July 8, 2014

බෝතලයේ ඇතුල් පැත්ත

අපි බොහෝ දෙනෙක් නොයෙක් බීම වර්ග, පානීය ජලය ආදිය අසුරා තිබෙන බෝතල් නැවත නැවත පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා.
‘‘ඉතින් විසි කරනවට වඩා ඒක හොඳයි නෙ.? කැඩෙන්නෙ බිඳෙන්නෙ නැතිව පහසුවෙන් පාවිච්චි කරන්නත් පුළුවන් නෙ.”
ඔව්…… ඒත්…… දන්නව ද ඒ බෝතල් නිපදවල තියෙන ප්ලාස්ටික් වර්ගය අනුව යි. ඒවා නැවත නැවත පාවිච්චි කරන්න හොඳ ද නැද් ද කියන එක තීරණය වෙන්නෙ.
‘‘ඉතින් කොහොම ද ඒක හොයාගන්නෙ? ”
ඔය බෝතල්වල පතුලේ ත‍්‍රිකෝණාකාර සලකුණක් ඇතුලේ අංකයක් සඳහන් කරල තියෙනවා. මෙන්න මේ වගේ…..

ඒ අංකයෙන් කියවෙන්නෙ බෝතලය නිපදවා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක් ද කියල යි. මේ බෝතල් ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රියාවලියේ දී එක් එක් ප්ලාස්ටික් වර්ග වෙන්කර ගැනීමට මේ අංකය යොදා ගන්නවා. ඒ වගේ ම නැවත නැවත භාවිතයට සුදුසු, නුසුදුසු බෝතල් තෝරාගැනීමටත් මේ අංකය භාවිතා කරන්න පුළුවන්. බොහෝ විට අපි එදිනෙදා වෙළඳපොලෙන් මිලදී ගෙන භාවිතා කරන බෝතල් නිපදවීමේ දී මේ අංකය 1, 2, 4 හා 5 ලෙස සඳහන් ප්ලාස්ටික් යොදා ගැනෙනවා.
බොහෝ වතුර බෝතල්වල, බීම බෝතල්වල මේ අංකය 1 ලෙස සඳහන් වෙනවා. මෙවැනි අඩු අගයන්ගෙන් යුතු බෝතල් හිරු එළියට නිරාවරණය වීමේ දී ජලය සහ එම ප්ලාස්ටික් නිපදවා ඇති අමුද්‍රව්‍ය අතර සිදුවෙන ප‍්‍රතික‍්‍රියා හේතුවෙන් ශරීරයට ඉතා අහිතකර මාරාන්තික විෂ වර්ග ජලයට එකතුවීමේ දැඩි අවදානමක් පවතිනවා. අංක ක‍්‍රමයෙන් ඉහළට යද්දී මෙම අවදානම තරමක් අඩු බව යි කියැවෙන්නේ. පහළ අගයන්ගෙන් යුත් අංක සහිත ව නිෂ්පාදිත බෝතල් නැවත භාවිතය කිසිසේත් අනුමත නො කරන ලද්දක්. මෙවැනි බෝතල් එක් වරක් භාවිතා කිරීමෙන් පසු යළි භාවිතා නො කරන එක තමයි මේ දේවල්වලින් ඇතිවන අහිතකර බලපෑම් වළක්වන්න අනුගමනය කළ යුතු නිරවද්‍ය  ම වැඩ පිළිවෙල. මේවා නැවත නැවත භාවිතයේ දී සිදුවන සීරීම්, හිරු එළියට නිරාවරණය වීම්, උණුසුම් ජලය හා මුසුවීම්, බෝතලේ අඩියේ ලවණ වර්ග තැන්පත්වීම් ආදී ක‍්‍රියාවලීන් හේතුවෙන් එවායේ අන්තර්ගත විෂ වහනය වීම වඩාත් ශීඝ‍්‍ර වෙනවා​. මේ හේතුවෙන් විවිධ අවස්ථාවල දී සිදු වූ මරණ පවා වාර්තා වී තිබෙනවා. ඒ වගේ ම මේ ආකාරයෙන් සිරුර තුළ තැන්පත් වන රසායනික ද්‍රව්‍ය පිළිකා කාරක ලෙසත් ක‍්‍රියාත්මක වෙනවා.
මේ අංකය 5 ලෙස සඳහන් බෝතල් ඔබ දැක ඇති….. ඒවා නැවත නැවත භාවිතය සඳහා නිර්දේශ කෙරෙනවා.
විසිතුරු ලෙසට නිර්මාණය කර තිබෙන නැවත පාවිච්චියට සුදුසු යැයි කියන බොතල් වෙළඳපොළේ තිබෙනවා. මේවා මිළ දී ගැනීමේ දී මේ අංකය පරීක්‍ෂා කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන් සඳහා ප්ලාස්ටික් බෝතල් තෝරා ගැනීමේ දී ඔබ වඩාත් මේ ගැන සැලකිලිමත් විය යුතු යි.
එක් වරක් පමණක් භාවිතා කිරීමට නිර්දේශිත බෝතල් භාවිතයෙන් පසු බැහැර කිරීමේ දී ඒවා ක‍්‍රමවත්ව බැහැර කිරීමත් අප කාගෙත් වගකීමක්. අපගේත් පරිසරයේත් හිත සුව පිණිස පවතින්නේ එක් වතාවක් පමණක් භාවිතා කර ඒ බොතල් අක‍්‍රමවත් ලෙස බැහැර කිරීම නොව, නැවත නැවත භාවිතයට සුදුසු බෝතල් වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කිරීම යි.

(උපුටා ගත්තේ - http://mahamegha.lk )

0 comments:

Post a Comment