July 8, 2014

ලුණු මදි ද?

ලුණු මදි ද? එදිනෙදා ජීවිතයේ දී විශේෂයෙන් ආහාර සම්බන්ධ කටයුතුවල දී ලූණු භාවිතය ඉතාමත් සුලබ ව දක්නට ලැබෙන අංගයකි. මූලික වශයෙන් සෝඩියම් ක්ලෝරයිඞ්වලින් සැදුණු ලූණු ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඛනිජ ලවණයකි. ඈත අතීතයේ සිට ම ආහාර රසකාරකයක් මෙන් ම ආහාර සංරක්ෂක ද්‍රව්‍යයක් වශයෙන් ද ලූණු භාවිතයට ගැනුණි. එසේ ම ලූණු, ආහාරවල ක්‍ෂුද්‍ර ජීවි වර්ධනය වළක්වන අතර අනෙක් රස මතු කිරීමට ද සමත් ය.

ලූණු, සිරුරේ ජලය ප‍්‍රමාණය සමායෝජනය කිරීමටත් (තරලවල සමතුලිතතාවය පවත්වා ගැනීම), සෝඩියම් අයන ස්නායු පද්ධතියේ ආවේග සම්පේ‍්‍රෂණය කිරීමේදීත් උපකාරී වෙයි. එසේ වුව ද වැඩිපුර ලූණු පරිභෝජනය විවිධ සෞඛ්‍ය ගැටළු ඇති කරයි. එනිසා සෞඛ්‍ය සංවිධාන ආහාරයට එකතු කර ගනු ලබන සෝඩියම් ප‍්‍රමාණයට සීමාවක් නිර්දේශ කර ඇත. ඇමෙරිකානු හෘද සංගමය (American Heart Association) දිනකට එක් අයෙකුට සෝඩියම් 1.5g ක් නිර්දේශ කර තිබේ. මෙම අගය පුද්ගලයෙකුගේ වයස අනුව, සෞඛ්‍ය තත්වය අනුව, ස්ත‍්‍රී, පුරුෂ භාවය අනුව සහ වෙනත් නොයෙක් සාධක අනුව වෙනස් විය හැකියි. 1.7 gකට වැඩි නො වූ සෝඩියම් ප‍්‍රමාණයක් (එනම් ලූණු 4.2g ක ප‍්‍රමාණයක්) පරිභෝජනය, රුධිර පීඩනය අඩු කර ගැනීමට උපකාර වන අතර ම එම ප‍්‍රමාණය වෙනත් අහිතකර බලපෑම් හා සම්බන්ධතාවක් නො මැත.

ලූණු පරිභෝජනයේ තීව‍්‍ර බලපෑම් නියමිත ප‍්‍රමාණයට වැඩිපුර හෝ අඩුවෙන් හෝ ආහාර වේලට ලූණු එකතු කර ගැනීම නිසා මස්පිඩු පෙරළීම, කරකැවිල්ල, ස්නායු ආවේග සම්පේ‍්‍රෂණය පිළිබඳ ගැටළු මෙන් ම මරණය ද සිදු විය හැකි ය. ප‍්‍රමාණවත් ලවන ප‍්‍රමාණයක් පරිභෝජනයට නො ගෙන විශාල ජල ප‍්‍රමාණයක් පානය කිරීමෙන් මරණය පවා සිදු වන්නට පුළුවන. (Water Intoxication) එසේ ම කුඩා කාලයක දී විශාල ලවන ප‍්‍රමාණයක් ශරීර ගත වීමෙන් ද මරණය සිදු විය හැකි ය. ලූණු පරිභෝජනයේ දීර්ඝ කාලීන බලපෑම් ලූණු පරිභෝජනයේ දීර්ඝ කාලීන ප‍්‍රතිඵල පිළිබඳ විද්වතුන් නොයෙකුත් මතවාද දරයි. විවිධ පර්යේෂණ මඟින් පහත සඳහන් රෝග සහ ලූණු පරිභෝජනය අතර සම්බන්ධතාවයන් පවතින බව සනාථ කර ඇත.

1. ආඝාතය (Stroke) සහ හෘදවාහිනී සම්බන්ධ රෝග (Cardiovascular Disease)
2. අධි රුධිර පීඩනය
3. හෘද විවර්ධනය (Cardiac Enlargement)
4. වකුගඩු ආශ‍්‍රිත රෝග
5. තරල එක් රැස් වීම
6. උදරය ආශ‍්‍රිත පිළිකා

ලූණු, රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉතා වැදගත් සාධකයක් ලෙස හඳුනාගෙන ඇත. හෘදයාබාධ, ආඝාතය, වකුගඩු රෝග යනා දී බොහෝ රෝග සඳහා අධිරුධිර පීඩනය හේතු සාධකයකි. දිනකට 3g ක ලූණු පරිභෝජනය අඩු කිරීමෙන් අධිරුධිර පීඩනය සහිත රෝගීන්ගේ රුධිර පීඩනය 3.6 – 5.6 / 1.9 – 3.2mmHg ප‍්‍රමාණයකින් අඩු වන බව සොයා ගෙන ඇති අතර එමඟින් ආඝාතය 13% කින් ද හෘදයාබාධ 10% කින් ද අඩු කර ගත හැකි බවට අනුමාන කර ඇත.

එසේ ම වැඩිපුර ලූණු පරිභෝජනය ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආශ‍්‍රිත රෝග හට ගන්නට බලපෑ හැකි අතර ම මුත‍්‍රාශයේ ගල් හට ගැනීමේ අවදානම ද වැඩි කරයි. එමෙන් ම සිරෝසිස් වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ට සම්පූර්ණයෙන් ම ලූණු පරිභෝජනයෙන් වළකින්නට හෝ සීමා කරන්නට වෛද්‍ය උපදෙස් ලැබේ.සකසන ලද ආහාරවලට ආහාර නිෂ්පාදකයන් ලූණු එකතු කිරීම සිදු කරන අතර පුද්ගලයකුගේ ලූණු පරිභෝජනයෙන් 76% ක් අයත් වන්නේ මෙම ආහාර භාවිතයෙන් එකතුවන කොටසට ය. 5% ක් ස්වභාවික ව ආහාරවල අඩංගු වේ. 19% ක් ආහාර පිසින විට හෝ අනුභවයේ දී එකතු කරන ලූණු නිසා සැපයේ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීම සඳහා ලූණු පරිභෝජනය අඩු කර ගැනීමට භාවිත කළ හැකි ප‍්‍රායෝගික ක‍්‍රම කිහිපයකි. එනම්, වෙළඳපොළේ ඇති අධික ලූණු සහිත සකසන ලද ආහාර පරිභෝජනය සීමා කර නිවසේ පිසින ලද ආහාර වැඩිපුර පරිභෝජනයට ගැනීම, ආහාර සඳහා ලූණු එක් කිරීම වෙනුවට ගම්මිරිස්, විනාකිරි, දෙහි වැනි වෙනත් රසකාරක භාවිත කිරීම, ආහාර පිසීමේ දී ලූණු වෙනුවට ආදේශක භාවිත කිරීම (මෙහි දී වකුගඩු අබාධ, හෘදයාබාධ හෝ දියවැඩියාව සහිත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව ආදේශක භාවිත කළ යුතු ය.), සෝඩියම් වෙනත් ආකාරවලින් ද ආහාරයට එක් කර තිබිය හැකි බැවින් (මොනොසෝඩියම් ග්ලූටමේට්, සෝඩියම් බයිකාබනේට්, බේකින් පව්ඩර්, ඩයිසෝඩියම් ෆොස්ෆේට් වැනි) සකසන ලද ආහාරවල ලේබල් පිළිබඳ ව සැලකිලිමත් වීම සහ ඒ අනුව සුදුසු ආහාර පරිභෝජනයට ගැනීම යනාදී උපක‍්‍රම භාවිත කළ හැකි ය. අහිතකර ආහාර පුරුදු නිසා අලූතින් රෝගාබාධ හට ගන්නට හෝ හට ගත් රෝගාබාධ උත්සන්න වන්නට අවදානම් ඇති මුත් බොහෝ පිරිස් එය අමතක කර දමා සුපුරුදු පරිදි තමන්ගේ දිව පිනවන්නට පසුබට නො වෙති. කෙනෙකුට දිවෙන් රසය දැන ඒ රසයට නො ඇලෙන්නට නො ගැටෙන්නට හැකි නම් කෙතරම් ලාභයක් ද?


(උපුටා ගත්තේ - මුදුන / Muduna Magazine     )

0 comments:

Post a Comment