November 9, 2016

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E –Waste) නිසා සිදුවන බලපෑම

ගෝලීය ජනගහනය ඉහල යාමත් සමග මිනිසා විසින් ඉවත දමන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉහල යයි. ඒ අතරින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉවත දැමීම කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත. ඉතා සීග්‍රයෙන් සිදුවන තාක්ෂණික දියුණුව මෙයට මූලිකම හේතුවයි. මේවා පාරිසරික  හා සෞඛ්‍ය ගැටළු රැසකට මුලපුරන බැවින් මෙය තාක්ෂණික දියුණුවේ අඳුරු පැතිකඩකි.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඊ අපද්‍රව්‍ය, විද්‍යුත් අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික මෙවලම් යනු ඕනෑම කැඩී ගිය හෝ අනවශ්‍ය විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩයන් වේ. එමෙන් ම ප්‍රතිචක්‍රීකරණය කර නැවත වෙළද භාණ්ඩ ලෙස භාවිතා කල හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ ද ඊ අපද්‍රව්‍ය වේ. වාර්ෂික ගෝලීය ඊ අපද්‍රව්‍ය මුදාහැරීම ටොන් මිලියන 20 – 50  පමණ වේ.
දියුණු රටවල් ඊ අපද්‍රව්‍ය වලින් 25% පමණ ප්‍රතිචක්‍රීකරණයට ලක් කරන අතර ඉතිරිය දියුණු වෙමින් පවතින රටවලට ආධාර හා පරිත්‍යාග ලෙස  ලබා දේ. එලෙස ඉවත් කරන පරිගණකයක  ඊයම් 2Kg ක් පමණ අඩංගු වේ. අද වන විට භාවිතයෙන් ඉවත් කර ඇති ජංගම දුරකථන ප්‍රමාණය මිලියන 500 ක් පමණ වේ. මින් එකක ඇති බැටරියක  කැඩ්මියම්වලින් ජලය ලීටර ලක්ෂයක් පමණ දූෂණය කළ හැකිය. සමස්ථයක් ලෙස ඊ අපද්‍රව්‍ය තුල එකිනෙකට වෙනස් රසායනික සංඝටක 1000 ක් පමණ අඩංගු වන අතර විෂ සහිත හා රහිත යන දෙකම ඒ තුල ඇත.
ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවීම සදහා පසු ගිය වසර 10  තුල යකඩ නිෂ්පාදනය 180 % කින් ,කොබෝල්ට් 165 % කින්, ලිතියම් 125 % කින් ද වැඩි වී ඇත. ඊ අපද්‍රව්‍ය තුල බහුලව අඩංගු වඩාත් අහිතකර ද්‍රව්‍ය හා එහි ප්‍රතිඵල සලකා බැලිය යුතුය.
ඊයම් - CRT තිර, බැටරි නිෂ්පාදනය හා පරිපථ පෑස්සීමේ දී භාවිතා කරයි. රුධිරයේ පවතින ඊයම් ප්‍රමාණය ලීටරයට මයික්‍රො ග්‍රෑම් 6 ට වැඩි නම් උපදින දරුවන් මන්ද බුද්ධික වීමේ අවදානම ඇත. ශරීරගත වීමෙන් හිසරදය, මොලයට හානි, මරණය සිදු විය හැක.
ආසනික් - අර්ධ සන්නායක නිෂ්පාදනයේ දී භාවිතා කරන විෂ ලෝහයකි. මේවා සමේ හා පෙනහළුවල පිළිකා ඇති කිරීමට හේතුවන අතර ස්නායු පද්ධතියට ද හානි කරයි.
පී.වී.සී - බහුලව දැකිය හැකි ප්ලාස්ටික් වර්ගයකි. රැහැන් පරිවරණය, ජලනල නිෂ්පාදනය ඇතුලු බොහෝ කටයුතුවලදී භාවිතා කරයි. මේවා පිලිස්සීමේ දී HCL වායුව නිපද වී ආශ්වාස කිරීම හා ශ්වසන ගැටළු ඇති කරයි.
කැඩ්මියම් - ඡායා පිටපත් යන්ත්‍ර, ජංගම දුරකථන බැටරි, CRT තිර නිෂ්පාදනයේ දී භාවිතා කරයි. පෙනහළු හා වකුගඩු තුවාල වීමට හේතු වේ. මෙය ප්‍රබල පිලිකා කාරකයකි.
රසදිය - LCD තිර, ඇතැම් බැටරි වර්ග හා ස්විච් වර්ග නිපදවීමට යොදා ගනු ලබන අතර ඉතා අහිතකර ලෝහයකි. වකුගඩු ,අක්මාව හා මොලයට දැඩි හානි සිදු කරයි.
මීට අමතරව Li, Ni, Be, Zn, Cu ආදී බොහෝ ලෝහ වර්ග අඩංගු වේ.


ඉහත සඳහන් සෞඛ්‍ය ගැටළුවලට අමතරව භූගත ජලය අපිරිසිදු වීම, දීරාපත් නොවන ද්‍රව්‍ය පරිසරයට එකතු වීම , ජලජ ජීවීන්ට බලපෑම් සිදු වීම , පිලිස්සීමේ දී විෂ වායුන් පරිසරයට එකතු වීම වැනි පාරිසරක ගැටළු ඊ අපද්‍රව්‍ය මගින් සිදු වේ. කාලයත් සමග මෙම ඊ අපද්‍රව්‍ය වැඩි වන නිසා මෙයට ස්ථීර විසදුමක් නැතිවුවහොත් අනාගතයේ දී බරපතල ගැටළුවක් බවට පත් විය හැක. ඒ සඳහා දැනට පවතින තත්වයන්ට අනුව ඊ අපද්‍රව්‍ය සඳහා ඇති හොදම විසදුම ප්‍රතිචක්‍රියකරණයයි.

0 comments:

Post a Comment