December 22, 2016

ඖෂධීය ගුණයෙන් යුතු සෙනෙහෙකොළ

සෙනෙහෙකොළ දේශීය වෛද්‍ය ක්‍රමයේදී ඉතා බහුලව භාවිතා කරන ඖෂධයක් වන අතර ලෙගියුමිනෝසියේ කුලයේ කැසියා ගණයට අයත් වේ. මෙම පැලෑටිය ඉංග්‍රීසියෙන් සෙනා Senna නමින්ද දෙමලෙන් නිලා වෙරායි නමින්ද සිංහලෙන් සෙනෙහෙකොළ නමින්ද හදුන්වයි. මෙම ශාඛය පදුරු ආකාරයෙන් වැඩෙන රනිල බෝගයකි. සංයුක්ත පත්‍රය උල් වූ පක්ෂවත් සෙ.මී. 03 ක් පමණ දිගැති සෙ.මී. 1 ක් පමණ පළලැති පත්‍රිකා වලින් යුක්තය. පුෂ්පය කහ පැහැති වන අතර ශාඛ මුදුනෙහි පුෂ්ප මංජරියක් ලෙස හටගනී. ඵලය සෙ. මි. 5 ක් පමණ දිගැති හතරැස් හැඩයෙන් යුත් කොළ පැහැති කරලකි. මෙහි සුවිශේෂී ගුණක් ලෙස පස සරු කරලීමට යටි වගාවක් හෝ මිශ්‍ර භෝගයක් ලෙස හෝ ශෂ්‍ය මාරුව සඳහා හෝ යොදා ගැනීම පෙන්වා දිය හැකිය.
පදුරක් ලෙස හැදෙන මෙම ශාඛය මෙහි පැත්තෙන් පැත්තට හැරී යන ආකාරයට විහිදෙන ඉතා දිගු අතු සහිත ශාකයකි. යුගල 5 – 8 ක් ලෙස පිහිටන පත්‍රිකා කොටස් සහිත විහිදුණ පත්‍ර වේ. අප රටට අවශ්‍ය වන සම්පූර්ණ සෙනෙහෙකොළ අවශ්‍යතාවයම විදේශ රටවලින් ආනයනය කරයි. මෙම ශාඛය ආශ්‍රිත නිෂ්පාදන දේශීය මෙන් විදේශීය වශයෙන් ද අලෙවි කල හැක. දැනට මෙම ශාඛය උපයෝගී කර  විරේක ඖෂධ වර්ග වන සිරප් වර්ග, සෙනෙකොට් පෙති හා සෙනා ටී වැනි ඖෂධ නිපදවයි. මෙහි ඖෂධීය ගුණ ලෙස විරේක කාරක ප්‍රධාන වන අතර, පණුවන් හැලීමට උපකාරී වේ. ලේ පිරිසිදු කරන අතර සමට ද හිතකරවේ .
සෙනෙහෙකොළ පිරිසිදු පොල් විනාකිරෙන් අඹරා ගෑම, සෙනෙහෙ ඇට සහ ඇහැළ ඇට මුදවන ලද මී කිරි අඹරා ආලේප කිරීම වැනි ප්‍රතිකර්ම කැසීම් සහිත කුෂ්ඨ වලට භාවිත කෙරේ. ඉදිමුණු අක්මාව සහිත සහ උණ රෝගවලදී වියළි සෙනෙහෙකොළ   ග්‍රෑ. 30 ක් උතුරන වතුර කෝප්පයකට දමා පැයක් පමණ වසා තබා එයට සහිඳලුණු ස්වල්පයක් දමා පෙරා බීම සුදුසු බව කියැවේ.
සකස්කළේ:
ඉනෝක ජයනී ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි.
උපුටා ගැනීම
dinamina.lk

කාර්මික තාක්ෂණ ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශය විසින්

0 comments:

Post a Comment