November 28, 2014

මානව ක්‍රියාකාරකම්වල අහිතකර අතුරුඵලයන් වූ ඩ‍යොක්සීන් හා ෆියුරාන්

පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ පරිසරයට විෂ රසායනික දූෂක එකතු කරන මිනිස් ක්‍රියාකාරකම් ඉතා විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් දියුණු වත්මන් සමාජ ආර්ථික රටාව තුළ මේ ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය ඒවා වුවද එමගින් පරිසරයට මෙන්ම මානව සෞඛ්‍යයට වන හානිය අතිමහත්ය.
මේ විෂ රසායන දූෂක අතුරින් POPs හෙවත් Persistent Organic Pollutants ලෙස හැඳින්වෙන ඉතා ස්ථායි කාබනික රසායනික දූෂක 12ක් පිළිබව විශේෂ අවධානයක් යොමු වී ඇත. එයින් දූෂක වර්ග 2ක් නොසැලකිළිමත් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවේ. එනම් ඩ‍යොක්සීන් (Dioxins)  හා  ෆියුරාන් (Furan) වේ.

 ඩ‍යොක්සීන් හා  ෆියුරාන් යනු මොනවාද?
ඩ‍යොක්සීන් අණුව
ඩ‍යොක්සීන් හා  ෆියුරාන් ක්ලෝරිනිකෘත කාබනික සංයෝග කාණ්ඩ දෙකකට අයත්වන අතර සමාන රසායනික මෙන්ම භෞතික ගුණ වලින් යුක්තය.

ෆියුරාන් අණුව

  • පිරිසිදු ව්‍යුහයේදී ක්‍රිස්ටල් හෝ අවර්ණ ඝන ද්‍රව්‍යයක් ලෙස පවතී
  •  ඉතා ස්ථායි  වන අතර පරිසරය තුළ දිගු කල් පවති
  •   ජලයේ දිය නොවන අතර මේද තුළ පහසුවෙන් දියවේ
  •  ආහාර දාම හරහා සාන්ද්‍රගත වී මෙද පටක තුළ තැන්පත් වේ
  •  වාෂ්පශීලීබව අඩු වන අතර අංශු හා පටක තුළට තදින් උරාගනී

ඩ‍යොක්සීන් හා  ෆියුරාන් මිනිසා විසින් අවශ්‍යතාවයෙන්ම නිෂ්පාදනය නොකරන නමුදු වෙනත් රසායනික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවේ. එබැවින් වාතයේ, ජලයේ, පසේ මෙන්ම අප පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍ය වලද මේවා අඩංගු විය හැකිය.

ශරීරයට ඇතුළු වන්නේ කෙසේද?
·         ඩ‍යොක්සීන් හා  ෆියුරාන් වලින් දූෂීත වායුව ආශ්වාස කිරීම මගින්
·         එලෙසින් දූෂීත වූ ජලය පානය කිරීම මගින්
·        දූෂීත ආහාර පරිභෝජනය කිරීම මගින් (දිනපතා ඇතුළුවන ඩ‍යොක්සීන් වලින් 90% ක්ම මස් වර්ග, කිරි වැනි සත්ත්ව ආහාර  අනුභවයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවේ)
·         සම මගින් උරා ගැනීම

මානව සෞඛ්‍යයට වන බලපෑම් මොනවාද?
සෞඛ්‍යයට වන බලපෑම නිරාවරණය වන ප්‍රමාණය හෝ මාත්‍රාව  මත රදා පවතී. නමුත් සුළු වශයෙන් හෝ නිරාවරණයවීම මගින් විවිධ ආසාත්මිකතාවයන්ට මුහුණපෑමට සිදුවේ.
·         ඩ‍යොක්සීන් වලට අධිකව නිරාවරණයවීම මගින් අංගවිකල දරුවන් ඇති කරයි
·         ශරීරයේ හෝමෝන මට්ටම වෙනස් කරයි
·         අක්මාවේ ක්‍රියාකාරීත්වය හා ලිපිඩ පරිවෘත්තිය ක්‍රියා වෙනස් කරයි
·         සමේ රෝග ඇති කරයි
·         ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් සිදු කරයි

ඩ‍යොක්සීන් හා  ෆියුරාන් පරිසරයට එකතු වන්නේ කෙසේද?
  • ප්ලාස්ටික්, ගෘහ අපද්‍රව්‍ය හා දැව දහනය මගින් 
  •  ඝන අපද්‍රව්‍ය ගොඩ ගැසීම මගින්
  • බලශක්ති උත්පාදනයේදී හා තාපය නිපදවීමේදී
  • යකඩ උණු කිරීමේදී හා  ලෝහ වර්ග නිෂ්පාදනයේදී
  •  ඛනිජ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී          
  • පල්ප හා කඩදාසි නිෂ්පාදනයේදී
  • පැලෑටිනාශක නිෂ්පාදනයේදී
  •  ඉඩම් ගොඩ කිරිමේදී·                       
ඩ‍යොක්සීන් හා  ෆියුරාන් මගින් මානව සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද බලපෑම් එල්ල කරයි. විශේෂයෙන්ම  ප්ලාස්ටික් දහනය මගින් පරිසරයට එකතුවන ඩයොක්සීන වර්ග වලින් ඕසෝන් ස්ථරයට හානි සිදුකරයි. එබැවින් මෙම හානි දායක රසායනික දූෂක පරිසරයට එකතුවීම අවම වන ලෙස කටයුතු කිරීම මිනිසාගේ මෙන්ම පරිසරයේත් යහ පැවැත්ම සහා බෙහෙවින් ඉවහල් වේ.

 මූලාශ්‍ර:

                        සැකසුම:

                         K.Y.P. දර්ශිකා- විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

0 comments:

Post a Comment