January 20, 2015

සත්ව ලෝකයේ සන්නිවේදන මාධ්‍යයන්

ලෝකයේ   ජීවි ප්‍රජාව සත්ත්ව හා ශාක ලෙස බෙදා වෙන් කළ හැක. සත්ත්වප්‍රජාව අතර විවිධාකාර  සන්නිවේදන මාධ්‍යයන් පවති. ජීවිලෝකයේ උසස්ම   සත්වයා වන මිනිසා අතර සන්නිවේදන මාධ්‍යයන් රාශියක් ඇති බව අප සැම දන්නා කරුණකි. නමුත් සතුන් අතර පවතිනසන්නිවේදන ජාලා

විවිධාකාර වේ.
සෑම සජීවි හා අජීවි වස්තුවකටම යම් කිසි අදහසක් හෝ හැඟිමක් තවත් සතෙකු තුළ ඇති කරන්න පුළුවන්. මෙයට නිදසුනක් ලෙස අධික ලෙස වැසි ඇඳහැලෙන විට ආවරණය වීමට ස්ථානයක් කරා පිටව යෑමත්, යම් සතෙක් භායානක ලෙස කෑගසන විට අපට තිගැස්මක් ඇතිවිමත් දැක්විය හැක.
මෙහි සිදු වී ඇත්තේ සතෙකුගේ හැඟිම් හෝ අදහස් තවත් සතෙකුට ලැබිම තුළින් , දෙවනුව කී සතාගේ චර්යාවේ වෙනස් වීමක්, එනම් සතුන් දෙදෙනා අතර සන්නිවේදනයක් සිදු වීඇත.

එම, සන්නිවේදනයකදී තොරතුරු ලබාදෙන අය (Sender) හා තොරතුරු ලබා ගන්නා අය (Receiver) ලෙස හඳුන්වන අතර හුවමාරු වනුයේ පණිවිඩයක් හෙවත් තොරතුරක් (Message) ය.
එම පණිවිඩය ගමන් කරන්නේ යම් මාධ්‍යයක් හරහාය. එය රසායනික, විද්‍යුත්, දෘෂ්ටික,තාප,ශබ්ද හෝ ස්පර්ශ විය හැකිය.
ස්පර්ශ සන්නිවේදනය මුලිකම සන්නිවේදන ක්‍රමයයි. සියලුම සත්වයන් මෙම ක්‍රමයට ප්‍රතිචාර දක්වන අතර මෙම සන්නිවේදනය අපෘෂ්ඨ වංශිකයන් තුළ ප්‍රමුඛව දක්නට ලැබේ.
පොළව යට සිටින අන්ධ වේයන් වේ ගුහාව තුළදී අදහස් හුවමාරු කරන්නේ ස්පර්ශ සන්නිවේදනය මඟිනි. මේ අතර සංසර්ග කටයුතු සඳහා පමණක් රාත්‍රී කාලයේ දී තමන් සිටින ගුල් වලින් එළියට එන බිම් පණුවන් එකිනෙකා අතර තොරතුරු සන්නිවේදනය කරගන්නේ ස්පර්ශ මඟින් වේ.
වඳුරන් එකිනෙකාගේ සිරුරු පවිත්‍ර කර ගැනීමත් ස්පර්ශ සන්නිවේදනයට නිදසුන්ය.
ස්පර්ශ සන්නිවේදන ක්‍රමය භාවිතා කළ හැක්කේ ඉතා කෙටි දුරකදී වුවත් සමහර සතුන් සිය සිරුරේ ඇති උපාංග ආධාරයෙන් තරමක් ඇතට හෝ මෙම  සන්නිවේදනය පවත්වා ගැනීමට උත්සාහ දරයි.
අපෘෂ්ඨ වංශීන් අතර ස්පර්ශ සන්නිවේදන ක්‍රමය සහ රසායනික සන්නිවේදන ක්‍රමය එකට බැඳි පවතිනවා. එම නිසා ඔවුන්ගේ ස්පර්ශ සංවේදි අවයව හා එකට එක්ව රසායනික ප්‍රතිග්‍රාහක ද පවති. සමහර කෘමි ආකාර ස්පර්ශක සහ රසායනික ප්‍රතිග්‍රාහක දැරීම මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය.
ශබ්දයට බොහෝ දුරක් යා හැකි අතර එයට ස්වභාවික බාධක වන වනාන්තර ,කඳු ආදිය පසුකර ගමන් කිරිමේ හැකියාව පවතී. මෙයට නිදසුනක් ලෙස, අනතුරු හැඟවිමේ කුරුලු ශබ්දය හා ගණ වනාන්තරේ දිවියෙක් එන විට වඳුරන් දිවීම වැනි අවස්ථා ගත හැක.

ගසක් වැනි ඉහළ ස්ථානයකට නැඟුන පක්ෂියෙක් ඔහුගේ වසම් ශබ්දය නිකුත් කිරීම සහ තෘණ බිමක ජීවත් වන පක්ෂීන්ට එවැනි උස ගස් නැති විට ඔවුන් තම වසමට ඉහළින් පියාසර කර වසම් ගීතය ගැයීම මෙයට උදාහරණ ලෙස හැඳින්විය හැක. කෘමීන් සැලකු කළ ඔවුන් තමන්ට අවශ්‍ය තොරතුරු තම වංශයේ අනෙක් සතුන්ට නිකුත් කිරීමට විවිධ ක්‍රම වලින් නිපදවන ශබ්ද උපකාරි කර ගනි.
 තණකොළ පෙත්තන් තමන්ගේ පසු ගාත්‍රා පියාපත් වල ඇතිල්ලීමෙන් ශබ්ද පිටකරන අතර තමනට අවශ්‍ය විවිධ තොරතුරු නිකුත් කිරිම සඳහා මොවුන් එකිනෙකාට වෙනස් ශබ්ද නිකුත් කරන බව සොයාගෙන තිබේ.
තමන් හා සංසර්ගයට අන් සතුන් කැඳවීමට වගේම තමන් සංසර්ගයේ සිටින බව අන්‍යයන්හට දැන්වීම සඳහාත් මොවුන් ශබ්ද නිකුත් කරනවා.
උභය ජීවීන් සැලකු කළ සිය ලිංගික සහකාරිය තමන් වෙත ගෙන්වා ගැනීමට පිරිමි සතා විවිධ ශබ්ද රටා උපයෝගි කරගනී. සමහර උරග විශේෂ සිය ගොදුර ගෙන්වා ගැනීමට ද ශබ්ද රටා උපයෝගි කරගනී.
“රැට්ල්” (Rattle) නම් සර්පයා සිය දේහයේ වලිගය කෙළවර වු “රැට්ල් නම් කොටස චලනය කර නිකුත් කරන ශබ්දය අසා එය වෙත පැමිණෙන කුඩා සත්ත්වයින් ගොදුරුකර ගනි.
පිරිමි කිඹුලන් ද ශබ්ද නිකුත් කර සංසර්ග කටයුතු සඳහා ස්ත්‍රී සතුන් ගෙන්වා ගන්නවා.
හුනන් විසින් නිකුත් කරන ශබ්ද ඔවුන් අතර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීමට උපයෝගි කරගන්නවා. මනුෂ්‍යයන් වන අප ද ඔවුන්ගේ “චික් චික්ශබ්දය ඇසුන විට සුබ කටයුතු ඇරඹීම ද නවත්වනවා දැක ඇත. එනම් මනුෂ්‍යයන් වන අපත්, එම කුඩා සතුනුත් අතර ශබ්දයට අනුව යම් ආකාරයක සන්නිවේදනයක් පවතිනවා.
පක්ෂීන් සාමාන්‍ය යෙන් ශබ්ද නිකුත් කරන සත්ව ආකාරයක්. මොවුන් නිකුත් කරන ශබ්ද ප්‍රධාන ආකාර දෙකක් යටතට ගැනේ.
ඉන් මුල් ආකාර සරල සිංදුයි( සරල ගීත) සරල සිංදු කියනුයේ තරුණ පක්ෂීන් දෙවැන්න සංකීර්ණ සිංදු (සංකීර්ණගීත) වන අතර , ඒවා තමන්ට අයිති වසම තවදුරටත් රැක ගැනීමට සහ එක්වීම සඳහා සිය සහකාරිය ගෙන්වා ගැනිමටත් නිකුත් කරනවා. මෙයට අමතරව පක්ෂීන් සමුහයක් එකට එක්ව දිගු
ගමනක් අරඹන විට මෙන්ම , දිගු ගමනක් අවසානයේ දි ගොඩ බිමට එන අවස්ථාවේ දී ගීත ගායනා කරනු ලබනඅතර විශේෂයෙන් මෙවැනි ගීත ගායනා කරනු ලබන්නේ විශාල දුරක් ගමන් කරනු ලබන ඔවුන් විසින් ය. ඔවුන් මෙවැනි ගීත ගායනා කර තමන් අතර සන්නිවේදනය පවත්වා ගනුයේ එය අවම ශක්තියකින් නිකුත් කළ හැකි නිසාත් , ශබ්දය වැඩිදුර ගමන් කරන නිසාත් බව අප පිළිගැනේ.
අනෙකුත් සත්ත්ව ආකාරවලට වඩා භෞමික ක්ෂිරපායින් විවිධාකාර ශබ්ද පිටකර තමන්ට අදාල වු තොරතුරු සන්නිවේදනය කර ගනු ලබයි.
සමහර කෘන්තකයින් (Rodents) අධි ධ්වනි (Ultrasonic) ශබ්ද පිටකර ඔවුන් තනිවී ඇති විටක හෝ බඩගිනි ඇති විටක ඔවුන්ගේ තොරතුරු එකිනෙකා අතර සන්නිවේදනය කර ගනී.
වානරයින් , බැබුන් වඳුරන් හා චිම්පන්සීන් යම් උවදුරක් ඇත්නම් තම විශේෂයට දැන්වීමට අනතුරු සංඥා දන්වනවා.
විලෝපිකයෙක් තමන් හඹා එන විට වඳුරන් කෑ ගසා පැන දිවීම මෙයට කදිම නිදසුනකි.
මුහුදු ක්ෂීරපායින් සැලකු කළ ජලීය මාධ්‍යකදී ශබ්ද තරංග වඩා වේගයෙන් ගමන් කරන නිසා , ඔවුන් ශබ්ද ආධාරයෙන් සිය තොරතුරු එකිනෙකා අතර හොඳින් හුවමාරු කරගන්නවා.
තල්මසුන් ,සිය ප්‍රජනන සහකාරිය තමන් වෙත කැඳවා ගැනීමට අති ධ්වනි තරංග පිට කරනවා. ඒවා
සැතපුම් 4000ක පමණ දුරක් ගමන් කරන බව සොයාගෙන තිබෙනවා.
ඩොල්පින් ආකාර ද සිය වයස, ලිංගික තත්වය යනා දි තොරතුරු අනෙකුත් සාමාජිකයන්ට මෙම ආකාරයෙන් පණිවිඩ ලබාදෙනවා. මුහුදු සිංහයන් ද සිය වසම් රැකීම සඳහා ශබ්ද තරංග භාවිතා කරනවා.
එසේම ජලජ මත්ස්‍ය ආකාර ද සිය ප්‍රජනන චර්යා පැවැත් වීමේ දී සහ කලහකාරි විට ශබ්ද උපයෝගි කරගෙන සිය සන්නිවේදන කටයුතු සිදුකරයි.
දෘෂ්ටි සන්නිවේදනය ගත් කළ එය කෙටි දුරකට පමණක් සිමා වන ක්‍රමයකි.මන්දයත් එයට බොහෝ ස්වාභාවික බාධක පරයා ගමන් කළ නොහැකි නිසයි. පෘෂ්ඨවංශීකයන් හා සෙපැලෝපොඩාවන් (දැල්ලන්,බුවල්ලන්) අතර මෙම සන්නිවේදනය බෙහෙවින් සිදුවේ. මේ සඳහා හොඳින් වර්ධනය වු ඇස් එම තොරතුරු ලබා ගන්නා අයට තිබිය යුතුයි.
සමහර සතුන් අතර විවිධ වර්ණ රටා වලින් සන්නිවේදනය කරනවා. මත්ස්‍යයන්, උරඟ හා උභය ජීවින් මේ අතර දැකිය හැක. ඒවා තර්ජනාත්මක වර්ණ රටා ලෙසඳ හදුන්වයි. එමඟින් තමන්ගේ ඇති විස සහිත භාවය අනෙකුත් සතුනට දැන්වීම සාර්ථක කරනවා. එහිදි ගොදුරු හා විලෝපිත සතුන් අතර සිදුවන්නේ දෘෂ්ටිය මුල් කරගත් සන්නිවේදනයක් ය.
එසේම විෂ රහිත අහිංසක ආකාර ද විෂ සහිත සතුන්ගේ වර්ණ රටා ගෙන තමන් ගොදුරු කර ගැනීමට
පැමිණෙන විලෝපිතයන්ගෙන් ගැලවීමට දෘෂ්ටි සංඥා ක්‍රමය යොදා ගනී. මෙමඟින් ශක්තිය වැය නොකර සිය හැඟිම් හුවමාරු කර ගැනීමට මාර්ගයකි. මෙයට උදාහරණ ලෙස සතෙක් රෞද්‍ර වීම අනුව ඔහුගේ මුහුණෙන් පිළිඹිඹු වන විලාසය දැකිමෙන් අන් සතුන් බියට පත්වේ. එලෙසම සතෙක් ප්‍රිය මනාපව සිටින විට ද මුහුණෙන් අත් පා චලනය කරන ආකාරය ද අන්‍යයන්ට හැඟේ.
දෘෂ්ටි සංඥා මාර්ගයෙන් තොරතුරු සම්ප්‍රේශනයේ දී යම් යම් බාධක ඇතිවේ එනම් ඒවාට යම්කිසි බාධකයක් පරයා යාමට නොහැකි විමයි. උදාහරණ ලෙස, සත්වයකු බිත්තියකට හෝ මහා පර්වතයකට මුවා වී සිය හැඟිම් එම බාධකයකට ඉදිරියෙන් සිටින සතෙකුට දැන්වීම දෘෂ්ටිය ආධාරයෙන් කළ නොහැකි වීමයි. ආලෝකය නොවැටෙන අන්ධකාර ස්ථාන වලත් මෙම තත්වයම ඇතිවේ.
රසායනික සන්නිවේදනය කෘමි ආකාර වල සහ ක්ෂීරපායී ආකාර වල ප්‍රචලිතව දක්නට ලැබේ. කෘමින් සැලකිමේදී ඹවුන් විවිධාකාර වු රසායනික ද්‍රව්‍ය නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස ගැහැණු
සළබයින් ‍ෆෙරමෝන (pheromone) නම් ද්‍රව්‍යක් සිය සහකරුවා වෙත පිටකරයි. එම ගන්ධය දැනුන වහාම ෆෙරමෝන නිකුත් කළ ස්ත්‍රී ලිංගිකයා කරා පිරිමි සතා පැමිණේ.
මුත්‍රා හෝ සත්ව මළ පහ සතුන් විසින් බහිස්‍රාවී අපද්‍රව්‍යක් ලෙස පරිසරයට එකතු වේ. මෙම බහිස්‍රාවී අපද්‍රව්‍ය ආවේණික ගන්ධයකින් යුක්ත වේ. තම වසම් සිමා දැක්විමේදී සතුන් තම අපද්‍රව්‍ය එහි සීමා වලදි නිකුත් කෙරේ. එහි ගන්ධය ආඝ්‍රහනය කළ පසු තම විශේෂයෙන් වෙනත් සතෙකුගේ නිවහනක් ලෙස සලකා ඉන් ඉවත් වේ. උදාහරණයක් ලෙස බළල් පවුලේ සතුන් ම්‍රත්‍රා උපයෝගී කරගෙන රසායනික සන්නිවේදනය කරයි.
මනුෂ්‍යා සැලකුව ද රසායනික ක්‍රම වලට අනුව සිය විශේෂයේ අන් සාමාජිකයන් අතර තොරතුරු හුවමාරුවේ. උපතේ සිට ක්‍රියාකාරී වන දහඩිය ග්‍රන්ථි මඟින් මිනිසා යම් ආකාරයක සන්නිවේදනයක් අන්‍යන්ට ලබා දේ. දහඩිය ගන්ධය අප එකිනෙකාට ආවේණික වුවත්, අප එතරම් දහඩියට සංවේදී නොවුවත් අපගේ දහඩිය ගන්ධයට බෝහෝ සුනඛයින් සංවේදී වන බව අප දන්නා කරුණකි. නිවසක ඇති කරන සුනඛයා තම ස්වාමියා නිවසට පැමිනෙන විට නොබුරා ඉදිරියට පැමිණෙන්නේ මෙම රසායනික සන්නිවේදනය නිසාය.

එලෙසම ළදරුවකු සිය මව හඳුනා ගැනීමටද ෆෙරමෝන උපයෝගී කරගනී. අන් කෙනෙකු අතට ගියවිට ළදරුවා හඬනුයේ නුපුරුදු ෆෙරමෝනයක් වන බැවිනි.
රසායනික සන්නිවේදන ක්‍රමයේ යම් යම් අවාසි තත්වයන් ඇත. මුල්ම අවාසිය නම් එමඟින් නිකුත්වන තොරතුරු ක්ෂණිකව වෙනස් කළ නොහැකි වීමයි. දෙවැන්න එම රසායනික ද්‍රව්‍ය අවට පරිසරයේ නොනැසි පැවතිය යුතුවීමයි. එලෙස නොනැසි පැවතීමට නම් එහි අණුක භාරය වැඩි විය යුතුය. අණුක භාරය වැඩි දුව්‍යක් ස්‍රාවය කිරිමට නම් එම සත්වයා අධික ශක්තියක් වැය කළ යුතුයි. එය ද අවාසියක් වේ.

රසායනික ද්‍රව්‍ය වේගයෙන් වාතයේ වාෂ්පශීලීව ගමන් කළ යුතුයි. එය බොහෝ කාලයක් එලෙසම පැවතුනහොත් එම ගන්ධය ඔස්සේ සතුරන් පවා පැමිණිය හැකිය.
කුහුඹුවන් විශේෂයක් සිය නිවහන සලකුණු කර ගැනීම පිණිස නිකුත් කරන රසායනික ද්‍රව්‍ය ඔස්සේ ඔවුන්ගේ විලෝපිකයෙක් වන සර්පයින් පැමිණිම මෙයට නිදසුනකි.
විද්‍යුත් සන්නිවේදනය කරනුයේ සත්ව ලෝකයේ සතුන් කිහිපදෙනකි. විදුලි ආඳන් විදුලි මත්ස්‍යයින් හා විදුලි මඩුවන් උදාහරණ ලෙස ගත හැකිය. එම සතුන් විසින් සිය දේහය වටා විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිකර ගනී. එමඟින් ගොදුරු ඩැහැ ගැනීම ප්‍රමුඛව සිදුකරන අතර තමන් ද ආරක්ෂාව සපයා ගනී.
සමහර විදුලි ආඳන් තමන් විසින් නිතුත් කරනු ලබන විද්‍යුත් තරංග ආධාරයෙන් තමන්ගේ ලිංගිකත්වය, තමන් ප්‍රජනනය සඳහා ඇති කැමැත්ත සියසහකරු ⁄ සහකාරිය වෙත දැන්වීම ද කරනු ලබනවා.
සත්ත්ව ලෝකයේ කුරුමිණි විශේෂ කිහිපයක් පමණක් තාප සන්නිවේදනය මඟින් ආරක්ෂාව සපයා ගනී. තමන් සතුරෙකුගේ ගොඳුරක් බවට පත්වේ යැයි හැඟුනු විගස, එම සතුරාගේ ඇඟ මතට අධික තාපයෙන් යුත් ද්‍රව්‍යක් පිට කර ඔවුන් ගැලවීමට උත්සාහ දරයි.
මනුෂ්‍යා සිය සන්නිවේදනය සඳහා දෘෂ්ටිය, ශබ්දය, ස්පර්ශය හා රසායනික ක්‍රම භාවිතා කරගන්නවා. අනෙකුත් සත්වයින් බෝහෝ විට ඉහත විස්තර කළ ආකාරයට එක් ආකාරයක් හෝ කිහිපයක සම්ම්ශ්‍රණයක් භාවිතා කර සිය සන්නිවේදනය සිදුකරයි.

www.skwirk.com/...animals-communicate/...communication/animal-com..සුරිනි.
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ඉබ්බාගමුව.

2 comments:

Post a Comment