July 16, 2015

උස් පාවහන් පලදින කාන්තාවන්ගෙන් අති බහුතරයකට පාද වල ආබාධ

පාවහන් පැලදිය යුත්තේ ඇයි කියා ඇසුවොත් ඊට හේතු සාධක රැසක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියි. නමුත් අප ශරීරයට අවශ්‍ය සංවේදනයක් ලබා නොදෙමින් ස්වභාවධර්මය හා සම්බන්ධවීම පාවහන් මගින් වලක්වාලන බව අපි අමතක කරනවා. අපගේ ශරීරය පුරා පැතිර පවත්නා මෙරිඩියන් නම් ශක්ති පද්ධතිය වර්ධනය කිරීමට හා එහි මනා පැවැත්මට යටිපතුල පොලව හා ස්පර්ෂවීම ඉතා වැදගත් වන බව සොයා ගෙන තිබෙනවා.

කෙසේ නමුත් වර්තමානයේ පාවහන් පැලදීම අවශ්‍යතාවයට වඩා විලාසිතාවක් වශයෙන් සිදුකිරීමට කාන්තාවන් උනන්දුවී තිබෙනවා. එහි බරපතල තත්වය නම් මෙම විලාසිතාවන් ශරීර සෞඛ්‍යට හිතකර සීමාව ඉක්මවා යෑමත් ඒ නිසාවෙන් කාන්තාවන් රෝගාබාධවලට ලක්වීමේ අවධානම වැඩි වීමත්ය.

එක්තරා පාවහන් නිශ්පාදන සමාගමක සමීක්ෂණ අනුව කාන්තාවන්ගෙන් 72% ක් උස් පාවහන් පැලදීමටත් 28% උස් පාවහන් නොපැලදීමටත් කැමැත්තක් දක්වන බව වාර්තා වෙනවා. එසේම උස් පාවහන් පැලදීමට කැමති කාන්තාවන්ගේ ප්‍රතිශතය වාර්ෂිකව වැඩිවන බවත් කාන්තාවන් අතරින් තරුණියන් වැඩි ප්‍රතිශතයක් උස් පාවහන් පලදින බවත් දැක්වෙනවා. එහි වාර්තාවන්ට අනුව විශ්ෂ උත්සව අවස්ථාවන්ට සහභාගී වන කාන්තාවන්ගෙන් 77%ක් ද සාමාන්‍ය උත්සව අවස්ථාවන්ට සහභාගී වන කාන්තාවන්ගෙන් 50%ක් ද දෛනික රාජකාරී සදහා යන කාන්තාවන්ගෙන් 31%ක් ද නර්තනය වෙනුවෙන් 33%ක්ද වශයෙන් කාන්තාවන් උස් පාවහන් පැලදිනවා.

කෙසේ නමුත් උස් පාවහන් පලදින කාන්තාවන්ගෙන් අති බහුතරයකට පාද වල ආබාධ ඇතිවීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත්වී හමාරයි.

අඩි උස පාවහන් පැලදීමෙන් ශරීරයේ බර සමතුලිතව තබා ගැනීමේ අපහසුවක් ඇති වන නිසා දෙපා වල දණහිසින් පහළ නොයෙක් ගැටළු ඇති වෙනවා. දණහිස වේදනාව, බත් කෙණ්ඩ වේදනාව, විලුඹ සන්ධි වේදනාව, පාදයේ ඇඟිලි වල වේදනාව සුලභව දක්නට ලැබෙනවා. මෙම වේදනා බොහෝ කාලයක් පවතින අතර  මේ නිසා ආතරයිටිස් වැනි තත්ව පවා ඇතිවිය හැකියි.

පතුල
සාමාන්‍යෙයන් පතුල ශරීර බර මගින් ඇතිකරන පීඩනය පොලවට බෙදාහැරීමට ක්‍රියාකරන, ඇවිදීමේදී ඝර්ෂණය ඇතිකරමින් ඝට්ඨනය (impact) උරා ගැනිමට සමත් මෘදු පලකයන් පරිද්දෙන් අස්ථි පද්ධතිය හා බැදී ක්‍රියා කරන්නකි. නමුත් උස් අඩි පාවහන් පැලදීමෙන් ඇතිවන පීඩනය වැඩි කරයි. ඝර්ෂණය අඩු කරයි. ඝට්ඨනය සාමාන්‍යට වඩා 30%කින් වැඩි කරයි. මේ නිසා ඇගිලිවලට දැඩි පීඩනයක් ඇති කරන අතර ඇතැම් විට ඇගිලි වල අස්ථි විකෘතිවීම් දක්නට ලැබේ.

වලලු කර
උස් පාවහන් පැලදීමෙන් වලලුකර සන්ධිය අංශක 20ට වඩා වැඩි ප්‍රමාණයකින් පහලට නැමී පවතියි. එමගින් රැධිර නාල අවහිරවීමක් සිදුවේ. මෙනිසාම ඇතැම් විට ක්ෂුද්‍ර රුධිර නාල ජාලය විඩාවට පත්වී (spider veins) ඉදිමීමට ලක්වේ. මෙම නාල තුවාලවීම හෝ වේදනාකාරීවීම ද සිදුවේ.

දණහිස හා බත් කෙන්ඩ
සාමාන්‍යෙයන් පීඩන අවශෝෂකයක් ලෙස ක්‍රියා කරන දණහිස උස් පාවහන් පැලදීම නිසා ඉක්මනින් ගෙවීමට ලක්වීමත් දිගුකාලීනව ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවීකිරීමටත් හේතු වේ. එලෙසම පීඩන අසමතුලිතය බත් කෙණ්ඩේ පේෂි මත ක්‍රියාත්මකවීමෙන් පේෂි වේදනාව ද ඇති කරයි.

ඉන/උකුල
මිනිස් සිරුරේ සෘජුකය විලාසය පවත්වාගැනීම සදහා අස්ථි පද්ධතියේ ඇති S වක්‍ර මත මෙමගින් ඇතිකරන අස්වාභාවික තෙරපුම නිසා උකුල හා ඉන පසුපසටත් පපුව ඉදිරියටත් ආයාසයෙන් තෙරපීමෙන් පේෂි විඩාවට පත්වේ. එනිසා දෛනිකව ඉතා වෙහෙසකාරි බවක් දැනේ. නින්ද නොයෑම හා මානසික ආතතිය යන තත්වයන් දක්වා වර්ධනයවීමටද ඉඩකඩ පවතී,

මේනිසා පාවහන් තෝරා ගැනීමේදී ඉදිරිකොටස පාදයේ ඇඟිලි වල‍ට ගැලපෙන විදියට පළලින් සහ ගැඹුරින් යුක්ත වීම පිළිබදවත් අඩියේ උස පිළිබදවත් කාන්තාවන්  විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා.

එසේම දවස තුළ හැකි හැම වෙලාවෙම සපත්තු ගලවාගෙන සිටීමටත් දිනකට විනාඩි පහක්වත් පාවහන් නොමැතිව පොලවේ ඇවිදීමටත් හැකිනම් අලංකාරවත් නිරෝගී දෙපා යුගලක් හිමිකරගනිමින් සෞඛ්‍යය තත්වය හොඳින් පවත්වාගෙන යන්නත් හැකි වේවි.

සකස්කළේ
අනුෂා සාගරිකා
විද්‍යා හා තාක්‍ෂණ නිලධාරි
තිඹිරිගස්යාය

0 comments:

Post a Comment