November 7, 2016

Chronic Kidney Disease හෙවත් නිදන්ගත වකුගඩු රෝගය ලොවපුරා පැතිරෙයි!





විද්‍යාව ප්‍රවර්ධනය සඳහා වන අමෙරිකානු සංගමය (American Association for Advancement of Science) විසින් පලකරන ලබන Science සඟරා වෙබ් අඩවියේ පලවන ලිපියකට අනුව ශ්‍රී ලංකාවේ වී වගාකරන ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්තවන, තවමත් නිශ්චිත රෝග කාරකයක් හඳුනා නොගත් හෙවත් වකුගඩු රෝගය ලොව පුරාම ගොවි ජනතාව අතරේ ව්‍යාප්ත වෙමින් තිබෙන බව වාර්තාකොට තිබෙනවා.


ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ දැනටමත් මෙය වසංගතයක් තත්වයට ව්‍යාප්තවී ඇති බව වාර්තා වනවා. අන්ද්‍රා ප්‍රදේශයේ වැසියන්ගෙන් 12% සිට 15% පමණ ප්‍රතිශතයක් දැනටමත් මෙයට ගොදුරුවී තිබෙනවා. ලංකාවේ හා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අමතරව, මැක්සිකෝවේ හා මධ්‍යම අමෙරිකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවලින් ද මෙම හඳුනානොගත් වකුගඩු රෝගය වාර්තාවනවා.

ඊජිප්තුවේද පැතිරෙමින් පැවතෙන බවට වාර්තාවන මේ රෝගය විශාල ගැටලුවක් බවයි අමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක් වන වර්ජීනියා වීවර් පවසන්නේ.


මහජන සෞඛ්ය විශේෂඥයින් හා විද්‍යාඥයින් වික්ෂිප්ත කරමින් පැතිරී යන මෙම රෝගයෙන් දැඩිව පීඩා විඳින්නේ මධ්‍යම අමෙරිකාවේ දුප්පත් ගොවි ප්‍රජාව බව පැවසෙනවා. එහි පරියේෂකයින්ගේ විශ්වාසය අනුව මෙම රෝගය මෙහි ජනතාව ගතකරන කටුක ගොවි ජීවිතයේ ස්වභාවය නිසා පැතිරෙන්නක්. කට්ට අව්වේ උක් වගාබිම්වල පැය 10ක් පමණ වැඩ කරන මොවුන් දීර්ඝකාලීනව විජලනය වීමේ අතුරු ඵලයක් ලෙස මෙම වකුගඩු රෝගය වැලඳෙන බවට අනුමාන කෙරෙනවා. මේ අතර ආන්ද්‍රා ප්‍රදේශයේ පර්යේෂකයි අනුමාන කරන අන්දමට එහි ජනතාවගේ පානීය ජලයේ අඩංගු ලිතියම් වැනි විෂ ලෝහවර්ග/රසායණික ද්‍රව්‍ය නිසා මෙය හටගන්නවා.

එමෙන්ම දැඩි කායික විඩාව නිසා නිතර වේදනා නාශක ගැනීම මෙන්ම කෘමිනාෂක හා වල්නාෂකද මෙම රෝග කාරක ලැයිස්තුවේ සටහන් වෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වෘක්කාණු විශේෂඥයෙකු (nephrologist) වන අජේ සිං සිදුකරන ලද පර්යේෂණයකට අනුව, මෙම ජනතාවගේ පානීය ජලයේ අධික ලෙස සිලිකා අඩංගු වනවා. ඔහු පවසන අන්දමට සිලිකා බොහෝ කෘමි හා වල් නාෂක වල අඩංගු රසායණිකයක්.

මෙම රෝගය නිවැරදිව හඳුනාගැනීම, රෝග කාරක සොයාගැනීම මෙන්ම ප්‍රතිකාර නිර්මාණය සඳහා අන්තර්ජාතික වැඩපිලිවෙලක් දියත්වෙමින් පවතිනවා. 

රෝගයට හේතුව හා ප්‍රතිකාර සොයාගන්නා අතරතුර මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම ඇති ජනතාව සඳහා පිරිසිදු පානිය ජලය ලබාදීම, ආරක්ශාකාරී ලෙස කෘෂිරසායන භාවිතය පිලිබඳ පුහුණුව ලබාදීම, දැඩි හිරු රශ්මියේ රැකියාව කරන අතරතුර හැකිතාක් ජලය පානය කිරීම හා වේදනා නාෂක භාවිතය අඩුකිරීමට උපදෙස් දීමෙන් මෙම ජනතාව රෝගයට ගොදුරුවීමේ ප්‍රවනතාව අඩුකල ගත හැකි බව විශේෂඥ මතයයි.


කතෘ අවසරය ලබා දී ඇත.
කතෘ - Terance Arachchi
උපුටා ගැනීම - http://vidya-gaweshana.blogspot.com

0 comments:

Post a Comment