September 5, 2014

ශත වර්ශයක් ජීවත්වෙන්නට, ග්ලූටතියොන් බහුල ආහාර ගන්න.

අවුරුදු සියයක් ජීවත් වන්නට හැකිනම්, කොයි තරම් භාග්‍යයක්දැයි නොසිතෙන, ආයුෂ සදහා ලොබ බැද නොගත්තෙකු මෙදියත සිටිය නොහැකිය. නවීන වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් අපේ ආයුෂ වැඩි වී ඇති බව සැබෑය. එහෙත්, එහෙම ජීවත් වන බොහෝ දෙනෙකු බෙහෙත් පෙති අහුරු ගණන් ගිළ දමමින් තවත් බොහෝ දෙනෙකු පොහොසතුන් කරමින්, ජීවත් වන බව ඊටත් වඩා සැබෑවකි.
ඒත්, ලෙඩ රෝගවලින් වැලකී අවුරුදු සියයක් ජීවත් වන්නට හැකියාව කෙනෙකුට ලබා දෙන, ස්වාභාවික රසායනිකයක් සොයා ගන්නට විද්‍යාඥයින් සමත් වෙලා සිටින බව, කීවොත්, එය කාටත් සතුට දනවන ආරංචියක් වනවාට සැක නැත.

ප්‍රබල පිළිකානාශක ප්‍රබල පිලිකානාශක ප්‍රතිඔක්සිකාරක ගුණයක්ද සහිත “ග්ලුටතියෝන්” (Glutathione) නමින් විද්‍යාඥයින් විසින් නම් කර ඇති මෙම, ට්‍රයිපෙප්ටයිඩ් අණු වි‍‍ශේෂය, ලේවල වැඩියෙන් අන්තර්ගතව තිබෙන අයට බරපතල නිධන්ගත රෝගවලින් වැළකී, ශත වර්ෂයකටත් අධික කාලයක් ජීවත් වන්නට හැකියාව ලැබෙන බව විද්‍යාඥයින් දැන් පවසයි.
          කැනඩාවේ මොන්ට්‍රියල (Montreal) වෛද්‍ය විද්‍යාලයේ , වෛද්‍ය පර්යේෂකයින් පිරිසක්, මීයන් යොදාගෙන කර ඇති පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, “ග්ලූටතියෝන්” ලබාදෙනු ලැබූ මීයන්ගේ ආයුෂ ප්‍රමාණය, ලබා නොදුන් මීයන්ට වඩා සියයට 40කින් පමණ වැඩිවී තිබුණු බවයි.
මෙම කුහුල දනවන සංඝටකය සම්බන්ධයෙන් හරි අපූරු පරීක්ෂණයක් ඩෙන්මාර්කයේ ඔඩෙන්සි (Odense) සරසවියෙන් වාර්තා වෙයි. ශතකලාභීන්  (අවුරුදු 100 – 105 වයසේ උදවිය ) පිරිසකගේ සහ අවුරුදු 50 -60 වයස් කාණ්ඩයේ පිරිසකගේ ලේවල තිබෙන “ග්ලූටතියෝන්” සාන්ද්‍රණයන් වෙන වෙනම පරික්ෂා කිරීමෙන් අනතුරුව ලැබුණු ප්‍රතිඵලය පුදුම සහගතය. ශතකලාභීන් හැමෝගෙම අන් අයට වඩා, ලේවල “ග්ලූටතියෝන්” වැඩි ප්‍රමාණයකින් තිබෙන බවත්, ශතකය ලබලත්, ද්විත්ව ශතකයක් ලබන්න  වගේ ඉන්න (නිරෝගී, සවි ශක්තිය තිබෙන )  පුද්ගලයින්ගේ ලේවල “ග්ලූටතියෝන්” අධි සාන්ද්‍රණයකින් තිබෙන බවත්, මේ පරීක්ෂණයේ දී ඔප්පු වී ඇත.
අපේ රටේ කාන්තාවන් හට මහා දරුණු ලෙස පවතිනවා යැයි කිරිපිටි සමාගම් විසින් පවසන ඔස්ටියෝපොරෝසිස්  රෝගය වැළැක්වීමේ හැකියාවකුත් මේ “ග්ලූටතියෝන්” වලට තිබෙන බව, සොයා ගෙන ඇත.
රුධිරයේ  “ග්ලූටතියෝන්” මට්ටම අඩු වුනාම, වයසට යාම ඉක්මන් කරවන “ අධි රුධිර පීඩනය” “කොලෙස්ටරෝල් වැඩිවීම”, ඇසේ සුද ඒම, ආතරයිටිස්, දියවැඩියාව. ශ්‍රවණාබාධ, පිළිකාව, වැනි රෝගාබාධ ඉක්මණින්ම වැළදෙන බව, මිචිගන් සරසවියේ විද්‍යා‍ඥයින් පිරිසක් පරීක්ෂණ පවත්වා ඇත.

“ග්ලූටතියෝන්” ලබා ගන්නේ කොහොමද ‍ ?

මේ ලිපිය කියවලා. හෙට අනිද්දට “ග්ලූටතියෝන්” අඩංගු කිරිපිටි වර්ගයක් එහෙම හදලා, “මේ කිරි බොන අපි සීයේ වංසේ, ඔයාලා මොන වංසෙද ?” කියලා ලොකුවට අපෙන් අහන්න පුළුවන් නිසා, කඩෙන් ගන්න ඕන වෙන්නේ නෑ “ග්ලූටතියෝන්” තියෙන්නේ මෙන්න මේ ආහාර වල බව මතක තියාගත්තොත් වටී.
01.      “ගෝවා” පවුලට අයත්, ගෝවා, මල් ගෝවා, කාලේ (බොකුටු ගෝවා, අතු ගෝවා) බ්රෑසෙල්ස් (රිකිලි ගෝවා) නපා ගෝවා, බ්‍රෝකලි ගෝවා, රාබු, නෝකෝල්, අබ වැනි එළවළු වර්ගවල. (අයඩීන් උනතා රෝග සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතා තිබෙන උදවිය, ගෝවා කුලයේ එළවළු වැඩිපුර ආහාරයට ගැනීම සුදුසු නොවන බවත්. මතකයේ තබා ගැනීම වැදගත්. (අනෙක් කාරණාව වන්නේ වගා කරන ගෝවා වැනි එළවළු වර්ග වලට කෘෂි රසායනික ද්‍රව්‍ය බහුලව යොදන බැවින් ඒවායේ පෙර කි ගුණය කෙසේ වෙතත් අගුණය නම්  බහුල බව අවධාරණය කළ යුතුව ඇත.)

02.      මඤ්ඤොක්කා, බතල, කහ සහ නැවුම්  කාබනික එළකිරි වල (ගොවි පොළ නොවන) පූර්ව ග්ලූටතියෝන් සංඝටක අඩංගුය.
03.      නිවිනි, තම්පලා, මුකුණුවැන්න, කතුරුමුරුංගා වැනි තද කොළ පාට එළවළු, පලා වර්ගවල අඩංගු”ඇග්ෆා ලිපොයික් අම්ලය” නැමැති මේද අම්ලය බහුල ආහාර වර්ග වලින්ද ශරීරයේ ග්ලූටතියෝන් මට්ටම වැඩි කරන බව ‍සොයා ගෙන ඇත.

       ඉතින් අපේ රටේ ඕනෑම ගෙවත්තක ගෝවා පැලයක්, අතු ගෝවා          ගසක්, නිවිති වැලක් සිටුවා ගන්න එක අපහසු කාරියක් නොවන            හෙයින් දීර්ගායුෂ විදීම, අපට බැරි දෙයක් විය නොහැක.

ග්ලූටතියෝන් ගැන වැඩි යමක් කියවන්නට http://en.wikipedia.org/wiki/Glutathione වෙත පිවිසෙන්න. 

අනූෂා එන්.ගමගේ,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
බදුල්ල.

2 comments:

Good news for every one and good article.

හොද ලිපියක්. අද පොලෙන් ගෙනත් ගෝව කෑවොත් ශතකයක් තියා අර්ද ශතකයක්වත් ඉන්ට බැරිවෙයි.

Post a Comment