July 31, 2014

රුවන්වැලි මහා සෑය හා පුරාතණ ඉදිකිරීම් තාක්ෂණය

ලාංකේය බිමේ ඇති මහා සෑය රුවන්වැලිමහා සෑයයි.
මිහිඳු මහරහතන් වහන්සේ අටමස්ථානය හඳුන්වා දීමේ දී සත්වැනි ස්ථානය වශයෙන් මෙම මහා සෑය පිහිටුවන තැන හඳුන්වා දුන් බව කියැවෙයි. දේවානම්පියතිස්ස රජතුමා මේ පිළිබඳව විමසීමේ දී මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ මෙතැන ස්වර්ණමාලීමහා සෑය නමින් ස්තූපයක් ඔබගේ මුණුපුරකු විසින් අනාගතයේ කරවන බවයි. එම පුවත ගල් ටැඹක ලියා එම ස්ථානයේ පිහිට වූ බව වංශකතාවල සඳහන් වේ.

දුටුගැමුණු රජතුමා මෙම මහා ස්තූපය කරවා ඇත්තේ එම ගල්ටැඹ එසවූ ස්ථානයේ ය. ඒ වන විට එතැන තෙළඹු ගසක් තිබුණු බවත් සෑය සෑදීමට තෙළඹු ගස ඉවත් කිරීමට රජතුමාටසිදු වූ බවත් පැවසෙයි. ගස ඉවත් කළේ එයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි නම් දෙවඟනගේ එකඟත්වය සහ අවසරය පරිදි ය. එම නිසා ස්වරණමාලීටඋපහාරයක් වශයෙන් මෙම මහා ස්තූපයට ස්වර්ණමාලී මහා සෑය වශයෙන් නම් තැබීමට තරම් රජතුමා කෘතවේදී විය. පසුව මෙය රුවන්වැලිනමින් වී අද දක්වාද එම නම ප්‍රචලිතව තිබේ. 

සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ද්‍රෝණයක් මෙහි නිධන් කර තිබෙන බව මහා වංශය මෙන්ම වෙනත් වංශ කතා ද සඳහන් කරයි. ද්‍රෝණය නම්  නැලි දහසයක. පරිමාවකට සමානය. සර්වඥ ධාතූන්ගෙන් 1/8 ක් පමණ මෙහි නිධන්ව ඇති බවද තැනක කියැවෙයි.
බුද්ධ වර්ෂ 390ටත් 400ටත් අතර වර්ෂයක ඇසළ මස පුර පසළොස්වක දිනක මෙම මහා සෑය තැනවීමට අවශ්‍ය මඟුල් ගඩොල පිහිටුවීය. එසේ නම් මෙම  මහා සෑය සෑදීමේ කාර්ය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් අදට වසර 2156 කට පමණ පෙරය. 

මේ ලෝක විනාශයේ දී දියත පුරා විවිධ දේශ දේශාන්තරයන්හී වැඩ වසන සම්බුද්ධ සර්වඥ ධාතූන් වහන්සේ රුවන්වැලි සෑය නම් මෙම අසාදෘශ්‍ය මහා ස්තූපය වෙතට වැඩමවා වදාරා පෙළහර පා, පිරිනිවන් පානා බව අට්ඨකතාවන්හි සඳහන්ව තිබේ.
එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් මෙම මහා සෑයේ ස්ථිරත්වය වෙනුවෙන් මීට වසර දෙදහස් ගණනකට එපිට දැමූ අඩිතාලම පිළිබඳව කතා කිරීමේ දී මෙහි ඇති පදනමේ මහා ශක්තිවන්තකම පිළිබඳව අපට යම් හැඟීමක් ඇතිකර ගත හැක.

රුවන්වැලි සෑයේ අඩිතාලම දැමීමට අඩි 7 යි අඟල් 6 ක් පමණ පොළව සෑරූ බව කියැවෙයි. හුණුගල් ගෙන්වා යෝධයන් ලවා කුළු ගස්වා පොඩි කරන ලද එම ගල් අඩිතාලමට දමා ඇතුන් ලවා මැඩවීය. ඒ සඳහා රජතුමා කොතරම් නම් කාරුණික වූයේ ද යත් මෙම ඇතුන්ගේ පතුල් තුවාල වී අනතුරට ලක්වීම වැළැක්වීමට සමින් මසන ලද අලි සපත්තුපලඳවා පතුල් ආරක්‍ෂා කරවීය. ඊට අමතරව රහතන් වහන්සේ මගින් ලබා ගත් වෙඬරුමැටිනොහොත් නවතීන මැටි’ (ඉතා සියුම් මැටි වර්ගයක්) ඇතිර වීය. එය මත ගඩොල් ද ගඩොල් මත්තෙහි සුද්ධ කරගල් ද එයිටත් මත්තෙහි කුරුවින්ද ගල් ද ඊටත් උඩින් යබොර කැටද, ඉන් මත්තෙහි බොරළු ද, බොරළු මත හිමාලයෙන් ගෙනෙන ලද පළිඟු ගල් ද, එයටත් උඩින් තවත් විශේෂ ගල් වර්ගයක් ද ඇතිරීය. මෙම ස්ථරයත් දැඩිව තද කිරීමෙන් පසුව, රසදියෙන් මිශ්‍රකළ ගිවුලු මැලියමින් අඟල් 8 ක් ඝන වූ ලෝහ තහඩුවක් මුළු අත්තිවාරම වැසෙන පරිදි සවිකළේ ය. 

ආරම්භයේ දී රුවන්වැලි මහා සෑයේ උස අඩි 300 ක් ද ස්තූප පාදයේ වර්තමාන විශ්කම්භය අඩි 298 ක් ද වන බව පරණවිතානයන්ගේ  ලංකාවේ ස්තූපනම් ග්‍රන්ථයේ සඳහන් වෙයි. මේ අනුව මෙතරම් විශාල ඉදිකිරීමක බර දරා සිටින අත්තිවාරමේ ඇති ශක්තිය පිළිබඳ දළ හැඟීමක් ඇතිකර ගත හැක. ඉහත කී තහඩුව මතු පිට තලතෙලින් පොඟවන ලද රත් සිරියෙලින් අඟල් හතක් ඝන රිදී පටක් ද ඇතිරවීය. (මෙය රිදියෙන් කළ කොටු දැළක් විය හැක.)

මෙම අඩිතාලමේ තාක්‍ෂණය අද විද්‍යාඥයින්ට අභියෝගාත්මක ප්‍රශ්න රැසක් ඉතිරිකර තබා තිබේ. රසදිය, තලතෙල්, මැලියම්, ඉතා සියුම් මැටි වර්ග, තට්ටුවෙන් තට්ටුව ඇති රූ ගල් වර්ග, ලෝහ තහඩු, රිදී පට ආදී මේ සියලු පැරැණි තාක්‍ෂණයේ අමුද්‍රව්‍ය ඒවා ඇතිරූ ක්‍රමවේදයන් දියුණු විද්‍යාත්මක ඥානය හා සැසඳෙන්නේ කෙලෙසක දැයි අපි තවමත් සොයා බැලුවෙහිද? මහා බරක් සමසේ බෙදීයාමට මෙම තහඩු යොදවන්නට ඇත. එසේම අකුණු විපත් ආදිය වළකාලීමටද මෙම ලෝහයන් ප්‍රයෝජනවත් වීමට පුළුවන. අප නොදත් විද්‍යාත්මක පදනමක මහා රහස් අපේ මුතුන් මිත්තන් හොඳින් දැන සිටියා වීමට ද පුළුවන. මෙම මහා කර්මාන්තයේ ඉංජිනේරු අධීක්‍ෂණ කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ ඉන්ද්‍ර ගුප්ත නම් භික්‍ෂූන් වහන්සේ නමක් බව සඳහන් වේ. රහතන් වහන්සේලාගෙන් අනූන වූ එම යුගයේ මෙම විද්‍යාඥානයට මහා රහස් බලයක් ද සම්මිශ්‍රණය වූවා දැයි සිතට සැකයක් උපදියි.

මෙසේ අඩිතාලම දමා තුන්මාල් පේෂාව දක්වා චෛත්‍ය ගොඩනැගීමේ දී නව වාරයක් එය පොළවට කිඳා බැස ගිය බවත් ඉන් පසුව දස වන වාරය වන විට චෛත්‍ය බැඳීමට දසකෝටියක් ගඩොල් වැය කළ බවත් මහා වංශාදී වංශ කතාවන්හි සඳහන්ව තිබේ. ව්‍යාකූලත්වයට පත් දුටුගැමුණු රජතුමා මෙසේ වන්නේ ඇයි දැයි අසූ දහසක් මහ රහතන් වහන්සේ ගෙන්වා විචාල විට රහතන් වහන්සේලා පැවසුවේ අති මහත් විනාශයකදී වුව මෙම මහා සෑය ස්ථිර ලෙසම පැවැතිය යුතු වූ නිසා එසේ වූ බවය. ලෝක විනාශයකදී පවා මහා මේරුවක් සේ විනාශ නොවී පවතින එකම ස්ථානය රුවන්වැලි මහා සෑය යැයි තැනක සඳහන් වන්නේ මෙහි පදනමේ ඇති මහා සවි බලයේ තරම කියා පෑමට විය හැක.


                                   -  උපුටා ගැනීම මුහුණුපොතේ රාජධානිපිටුවෙනි. -

2 comments:

වටිනා ලිපියක්!

Post a Comment