July 28, 2015

දිගු කලක් ආයු වැළදීමට අධිපෝෂණය බාධාවක්

පෝෂණ ගුණයෙන් යුත් ආහාරපාන මඳකම වගේම ඔනෑවට වඩා වැඩියෙන් ආහාර පාන ගැනීමත් මිනිස් සිරුර ලෙඩ කරවන්නකි. පෝෂණ ගුණයෙන් යුත් ආහාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇති වන්නේ ස්ථූලතාවයයි. මහත - දෙහෙත ශරීර හැමවිටම ලෙඩට දුකට බරය. හෘදයාබාධ, දෙවන ආකාරයේ දියවැඩියාව, සමහර පිළිකා වගේම අස්ථි සන්ධි ප්‍රදාහය වැනි රෝග තත්ත්ව ඇති වන්නේත් ස්ථූලතාවය හේතුවෙනි.
දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වය කැපීපෙනෙන ලෙස වැඩිවන්නට පටන්ගත්තේ එක්දහස් නමසීය හැ‍ටගනන්වල සිටයි. මේ කාලයේදී වගේ ස්ථූලතාව වැඩිවීම සම්බන්ද ගැටලුවක් පැනනැගුණු බව විද්වත්හු පෙන්වා දෙති. පද්ගලයන් අතර ස්ථූලතාවය වැඩිවන්නට පටන්ගත් විට ඊට සමාන්තරව දෙනව ආකාරයේ දියවැඩියා තත්ත්වයද වැඩිවුනු වග විද්‍යායෝ තහවුරු කරති. ලෝක ජනගහනයෙන් මිලියන 285 කට වැඩි පිරිසක් දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වයෙන් පීඩා විදින බව තහවුරු වුනේ 2010 වසරේදීය. නමුත් 1985 දී දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වයෙන් පෙලෙන පිරිස මිලියන 30 ක් තරම් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට දියවැඩියා තත්ත්වය කරන කොට ගෙන 2004 වසර තුළදී ලෝක ජනගහනයෙන් මිලියන 3.4 ක් ජීවිතක්ෂයට පත්ව ඇත. විසිපස් වසරක් තුල මිලියන ගණනක් ජනයාගේ ආයු වැළඳීම කෙටි වුණු ආකාරය මේ සංඛ්‍යාලේඛන වලින් මනාවට පැහැදිළි වේ.
හෘදයාබාධ නිසා පීඩා විදින තරමත් මීට  දෙවැනි නොවේ. අමෙරිකා හෘද පදනම සඳහන් කරන්නේ හෘදයාබාධ නිසා වසරකට අමෙරිකානු කාන්තාවන් 267,000 ක් පමණ මිය යන බවකි. මිය යන මේ පිරිසෙන් 83000 ක්ම වයස අවුරුදු 65 ට අඩු කාන්තාවන්ය. තවත් 35,000ක් වයස අවුරුදු 55 ට අඩු කාන්තාවන්ය. අමෙරිකානු කොලිජීය නිකුත් කළ හෘද චිකිත්සාව පිළිබද ජර්නලය (Journal of the American College of Cardiology) තවත් භයානක ප්‍රවණතාවක් ගැන හෙළිදරව් කලේ මේ මෑතකදීය. ජර්නලය පෙන්වා දෙන්නේ මාරක හෘදරෝග වයස අවුරුදු 30 – 55 අතර  කාන්තාවන් තුල වැඩිවී ඇති බවයි. එකී රෝග පිරිමින් අතර දක්නට ලැබෙනවාට වඩා වැඩියෙන් කාන්තාවන් අතර දක්නට ලැබීම විශේෂත්වයක් බවයි. මේ හෙලිදරව්ව ගැන ලිපියක් ලියමින් දකුණු ෆ්ලොරීඩාවේ Wellness and Prevention for Baptist Health මධ්‍යස්ථානයේ විශේෂ වෛද්‍ය ආතර් අගට්ස්ටෝන් සඳහන් කරන්නේ සිරුරට හිතකර ආහාර චර්යාවකට හුරුවීම මෙම තත්ත්වය මිඩින්නට තිබෙන එක් විසදුමක් බවය. විශේෂයෙන්ම තරබාරු වබ ඇති නොවන ආකාරයේ ආහාරපාන ගැනීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි. සංවර්ධිත රටක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ වෙසෙන ජනයා අතර මෙවැනා අවාසනාවන්ත තත්ත්වයන් පැනනැගී ඇතිනම් අනෙක් රටවල් ගැන කුමක් සිතන්නද?
පිළිකා සම්බන්ධයෙන් දකින්නට තිබෙන දෙයත් බොහෝ දුරට මීට සමානය. මිනිසාගේ ආයු කාලය බලාහිදිද්දීම වාගේ කෙටි කර දමන්නට පිළිකාවට පුලුවන. මිනිසාට වැලදෙන්නට පුළුවන් පිළිකා ගණන 100 කට වඩා වැඩි බව සදහන් වේ. ඒ පිළිකා වලින් 10% කට වඩා ඇති වන්නේ තරබාරුකම නිසා බව පිලිගැනේ. මේ වන තෙක් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී තිබෙන්නේ මස් අනුභවය වැඩි අය අතර පිළිකා ඇතිවීමද වැඩි බවකි. කොහොම වුනත් වැඩිපුර එළුවලු පලතුරු සහ ධාන්‍ය වර්ග ගැනීම කොයි කාටත් අගුණ නොවන දෙයක් බව පෝෂණ විශේෂයෝ අවධාරණය කරති.

නවයුගය සගරාව ඇසුරින්
ඒ.ජී.බණ්ඩාරනායක,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,අගුනුකොලපලැස්ස.

0 comments:

Post a Comment