November 3, 2014

සෙ(z)නොඊස්ට්‍රජන්ස් (Xenoestrogens)


ඊස්ට්‍රජන් යනු මිනිසා තුළ පවතින ස්වභාවික හෝමෝනයකි.  මෙය,
 කාන්තාවන්ගේ ප්‍රධානතම ලිංගික හෝමෝනයක්  වන අතර මූලිකවම ප්‍රජනනයට හා ද්විතීයික ලිංගික ලක්ෂණ අැති කිරීමට දායක වේ. අමතරව අස්ථි වර්ධනය, රුධිර කැටි ගැසීම වැනි කාර්යයන් ද මෙමගින් සිදු කෙරේ. ඊස්ට්‍රජන් ස්‍රාවය වීම ස්ත්‍රියකගේ ඩිම්බකෝෂ මගින් මූලිකවම සිදු වේ.  අමතරව මේද සෛල හා ඇඩ්‍රිනල් ග්‍රන්ථිය මගින්ද ඊස්ට්‍රජන් ස්‍රාවයවීමක් වේ.
සාමාන්‍යයෙන් අන්තරාසර්ග ග්‍රන්ථි හෙවත් නිර්නාල ග්‍රන්ථි මගින් ස්‍රාවය කරන හෝමෝන මගින් එක් එක් පටක කරා එමගින් කළ යුතු කාර්යය පිළිබද පණිවුඩ යැවීමක් සිදු කරයි.

බාහිරව ඇතුළු වන ඇතැම් රසායන ද්‍රව්‍ය මගින් ස්වභාවික හෝමෝනවලින් වන කාර්යය අනුකරණය කිරීමක්, අවහිර කිරීමක් , එසේම හෝමෝන හා බැදෙන ප්‍රතිග්‍රාහක අවහිර කිරීමක් වැනි දේ සිදු කරනු ලබයි. මේවා ස්වභාවික ඊස්ට්‍රජන්වල ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන ආගන්තුක ‍සංයෝග වන හෙයින්, සෙ(z)නඊස්ට්‍රජන් ලෙස හදුන්වයි. සෙ(z) යනු බාහිර එසේත් නැතිනම් ආගන්තුක යන තේරුම දෙන්නකි. මෙවැනි රසායන ද්‍රව්‍ය මගින් මිනිසාට මෙන්ම සතුන්ගේ සෞඛ්‍යය කෙරෙහි තර්ජනයක් වන බව ‍පර්යේෂකයින් විසින් සොයා ගෙන ඇත.

මෙම රසායන ද්‍රව්‍ය, අප ගන්නා ආහාරයෙන්, පානීය ජලයෙන් හා ආශ්වාසය තුළින් මිනිස් සිරුරට ඇතුළු වීමෙන් පසු ඒවා  ඊස්ට්‍රජන් හෝමෝනයේ ක්‍රියාරිත්වයට බොහෝ සමානව ක්‍රියාකරයි.
විශේෂයෙන්ම හෝමෝනවලට සංවේදී ඉන්ද්‍රියන් වන ගර්භාෂය, පියයුරු, ස්නායු පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය යන ස්ථාන කෙරෙහි ඇති කරන බලපෑම ඉහළය.

මෙවැනි රසායන ද්‍රව්‍ය බොහොමයක් අප පරිසරය තුළින් හමු වේ.
ඒ අතර,

         I.            කාර්මික නිෂ්පාදන හා ප්ලාස්ටික් නිෂ්පාදන                                                                                           උදා- Polybromominated biphenyl ethers (PBDEs), Organochlorines, Bisphenol A ,  Phthalates                   වැනි  සංයෝග  
       II.            කෘෂි කර්මාන්තයේදී භාවිතා වන කෘමිනාශක, වල්නාශක හා දිලීරනාශක වැනි රසායනික ද්‍රව්‍ය
                Endosulfan, Fenthion, Heptachor වැනි කෘමිනාශක ද, Atrazine වැනි වල්නාශක ද මේ සදහා                      උදාහරණ වේ. 
      III.         චර්ම ආලේපන
              උදා- හිරු එළියෙන් ආරක්ෂාවීමට භාවිතා වන ආලේපන වර්ග - 4 - Methylbenzylidene                               camphor, ethylperaben, Benzoperabene  වැනි රසායන ද්‍රව්‍ය මේවායේ අඩංගු වේ.

      IV.       ගොඩනැගිලි ද්‍රව්‍ය - මේ අතර භාවිතා වන තීන්ත වර්ග, දැව ආරක්ෂක ද්‍රව්‍ය,    
              කැඩ්මියම් (Cd), ලෙඩ් ( Pb),  වැනි ලෝහ වර්ග අඩංගු රසායන ද්‍රව්‍යයන්.
     V.        ආහාර කර්මාන්තයේ දී යොදා ගන්නා කෘත්‍රීම රසායන ද්‍රව්‍ය - Erithrosine වැනි වර්ණක වර්ගද,                         Butylated HydroxyAnisole (BHA) වැනි පරිරක්ෂක ද්‍රව්‍ය ද සෙ(z)නඊස්ට්‍රජන් ලෙස ක්‍රියා කරයි.

     VI.       වායු ගෝලයේ ඇති විෂ සහිත ඩයොක්සීන් (Dioxin) වැනි වායූන්

   VII.     ප්ලාස්ටික් බෝතල් තුළ ඇති පානීය ජලය - මෙම ජල සාම්පල විශ්ලේෂණය තුළින් ඊස්ට්‍රජන්                           හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට සමාන රසායනික සංයෝග ඇති බව සොයා ගෙන ඇත.

මීට අමතරව මස්, බිත්තර හා කිරි නිපදවීම පිණිස ඇති කරනු ලබන සතුන්ගේ  වර්ධනය වේගවත් කිරීමට  ඊස්ට්‍රජන් අඩංගු ඖෂධ වර්ග කෘත්‍රිමව ලබාදීම සිදු කරයි. මෙම මාංශ කොටස් හා කිරි පරිභෝජනයෙන් ද සෙ(z)නඊස්ට්‍රජන් සංයෝග මිනිස් සිරුරට ඇතුළු වේ.

දීර්ඝකාලීනව සෙ(z)නඊස්ට්‍රජන් අඩංගු රසායන ද්‍රව්‍යවලට නිරාවරණය තුළින් Estrogen Dominance  නම් තත්ත්වය ඇති වන බව සොයා ගෙන ඇත. එනම් ස්වභාවික හෝමෝනවල ක්‍රියාකාරීත්වය ශරීරයේ සිදුවන ජෛව රසායනික යාන්ත්‍රණ මගින් පාලනය වුවද මෙම ආගන්තුක ඊස්ට්‍රජන් මට්ටම පාලනයක් සිදු නොවීමයි. මෙහි ප්‍රතිඵලය වනුයේ ශරීරය තුළ පවතින සමස්ථ ඊස්ට්‍රජන් සාන්ද්‍රණය ඉහළ යාමයි.

මෙම තත්ත්වය මත විශේෂයෙන්ම ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් නිසි වයසට ප්‍රථම යෞවනත්වයට පත්වීම (Early Puberty) සිදු වෙයි.  තවද, මෙම සෙ(z)නඊස්ට්‍රජන් සංයෝග ජෛව හායනය නොවන (Not Bio degradable) හෙයින් සතුන්ගේ මේද පටකය තුළ එකතුවීමක් සිදු වෙයි.

ඊස්ට්‍රජන් සාන්ද්‍රණය හා මේද පටකයේ වර්ධනය අතර ඍජු සම්බන්ධතාවයක් ඇත. එනම්, ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම තුළින් මේද පටකයේ වර්ධනය ඉහළ යාමත්, මේද පටකය වර්ධනය ඉහළයාම තුළින් ඊස්ට්‍රජන් නිෂ්පාදනය හා ගබඩා කිරීම නැවතත් ඉහළ යාමත්ය.

තවද, ප්ලාස්ටික් කර්මාන්තශාලාවන්හි සේවය කරන පිරිමින් දීර්ඝ කාලීන Bisphenol A නම් රසායන ද්‍රව්‍යයට නිරාවරණය තුළින් ඔවුන්ගේ පියයුරු වර්ධනයක් හා ශුක්‍රාණු සංඛ්‍යාවේ අඩුවීමක් වන බව විද්‍යාඥයින්ගේ මතයයි.
 මීට අමතරව, මිනිසාගේ සෞඛ්‍යයට සෙ(z) නඊස්ට්‍රජන් සංයෝග මගින් ඇති වන බලපෑම් අතර,

  I.       පියුරු, පුරහ්ස්ථ ග්‍රන්ථි වැනි ඉන්ද්‍රියන්ගේ පිලිකාමය තත්ත්ව ඇතිවීම.
 II.      කාන්තාවන් එන්ඩොමෙට්‍රයෝසිස් (Endometriosis), ෆයිබ්‍රොයිඩ්ස් (Fibroids)  වැනි රෝග තත්ත්වයන්ට         ගොදුරුවීම.
III.      දියවැඩියාව, තරබාරුකම වැනි තත්ත්ව ඇතිවීම.

මෙම රසායනික සංයෝගවලට නිරාවරණය වීමෙන් වැලකීම හෝ අවම කර ගැනීම සදහා පහත ක්‍රමෝපායන් අනුගමනය කළ හැකිය.
  •         කෘෂි රසායන ද්‍රව්‍ය වලට භාජන නොවූ ආහාර එනම් කාබනික ආහාර පරිභෝජනය.
  •               ප්ලාස්ටික් ජල බෝතල් හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකීම  හා හැකි සෑම අවස්ථාවකදීම            ප්ලාස්ටික් බෝතල් තුළ පානීය ජලය ගබඩා නොකිරීම හා ඊට විකල්ප ලෙස වීදුරු හා සෙරමික්              ද්‍රව්‍යයෙන් තැනූ බෝතල් භාවිතය.
  •  පෙට්ට්‍රෝලියම් රසායනික සංයුතියක් ඇති ආලේපන වර්ග භාවිතයෙන් ඉවත්වීම.
  •  නිවස තුළදී භාවිතා වන රසායනික ද්‍රව්‍ය පරිහරණයේදී ආරක්ෂිත අත් ආවරණ භාවිතය හා හොදින්         වාතාශ්‍රය ඇති පරිසරයක සිට එම කටයුතු ඉටු කිරීම.
References
 http://www.energeticnutrition.com/vitalzym/xeno_phyto_estrogens.html

0 comments:

Post a Comment