July 20, 2014

සැගවුනු ජල සංචිතයන්ට පිපාසය සංසිදුවිය හැකිද?


පරිභෝජනය සඳහා පිරිසිදු ජලය...? මෙවැනි ප්‍රශ්ණ සදහා පිළිතුරු සැපයීමට අනාගතය සූදානම්ද....? 
වර්ධනය වන ජනගහනයත් සමග පිරිසිදු ජල අවශ්‍යතාවය පිලිබඳ ප්‍රශ්ණය ලෝකය තුල උග්‍ර වෙමින් පවතී. වර්ථමාන ලෝකයේ රටවල් අතර ප්‍රශ්ණ බහුතරයක් ‍බොරතෙල් හේතුකොට ගෙන ඇති වූවත් විද්වතුන්ගේ අදහස වන්නේ III වන ලෝක යුද්ධය පිරිසිදු ජලය සදහා ඇති වීමේ අවදානමක් පවතින බවයි.

එසේ වූවත් විද්‍යාඥයින් විසින් මෑතදී කරන ලද පරීක්ෂණ මේ සදහා නවතම පිළිතුරක් ලබාදීමට සමත් වී ඇත. ඔවුන් පවසන පරිදි දකුණු අප්‍රිකාව, උතුරු ඇමරිකාව, චීනය හා ඕස්ට්‍රෙලියාව වැනි රටවල අවට මුහුද පතුලේ පිරිසිදු ජලය සංචිතව පවතී. නමුත් මෙම ජල සංචිත කොපමන විශාලත්වයකින්, කොපමණ ප්‍රමාණයක් පවතීදැයි දැන්වීම සදහා තවම කාලය වැඩි බව ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනයේ යෙදෙන විද්‍යාඥයන්ගේ මතය වන්නේ දැනට ගැඹුරු මුහුදු ලෙස පවතින මෙම ජල මූලාශ්‍ර සහිත ප්‍රදේශ, වසර සිය දහස් ගනනකට ඈත අතීතයේදී ගොඩබිම් අව‍ට පවතින මුහුදු වෙරළක් ආකාරයෙන් ඉතා නොගැඹුරු මට්ටමක පැවති බවත්, ඒ හේතුකොටගෙන වර්ෂා ජලය එම භූමිය තුල එක්රුස් වී එම ජලධාර ජලමුලාශ්‍ර ලෙස පොලොවේ තැම්පත් වූ බවත්ය. පසුව වසර 20000 පමණ පෙර ධ්‍රෑවාසන්න ප්‍රදේශයේ සිදු වූ අයිස් දිය වීම හේතුවෙන් මෙම ප්‍රදේශ ජලයෙන් යටවී ගැඹුරු මුහුදු බවට පරිවර්තනය වූ නමුදු එම ජල මූලාශ්‍ර අද දක්වාම මුහුදු පතුලේ මඩ සහිත ස්ථර තුල නෙනැසී පවතී. මෙම ජල මුලාශ්‍ර පිළිබඳ තවදුරටත් කරන ලද පරීක්ෂණ මගින්, ජල මුලාශ්‍ර වල ජලයේ කිවුල් ස්භාවයක් පවතින නමුදු පෙරීමකට භාජනය කිරීමෙන් පසු පරිභෝජනයට ගත ආකාරයට පරිවර්ථනය කල හැකි බවත් අනාවරනය කර ගන්නා ලදි.

තවදුරටත් අදහස් දක්වන පර්යේෂකයන් පවසන පරිදි මෙම ජලය භාවිතයට පවතින ප්‍රධාන සීමාකාරි සාධක වන්නේ ඒව කැනීම් මගින් පොලොව මතුපිටට ගැනීමට පවතින අපහසුතාවය හා මෙම ජල මූලාශ්‍ර, ගොඩබිම පවතින ජල මූලාශ්‍ර මෙන් ජල චක්‍රයට නිරාවරණය නොවන බැවින් සංචිත ජල ප්‍රමාණය අවසන් වීමෙන් පසුව පරිභෝජනය සදහා යොදා ගත නොහැකි වීමේ අවදානමක් පැවතීමයි.

මෙවැනි සීමාකාරි සාධක හමුවේ මෙම ජල සංචිත පාරිභෝජනයට ගත හැකි කාලය පිළිබද අනාවැකියක් දැන්මම පලකිරීම අසීරු කටයුත්තකි. එබැවින් විද්‍යාවේ නිම් වළලු කොතරම් පුලුල් වී ඇතත් පරිසරයේ පවතින යම් සීමාකාරී සාධක අභිබවා යාම දුෂ්කර වන බැවින් අප සතුව පවතින ස්භාවික සම්පත් ආරක්ෂා කර ගැනීම ලෝකවසී සියලු ජනතාවගේ වගකීම වන්නේය.






0 comments:

Post a Comment