December 23, 2016

අප නොහිතන රසදිය අවදානම......


පරමාණුක ක්‍රමාංකය 80 ක් වූ "ඩී" ගොනුවට අයත් බැර ලෝහයක්‌ වන රසදිය සාමාන්‍ය උෂ්ණත්ව පීඩන තත්ත්ව යටතේ ද්‍රවයක්‌ ලෙස පවතින එක ම ලෝහය ලෙස සැලකේ.  සෙල්සියස්‌ අංශක -38.83 දී රසදිය ඝන තත්ත්වයට පත් වන අතර සෙල්සියස්‌ අංශක 357.73 දී වායු තත්ත්වයට පත් වේ. "දිය වුණු රිදී" යන අරුත ඇති Hydragyrum නම් ලතින් ඌරුවක්‌ ඇති ග්‍රීක වචනය නිසා රසදියවලට Hg නම් සංකේතය ලැබී ඇත. රසදිය යනු පොළෝ තලය මත අතිශය දුර්ලභ මූලද්‍රව්‍යයක් වන අතර රසදිය පොළොවේ තැන්පත් ව ඇත්තේ "මර්කියුරික්‌ සල්ෆයිඩ්" (HgS) ආකාරයෙනි. මෙහිදී රසදිය (Hg2+) සල්ෆර් වෙත දැඩි ලෙසින් බන්ධනයවී තිබුණද, ජීරණය හේතුවෙන් පරිසරයට රසදිය මුදා හැරෙයි. ගල් අඟුරු තුලද අංශු මාත්‍ර පුමාණයෙන් රසදිය පවතියි. රසදිය පතල් කැණීම හෝ ගල් අඟුරු දැවීම විසින් රසදිය මුදාහැරීම සිදු වෙයි. යමහල් සහ ලැව් ගිනිද රසදිය ප්‍රභව වෙති.
අනෙකුත් ප්‍රභව අතර, ක්ලෝරීන් කම්හල්ද රසදිය වායුගෝලයට මුදාහරියි. මෙම රසදිය භූමියේ සහ ජලයේ යළි තැන්පක් වෙයි. අකාබනික රසදිය බැක්ටීරියා මගින්, මීතයිල්මර්කරි, CH3Hg නම්වූ ලෝහ-කාබනික කැටායනයක් බවට පෙරැලිය හැකි අතර, මෙය බලයා සහ කඩු කොප්පරා වැනි මත්ස්‍යයන් තුල ජීවගත සංචයනය වෙයි. විශාල කාල පරිච්ඡේද ගතවීමත් සමගම, රසදිය වලින් කොටසක් සල්ෆර් සමග යළි සම්බන්ධ වී අවසාදතයන් තුල මිහිදන් වෙයි. ඉන්පසු, චක්‍රය යළි පුනරාවර්තනය වෙයි. 

ආවර්තිතා වගුවේ අපට හමු වන මූලද්‍රව්‍ය අතුරින් රසදිය උග්‍රතම විෂ සහිත මූලද්‍රව්‍යයකි. රසායනික සංයෝගයක්‌ විෂ සහිත වුව ද ඇතැම් විට කල්ගත වීමත් සමග ඒවා වියෝජනයට ලක්‌ වී එහි විෂ සහිත ස්‌වභාවය අඩු විය හැකි ය. එහෙත් රසදිය වල විෂ සහිත ස්‌වභාවය කෙතරම් කල් ගත වුව ද වෙනස්‌ නො වේ. ඊට හේතුව ඒවා මූලද්‍රව්‍ය වන නිසා පරමාණු මට්‌මමින් ම ඒවා විෂ සහිතවීමයි. 
විෂ සහිත මූලද්‍රව්‍යයක්‌ ඒ හා බැඳෙන අනෙකුත් සංයෝගයේ ස්‌වභාවය අනුව කාබනික අකාබනික ලෙස හඳුන්වයි. ඒ අනුව ආසනික්‌ සමග ආකාබනික සංයෝගයක්‌ හෝ මූලද්‍රව්‍යයක්‌ බැඳුණු පසු එය අකාබනික ආසනික්‌ ලෙසත්, කාබනික සංයෝගයක්‌ සමග බැඳුණු පසු කාබනික ආසනික්‌ ලෙසත් හඳුන්වයි. එසේ වූ පමණින් මුල් ආසනික්‌වල විෂ සහිත ස්‌වභාවය නැති නො වන අතර පසුව බැඳුණු කොටස අනුව විසෙහි සාපේක්‌ෂව වෙනසක්‌ සිදු වේ. සාමාන්‍යයෙන් අකාබනික ආසනික්‌ ජීවී සෛලවලට වඩාත් විෂ සහිත ලෙසපිළිගැනේ. 

රසදිය සම්බන්ධයෙන් ගත් කල වඩා විෂ සහිත ලෙස සැලකෙන්නේ කාබනික සංයෝග සමග බැඳුණු රසදිය වේ. විශේෂයෙන් මෙතිල් කාණ්‌ඩ කෙරෙහි රසදිය විශේෂ ලැදියාවක්‌ දක්‌වන අතර ඉන් ගොඩනැඟෙන මෙතිල් මර්කරි, රසදියවලටත් වඩා උග්‍ර විෂකි. පොළොවට එක්‌ වන රසදිය ශාක මඟින් අවශෝෂණය කරගෙන තැන්පත් වන්නේ මෙතිල් මර්කරි ලෙස ය. ආහාර ඔස්‌සේ සිරුරට ඇතුළු වන මෙතිල් මර්කරි පහසුවෙන් ආහාර ජීර්ණ පද්ධතියෙන් අවශෝෂණය කරගෙන රුධිරයට එක්‌ වේ. මෙතිල් මර්කරි ඉතා හොඳින් ලිපිඩ සංයෝගවල ද්‍රාව්‍ය වේ. මේ ගුණය නිසා රුධිරයේ ඇති මෙතිල් මර්කරි මොළයට සහ ස්‌නායු පද්ධතියට ඇතුළු වී තැන්පත් වේ. සාමාන්‍යයෙන් බැර ලෝහ ජීවී පටක තුළ තැන්පත් වූ පසු ලෙහෙසියෙන් පිට ව නො යයි. බැර ලෝහ අඩංගු මිනිසකු හෝ ජීවියකු මිය ගිය පසු ද අවසානයේ නැවතත් ඒවා එක්‌ වන්නේ ද පස්‌වලට ය. එම පස්‌ ඔස්‌සේ ශාක සහ සතුන්ටත්, පසුව මිනිසුන්ටත් රසදිය ද ඇතුළු බැර ලෝහ නැවත නැවතත් ගමන් කරයි. එනම් වරක්‌ එක්‌ වූ පසු ස්‌වාභාවික චක්‍රයකට පිවිසේ.


රසදිය නිසා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න ඇති වන්නේ ස්‌නායු පද්ධතියට ය. මොළයේ චාලක කටයුතු පාලනය කරන ප්‍රදේශයට සහ මතකයට අදාළ කොටසට රසදිය නිසා ඉහළ බලපෑමක්‌ ඇති කරන බව මේ වන විට සනාථ වී ඇත. කළල අවධියේ සහ ළදරු අවධියේ මේ අවදානම ඉහළ ම බව සොයාගෙන ඇත. රසදිය අඩංගු ආහාර ගන්නා මවක ගෙන් මවුකිරි හරහා මේ බැර ලෝහය කුඩා දරුවන් ගේ සිරුරට ඇතුළු වන බවත් ඒ නිසා පූර්ව ළමා ස්‌නායු විකසනය දුර්වල වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

මර්කරි වල ස්‌නායු විෂ පිළිබඳ තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඩෝපැමින් නම් පණිවිඩ ගෙන යෑමට වැදගත් වන රසායනික සංයෝගය නිපදවීමට සහ එහි ක්‍රියාකාරීත්වයට මර්කරි බාධා පමුණුවන බව වෛද්‍ය විද්‍යාත්මකව සොයා ගෙන ඇති අතර ඩෝපැමින්වල ක්‍රියාකාරීත්වයේ වෙනස්‌කම් නිසා පාකින්සන් රෝගය ඇති වන බව පිළිගෙන ඇත. පර්යේෂණ වලට අනුව ඇල්ෂයිමර් රෝගය ඇති වීමට ද දිගුකාලීන අංශු මාත්‍ර රසදිය විස වීම හේතුවකි. ඇමිනෝ අම්ලවල ඇති ඩයිසල්ෆයිඩ් කාණ්‌ඩයට සහ ප්‍රෝටීනවල සල්ෆයිඩ්‍රිල් කාණ්‌ඩයට රසදිය ඉතා පහසුවෙන් බැඳේ. බොහෝ හෝමෝන සහ එන්සයිම ඇමයිනෝ අම්ලවලින් සෑදුණු ප්‍රෝටීන ය. මේ හේතුවෙන් මිනිස්‌ සිරුරේ ක්‍රියාකාරීත්වයට අතිශය වැදගත් වන හෝමෝන සහ එන්සයිම ගණනාවක ක්‍රියාකාරීත්වය රසදිය නිසා ඇණහිටී. විශේෂයෙන් ස්‌නායු පද්ධතියේ දී මේ බලපෑම වඩා ඉහළ බව මේ වන විටත් සනාථ කරගෙන ඇත.

මේ හැරුණු කල ඇසීමට සහ දැකීමට අදාළ ස්‌නායුවලට සහ ඊට අදාළ මොළයේ ප්‍රදේශවලට රසදිය නිසා බලපෑමක්‌ ඇති වන බව සතුන් යොදාගෙන සිදු කළ පර්යේෂණවලින් හෙළි වී ඇත. ජපානයේ මිනමාටා ප්‍රදේශයේ ඇති වූ රසදිය විෂ වීමෙන් වසර 20කට පමණ පසුත් එහි බලපෑම නිසා ඊට ගොදුරු වූවන් ගේ ඇසීමේ සහ දැකීමේ දුර්වලතා ඇති වූ බව සඳහන් වේ. රසදිය යොදාගත් කර්මාන්තවල සේවයේ නියුතු වූවන් පිරිසක්‌ යොදාගෙන කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ඔවුන් ගේ මතකය, යමක්‌ දෙස ඇති වන අවධානය සහ සිරුරේ අවයව අතර ඇති සමායෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස්‌ ඇති බවයි.


සිරුරට ඇතුළු වන රසදිය ඒකාරාශී වන ප්‍රධාන අවයවය වකුගඩු බව පර්යේෂණ අනුව  සනාථ කරගෙන ඇත. මර්කියුරික්‌ ක්‌ලෝරයිඩ් යනු උග්‍ර වකුගඩු විෂක්‌ බව වෛද්‍ය විද්‍යා පොත පතවල සඳහන් වේ. වකුගඩු සෛලවලට DNA ආරක්‌ෂාවට වැදගත් වන NF-KB නම් සංයෝගයේ තයෝල් කාණ්‌ඩයට රසදිය බැඳීම නිසා එහි ක්‍රියාකාරීත්වය අඩු වන බවත් ඒ හේතුවෙන් වකුගඩු සෛලවල න්‍යෂ්ටික ද්‍රව්‍ය විනාශ වී වකුගඩුවල පෙරීමේ හැකියාව ක්‍රමයෙන් අඩු වන බවත් පර්යේෂණාත්මකව පෙන්වා දී ඇත. ඒ හැරුණු විට සෛලවලට හානි පමුණුවන "මුක්‌ත ඛණ්‌ඩක"වලින් සෛල ආරක්‌ෂා කරන යාන්ත්‍රණය බිඳ දැමීම මඟින් ද වකුගඩු සෛල විනාශ වන බව පර්යේෂණාත්මකව තහවුරු වී ඇත.

මෙතිල් මර්කරි ශරීර පටකවල තැන්පත් වූවන් ගේ ගබ්සා වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ බවත් එවැනි අයට උපදින දරුවන් ගේ ස්‌නායු ආබාධ වැඩි බවත් සනාථ කරගෙන ඇත. ඉතා කුඩා රසදිය ප්‍රමාණයක්‌ වුව දිගු කලක්‌ ශරීරගත වූ පිරිමින් ගේ ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කින් පමණ අඩු වන බවත් ඒවායේ චාලක හැකියාව 90%කින් පමණ අඩු වන බවත් පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මයික්‍රොග්රෑම් ප්‍රමාණයක්‌ වුව ද ශරීරගත වුවහොත් රසදිය නිසා සෞඛ්‍ය අවදානමක්‌ ඇති වන බව පෙනීයනු ලබන පැහැදිලි කරුණකි. මිනිසුන්ට පමණක්‌ නො ව සතුන්ට සහ ශාකවලට ද එසේ ම ය. රසදිය නිසා දූෂණය වූ පසේ වැඩෙන ශාකවල පවා ජාන විකෘති වීම් ඇති වන බව උද්භිද විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත.
මේ අනුව ආසනික් භාවිතය සම්බන්ධව ජාතික වශයෙන් සිදු කෙරෙන මැදිහත්වීමක්‌ ලහි ලහියේ සිදු විය යුතු අතර, එසේ නො වන්නට කෘෂි රසායන මගින් ලක්‌ පොළොවට එකතු වන විෂ ද්‍රව්‍ය නිසා ජාතිය ම අනතුරේ බවත් සියලු පර්යේෂකයන්ගේ මතය වනු ඇත. 

0 comments:

Post a Comment