගාව වර්ධනය කරමු

සාම්ප්‍රදායික ක්‍රම තුළින් කාබනික වී වගාව වර්ධනය කරමු.රටට ආවේණික ජානමය සම්පත සුරකිමු.
වර්තමාන කෘෂිකර්මාන්තය ගැන සලකන විට පාරිසරික සහ  සෞඛ්‍යම වශෙයන් මහත් ආන්දෝලානාත්මක තත්වයක් උද්ගත වී  ඇති බව අප කවුරැත් දන්නා කරුණකි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ කෘෂි කර්මාන්තය සඳහා කෘතිම පොහොර භාවිතය සහ කෘෂි රසායන භාවිතයයි. ශ්‍රී ලංකාව ගත් කල වී ගොවිතැන ප්‍රධාන වේ. එබැවින් වී ගොවිතැන සඳහා කෘෂි රසායන භාවිතය අවම කිරිම තුළින් සිදුවන පරිසර හානිය සහ ඇතිවන සෞඛ්‍යමය  ගැටළු අවම කර ගත  හැකිය.  එමෙන්ම   නිෂ්පාදන පිරිවැයද අවම කර ගත හැක. කාර්මිකරණය සමඟ බහු ජාතික  සමාගම් වල  පෙළඹවීම මඟින් අපගේ  සාම්ප්‍රදායික කෘෂිකර්මාන්යෙන් ගොවියා ඈත් වීම නිසා රටෙහි පැවති වටිනා ජානමය සම්පත්  අපට  අහිමි වී ගොස් ඇත.
 වර්තමානය වන විට යථාර්ථය අවබෝධ වීම නිසා නැවතත්  සම්ප්‍රදායික  ගොවිතැනෙහි විවිධ පැතිකඩයන් විවෘත නර ගැනීමට පර්යේෂකයින්  සහ බුද්ධිමතුන් උනන්දුවන බව පෙනේ. එබැවින් සම්ප්‍රදායික වී ගොවිතැන් කටහුතු වලදී භාවිතා කළ දේශීය කෘමි නාශක වර්ග සහ සම්ප්‍රදායික  කෙම් ක්‍රම කිහිපයක් මෙම ලිපිය මඟින් හදුන්වා දීමට බලාපොරොත්තු වේ.
Ø  කුඹුරෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ් කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
Ø  වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.
Ø  ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්‍ර කර දිය කරන්න. මේ මිශ්‍රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
Ø  කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.
Ø  කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්‍රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.
Ø  විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.
Ø  කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.
Ø  වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.
Ø  පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.
Ø  කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්‍රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.
Ø  කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.
Ø  හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.
Ø  දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.
Ø  දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
    අලු වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න. 
    වැලි වලට භූමී තෙල් මීශ්‍රකර ඉසින්න.
    ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.
Ø  ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්‍ය නොවේ.
Ø  කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.
           “ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
             යන ගාථා මන්ත්‍රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන            කුරුල්ලෝ අඩු වේ.
Ø  වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට
  නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං
     යන මන්ත්‍රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.
Ø  වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
      “ සබ්බ පාපස්ස අකරණං“
      යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.
Ø  වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක.
සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.
Ø  බිත්තර වී වපුරණ විට      “ සබ්බ පාපස්ස අකරණං“  යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.
Ø කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.
Ø නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
                  “ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්‍රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.
Ø  පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්‍රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.
Ø  වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø  කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø  දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø  රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø  ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට  පඹයෙකු සාදා සවි කරන්න.
Ø  පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.
Ø  මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න.          වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්‍ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න.         වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.
Ø  මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.
Ø  පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ‍ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
     එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.
ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.
කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.
ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.
Ø  කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.
Ø  හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.
Ø  කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.
 Ø  වල් ඌරන්, මීයන්ට - ගොක් කොළ අඩි දෙකක් පමණ දිගට වියා ගොක් කොළය පහළට එල්ලෙන ආකාරයට කෝටුවක එල්ලන්න.
Ø  වී වගා  පැල මැක්කාට දලුක් කොළ පොතු කඩා වක්කඩට දමන්න.
Ø  වී වගාවට ගොළුබෙල්ලාගෙන්  වන හානියට- පාන්දර කපුටා හැඬීමට පෙර ලී කොටුවක කෙසල් පතුරක් සවි කර ඒ මත කිරි බත් හෝ කව්පි ,මුං  ඇට වැනි කෑමක් තබන්න.ඒවිට කපුටන් ඇවිත් ය කනවිට ධාන්‍ය කුඹුරට හැලේ . ඒවා කන අතර ලියැදි වල සිටින සතුන් ද කා දමයි.
Ø  කීඩෑ උවදුරට - බල්ලෙකු නිදා ගන්නේ නැති ලිපකින් අලු ටිකක් ගෙන රාත්‍රි 10 න් පසු ගිනි පිරිතෙන් 108 වරක්ද පිරිත් කාට “සබ්බ පාපස්ස අකරණං˝ යන ගාථාව කියමින් කුඹුරට ඉසින්න.
Ø  ගොයමේ කීඩෑවන්ට -
මත් වැල් ගුලියක් සාදා වක්කඩේ තබන්න.
කැප්පෙටියා අතු තැනින් තැන කුඹුරේ සිටුවන්න.
දාස් පෙතියා ශාකයේ මුල් වල යුෂ ජලය සමඟ මිශ්‍ර කර ගොයමට ඉසින්න. (සලඹයන්ට ත්  වීශේෂයි)
Ø  කෙත් වතු ආරක්ෂාවට
     නොපෑගුන ගල් 4ක් ගෙන මල් බුලත් තට්ටුවක් සාදා කට්ට කුමංජල් ,දුම්මල දුම් අල්ලා එම ගල් 4 මල් බුලත් තට්ටුවේ තබා 108 වාරයක් පහත මන්ත්‍රය මතුරා ගල් හතර කුඹුරේ හතර කොන වළලන්න./
      ඕ නමෝ පෙර දුටු අංගුලි මාලයි තෙත් සුවඳ ඇල් පැදුරක් ඇත. ඒ ඇල් පැදුරකඩ අරන් කෙල්ල කියන ඇත්තීන් ගල්ලෙත්තු හිසක ඇත්තීන් දෙන්නා ආ තැනේදී ඒ අංගුලි මාලයෝ ගල් හතරක් ගෙන මතුරා තිබු ආඥාවෙන් ආනුභාවයෙන් ංද්ත මිගේ පෙර කෙත දෙස බලා නොබලන්ඩි බුද්ධ ශ්‍රීමා බැන්දෙන්.
Ø  අලින්ගෙන් ,ඌරන්ගෙන්, මුවන් ,ගෝනුන්, සර්පයන්, ගොයම් මැස්සන්ගේ හානියට.
    පළමුව තමන් පිරිසිදු වී පංච ශීලයෙහි පිහිටා බුද්ධ පුජාවක් පවත්වා දෙවියන්ට පින් දී පහත මන්තරයෙන් අබ හෝ වැලි 108 වරක් මතුරා කුඹුරට ඉසින්න.
“ඕං නමං සුරෙහ්‍ය බලජං ජපරි පරි පරි මිලාස්මහා ඕසුරෙහ්‍යනමං“
Ø  බිත්තර වී කෘමී රෝග වලින් බේරා ගැනීමට
වද කහ ,ගැට තුඹ, බැල තණ, කොටා ගොම සමඟ මිශ්‍ර කර වතුරේ දියකර එම මිශ්‍රණය බිත්තර වී වල දිනක් පමණ ගිල්වා තබන්න.
(මෙම තොරතුරු ලබා ගැනීම සඳහා විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ඩබ්.ජී ආරියවංශ මහතා සහය ලබා දෙන ලදී)

1 comments:

ඉතාම වටිනා තොරතුරු ටිකක් ගොඩක් වටිනව......

Post a Comment