January 16, 2017

හෙට රට ලෙඩ කරවන ළමා තරබාරුව

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලත් දරුණු විදිහට බලපාන ගැටළුවක් බවට පත් වී ඇති ළමා තරබාරුකම හේතුවෙන් මේ වනවිටත් අනාගත දරු පරපුර ව්‍යසනයකට ලක්වෙමින් සිටියි. අනාගත ශ්‍රම බලකාය වන ළමා පරපුර සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳිනවිට රටක් වශයෙන් ආර්ථික හා සාමාජීය වශයෙන් දියුණු වීම උගහටය. සමීක්ෂණ වාර්තාවලට අනුව, ඕස්ට්‍රේලියාවේ 1985 සිට 1995 දක්වා කාලය තුළ පමණක් දරුවන් තරබාරු වීම තුන්ගුණයකින්ද පසුගිය දශක තුන ඇතුළත එක්සත් ජනපදයේත් අවුරුදු හයත් එකොළහත් අතර වයස් මට්ටමේ සිටින දරුවන් තරබාරු වීම තුන්ගුණයකටත් වඩා ද ඉහළ ගොස් තිබේ.
දරුවන් තරබාරු වීමට බලපාන හේතු
  •  වැඩිපුර ආහාර ගැනීම
  • අඩුවෙන් ව්‍යායාම කිරීම
  •  දෙමාපියන් රැකියාවල නිරත වීම නිසා නිසි ලෙස පෝෂණ ගුණයක් ලැබෙන පරිදි ආහාර පිළියෙල කිරීමට ඔවුන්ට කාල වේලාවක් නැති වීම
  •  ක්ෂණික ආහාරවල අධික සීනි හා මේද ප්‍රමාණයක් තිබෙන අතර මෙමගින් කෑම රුචිය ඇති කරන නිසා අනුභව කරන ආහාර ප්‍රමාණය වැඩි වීම 
  •  කිරි සහ ජලයට වඩා කෘත්‍රිම සිසිල් බීම වැඩි වශයෙන් පානය කිරීම 

 තරබාරු බව හරියටම මැන ගන්නේ කොහොමද?
ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index – BMI)
BMI = බර කි.ග්‍රෑ/උස මීටර x උස මීටර 
  • සාමන්‍ය පුද්ගලයෙකුගේ -  18.5ත් 25ත් අතර  
  • අධි බර පුද්ගලයන්ගේ - 25ත් 30ත් අතර 
  •  තරබාරු  පුද්ගලයන්ගේ - 30 ට වඩා වැඩි 

තරබාරු වීමේ විපාක
  • අධි තරබාරු සහිත ළමුන් වැඩිහිටි වියට පත්වෙත්ම විවිධ ශාරීරික හා මානසික වශයෙන් විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වීම
  •   ළමා කාලයේදී රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, හෘද රෝග වැනි රෝග වැළඳිම

ළමා තරබාරු ප්‍රශ්නයට ඇති විසඳුම්
දරුවන්ගේ ආහාර පාලනය කිරීම පෝෂණවේදීන් අනුමත නොකරන අතර එය දරුවන්ගේ වර්ධනයට මෙන්ම සෞඛ්‍යයටද බලපෑ හැකිය. තරබාරුකම මට්ටු කිරීමට කළ හැකි හොඳම දේ සමබර ආහාර වේලක් ගැනීම හා ප්‍රමාණවත් ව්‍යායාම්වල යෙදීමය. 
දෙමව්පියන්ගේ අවධානයට.....
  • වැඩිපුර නැවුම් දේශීය පළතුරු හා එළවළු ආහාරයට එක් කරගන්න.
  • සිසිල් බීම මෙන්ම මේදය හා සීනි අධික කෙටි ආහාර අවම කරන්න. ඒ වෙනුවට වතුර හෝ මේදය අඩු කිරි බොන්න. කෙටි ආහාර ගන්නා විට ගුණදායක ඒවා ගන්න. දේශීය ආහාර                  වලට මුල් තැනක් දෙන්න.
  • තෙලින් බැද ගන්නවාට වඩා පුලුස්සාගැනීම, තම්බාගැනීම හෝ වාෂ්පයෙන් පිසගැනීම          වැනි          පිසීමේ ක්‍රම භාවිත කරන්න.
  • පෝෂ්‍යදායි  උදේ ආහාරය අතපසු නොකරන්න. 
  • කෑම මේසයේ ඉඳගෙන ආහාර ගන්න. 
  • බයිසිකල් පැදීම, ක්‍රීඩාවල යෙදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීමට උනන්දු කරන්න.
  • රූපවාහිනිය නැරඹීම, පරිගණකය භාවිත කිරීම සහ වීඩියෝ ක්‍රීඩාවල නියැලීම අවම කරන්න.
  • පවුලක් හැටියට පිහිනීමට  හෝ ක්‍රීඩා පිටියකට හෝ යන්න.
  • ගෙදර දොරේ වැඩකටයුතුවලට දරුවන්ව හවුල් කරගන්න.
  • හොඳ ආහාර රටා හා ව්‍යායාම් කිරීමෙන් දරුවන්ට ආදර්ශයක් වන්න.

0 comments:

Post a Comment