January 19, 2015

පී එල් යූ කෝඩ් (Price Look-Up code)

භාණ්ඩ මිලදී ගැනීමේ දි අපට හි හිතා ඉන්න කාලයක් නොමැති තරම් අද අපි කාර්යය බහුල වී තිබෙනවා. ඒ කාර්යය බහුලත්වය නිසාම සුපිරි වෙලද සැළකට දුව ගොස් ගෙදරට අවශ්‍ය කෑම බීම ගන්නත් අපි පුරුදු වෙලා තියෙනවා. ලේබලයක කෙතරම් තොරතුරු අඩංගු වුනත් ඒවා කියවන්න කාලය යොදවන්න  තරම් අපි උනන්දු නැහැ.
නමුත් සුපිරි වෙලද සැළකින් ආහාර මිලදී ගැනීමේදී ඒවායේ ලේබල පරීක්‌ෂා කර බැලීමෙන් හොඳම දේ තෝරා ගන්න පුළුවන්. සාමාන්‍ය වෙළද සැළක නම්  පලතුරු සහ එළවළු තෝරා ගන්නා විට ඒවාට ලේබල නැති නිසා තෝරා ගැනීම ටිකක්‌ අපහසු වෙනවා. නමුත් සුපිරි වෙළෙඳසැල් වල සහ ඇතැම් සාමාන්‍ය වෙළද සැල්වල පවා ඇසුරුම් නොකළ ඇපල්, දොඩම්, සුකිනි වැනි පලතුරු සහ එළවළු වල නම් ස්‌ටිකරයක්‌ තිබෙනවා. බොහෝ විට රටින් ගෙන්වන ලද පලතුරුවල මෙය දක්නට ලැබෙන නිසා ගෙඩියට බෙහෙත් විද්ද තැන වසන්න අලවන ස්ටිකරයක් බව වැඩි දෙනෙක් විශ්වාස කරනවා.
ඔබ සුපරික්ෂාකාරීව බැලුවොත් එහි අංක 4ක හෝ 5ක නොම්මරයක්‌ දකින්න පුළුවන්. ඒ නොම්මරයෙන් පාරිභෝගිකයාට ප්‍රයෝජනවත් තොරතුරු ලබා දෙනවා. එම අංකනය හඳුන්වන්නේ පී එල් යූ කෝඩ් (Price Look-Up code) වශයෙනුයි. මෙම අංකන ක්‍රමය 1990 සිට භාවිතා වෙනවා. 2012 වන විට 1400කට වඩා අධික පී එල් යූ කෝඩ් නියම කර තිබෙනවා.
 මෙම අංකනයෙන් පලතුරු හෝ එළවළු සාම්ප්‍රදායිකව වගා කළ, කාබනික , ජානමය වශයෙන් වෙනස්‌ කළ ඒවාද යන තොරතුරු දැක්වෙනවා. වර්තමානයේ මෙම අංක හතරේ නොම්මරය 3000 සිට 4999 පරාසයේ පවතිනවා.

අංක 4ක නොම්මරයෙන් ඒවා කුමන වර්ගයක එළවළු හො පලතුරුද යන්න දැක්‌වෙනවා.
මෙම අංක 3න් පටන්ගන්නේ නම් ඒවා සාම්ප්‍රදායිකව වගා කළ බව දන්වා සිටිනවා. එනම් ඒ නිෂ්පාදන වලට වල් නාශක, රසායනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය භාවිතා කර තිබෙනවා.
අංක 4 ක නොම්මරය ඉදිරියේ 0 හො 8 හෝ 9ඇතුළත් කරමින් අංක 5කින් යුතු නොම්මරය සැකසෙනවා.
අංක 0න් පටන්ගන්නා ඉලක්‌කම් පහක්‌ ඇති නොම්මරයෙන් "සුදුසුකම් නොලත්" නිෂ්පාදනයක්‌ හදුන්වනවා. අංක 8 න් පටන්ගන්නා අංක පහක නොම්මරයක්‌ ඇති නිෂ්පාදන ජානමය වශයෙන් වෙනස්‌ කිරීමකට ලක්‌ කළ ඒවාය. එනම් විශාලව වැඩීමට හෝ ඉක්‌මනින් වැඩීමට හෝ කෘමි හානි අඩු කිරීමට හෝ වෙනත්  කාරණයක් සදහා ජාන තාක්‍ෂණය භාවිතා කර තිබෙන බව  දැක්වෙනවා. අංක 9න් පටන්ගන්නා අංක පහක නොම්මරයෙන් කිසියම් නිෂ්පාදයක්‌ කාබනික වශයෙන් වගා කළ ඒවා බව දන්වා සිටිනවා.
හැකි තරම් කාබනික ආහාරම කෑමට ගැනීම වැදගත් වුවත් එය පහසු කරුණක්‌ නොවේ. ඒ නිසා එළවළු පලතුරු තෝරා ගන්නා විට රසායනික ද්‍රව්‍ය සහ කෘමිනාශක ද්‍රව්‍ය උරා ගැනීමේ හැකියාව ගැනත් දැනගෙන සිටීම වැදගත්. සැල්දිරි, පීච්, ස්‌ට්‍රොබෙරි, ඇපල්, රීලූබෙරි, නෙක්‌ටරින්, ස්‌වීට්‌ බෙල් පෙපර්, නිවිති, චෙරි, අර්තාපල්, මිදි, සලාද ආදියට රසායනික ද්‍රව්‍ය උරා ගැනීමේ හා රදවා තබා ගැනීමේ හැකියාව වැඩියි. සම්ප්‍රදායිකව වගා කළත් සමහර එළවළු පලතුරු වලට රසායනික ද්‍රව්‍ය උරා ගැනීමේ හැකියාව අඩුයි. ඒවා අතරට ළුනු, අලිපේර, ස්‌වීට්‌කෝන්, අන්නාසි, අඹ, ස්‌වීට්‌ පී, අස්‌පැරගස්‌ කැන්ටලුප්, පැණිකොමඩු, බතල ඇතුළත් වෙනවා.

මින් පසු වෙළදපලේ භාණ්ඩ මිලදී ගැනීමේදී පී එල් යූ කෝඩ් ගැන අවබෝධය ඔබට වැදගත් පිටිවහලක් වේවි.
සකස්කලේ
අනුෂා සාගරිකා
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි
තිඹිරිගස්යාය

0 comments:

Post a Comment