September 12, 2014

වඳවී යාමේ තර්ජනයට ලක්වූ අරුම පුදුම සතුන්

ලෝකයේ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයන් (Endangered animals) අතුරින් අරුම පුදුම සත්ත්ව විශේෂ කිහිපයක් හඳුනාගත හැකිය.
Angler Fish
   
ගැඹුරු මුහුදේ වසන අස්ථික මත්ස්‍ය කාණ්ඩයක්වූ Angler Fish තද අළු පැහැයේ සිට තද දුඹුරු පැහැය දක්වා වර්ණයන්ගෙන් සමන්විතය. අනෙකුත්  මත්ස්‍ය විශේෂ හා සන්සන්දනය කිරිමේදී මොවුනට ඉතා තියුණු දත් වලින් සමන්විත අඩ සඳ ආකාර මුඛයක් සහිත විශාල හිසක් දක්නට ලැබේ. එය මෙම මත්ස්‍යයන්ගේ විලෝපිකතාවය මැනවින් පිළිබිඹු කරයි.  එසේම, Angler Fish යන නම ලැබීමට පවා සුවිශේෂීවූ  ලක්ෂණයක් වන්නේ ඇමක් ලෙස ක්‍රියා කිරීම සඳහා උගේ හිස මැදින් පිටතට වර්ධනය වී ඇති සිහින් මාංශලමය කේශරයකි. එම  කේශරය බොහෝවිට මෙම මත්ස්‍යයින්ගේ පෘෂ්ඨීය වරලේ ඉදිරි කෙළවරෙහි විකරණය වීමක් ලෙස සැලකේ. සමහර වැඩුණු ස්ත්‍රි Angler Fish මත්ස්‍යයින්ගේ ඉහත කී  කේශරයේ අග කොටසෙහි ‘esca’ නම් වූ ආලෝකය විහිදුවන අවයවයක් පිහිටා ඇත. මෙම ආලෝක සංඥා ගැඹුරු මුහුදේදී තම ගොදුරු සොයා ගැනීම පහසු කරවන අතර පිරිමි සතුන් ආකර්ෂණය කර ගැනීමටද ඉවහල් වේ.

Frill- necked Lizard  (Chlamydosaurus kingii )
ඕස්ට්‍රේලියාවේ උතුරු  ප්‍රදේශවල හා නිව් ගිනියාවේ දකුණු ප්‍රදේශවල බහුලව හමුවන මෙම කටුසු විශේෂයට ඉහත  නම ලැබී ඇත්තේ  උගේ ගෙල වටා විශාල රැළි පටියක් ආකාරයට සැකසී ඇති සම කොටස නිසායි.  මෙම සම කොටස සෘජුව පවත්වා ගැනෙන්නේ උගේ හනු වලට සම්බන්ධවූ කාටිලේජමය නාරටි ආධාරයෙනි. මෙම සතුන් වැඩි වශයෙන්ම ගස් උඩ කාලය ගත කරන අතර කුරුමිණියන්, වේයන්, සමනලයන්, සළඹයන් වැනි කුඩා ආත්‍රොපෝඩාවන්  මෙන්ම කුඩා පෘෂ්ඨවංශිකයන්ද ආහාරයට ගනී.
            මෙම කටුසු විශේෂයට ආවේණික වර්ණයක් නොමැති අතර තමා ජීවත්වන පරිසරයට අනුකූලව වර්ණය වෙනස්වේ. ශරීර ප්‍රමාණය 85 cm පමණ දක්වා වර්ධනය වේ. කටුසු විශේෂයක් වුවද දෙපයින් ඇවිදීමේ හැකියාවද ඇත.
            මොවුන් තැතිගත් විට තම විලෝපිකයන් අධෛර්යමත් කිරීම සඳහා බිහිසුණු පෙනුමක් ඇති කර ගන්නා අතර දිදුලන රෝස හෝ කහ පැහැති ඇතුලත ආස්ථරයක් පෙනෙන ආකාරයට මුව විවර කර ගනී. තැඹිලි හා රතු පැහැති කොරළ ඉස්මතු වන සේ ගෙල වටා පිහිටි රැළි ආකාර කොටස විහිදුවන අතර ශරීරය හා වලිගය ඉහළට ඔසවා ගනී.

Purple Frog   (Nasikabatrachus  sahyadrensis)
ඉන්දියාවේ Western Ghats නම් වූ ජෛව විවිධත්වයෙන් බහුල  ප්‍රදේශයකින් හමුවන Purple Frog නම් වූ ගෙඹි විශේෂයේ සුහුඹුල් සතුන් තද දම් පැහැයට හුරු අළු පැහැයකින් යුක්තය. Anura ගෝත්‍රයට අයත් අනෙකුත් ගෙඹි විශේෂ හා සන්සන්දනය කිරිමේදී Purple Frog නම් ගෙඹි විශේෂය තරමක් රවුම් හැඩයක් ගන්නා අතර කුඩා හිසකින් හා අසාමාන්‍ය ලෙස උල්වූ හොම්බකින් (Snout) යුක්තය. එබැවින් මෙම ගෙඹි විශේෂය Pig nose frog ලෙසද හදුන්වයි.
  
Bumblebee Bat ( Craseonycteris thonglongyai ) 
ලොව කුඩාම වවුල් විශේෂය වන Bumblebee Bat තායිලන්තයේ බටහිර ප්‍රදේශවල හා බුරුමයේ ගිණිකොණදිග  ප්‍රදේශවල දක්නට ලැබේ. එසේම මොවුන් ලෝකයේ කුඩාම ක්ෂීරපායි විශේෂය ලෙසද අනුමාන කෙරේ.
            ශරීරය රතු දුඹුරු හෝ  අළු පැහැයට හුරුවන අතර මුව ඉදිරි කෙරවළ (හොම්බ) කැපී පෙනෙන ලෙස ඌරකුගේ මුවෙහි ස්වභාවය ගනී. කන් සාපේක්ෂව විශාලය.  ඇස් කුඩා වන අතර ලොම් වලින් ආවරණය වී ඇත.  දත් කෘමිභක්ෂක වවුලන්ගේ දත් වැනිය. පියාපත් තරමක් විශාල වන අතර තද පැහැයක් ගනී.
             Bumblebee Bat දිගින් 29-33 mm වන අතර බර 2g ක් පමණ වේ. ශරීරය මේ තරම් කුඩා වීම නිසාම මොවුන් Bumblebee Bat ලෙස හදුන්වයි.   බොහෝවිට හුණුගල් ආශ්‍රිත ගුහා තුළ රංචු වශයෙන් ජීවත්වේ. රංචුවක සිටින සාමාජිකයන් ගණන 15-100 දක්වා පමණ වෙනස්වේ.  එසේම මොවුන් කාලයෙන් කාලයට විවිධ ගුහා වලට පර්යටනය වීම සුවිශේෂී ලක්ෂණයකි.

Olm  ( Proteus anguinus)
ගුල් තුළ වාසය කරන Chordata වංශයට අයත් උභය ජීවි සත්තව විශේෂයක් වන Olm යුරෝපයේ මධ්‍යම හා ගිණිකොණදිග  ප්‍රදේශවල දක්නට ලැබේ. අනෙකුත් උභය ජීවින් හා සසඳන කල මෙම සත්ත්වයා සම්පූර්ණයෙන්ම ජලජ පරිසරයකට හැඩගැසී ඇති අතර ආහාර ගැනීම, නිදා ගැනීම, ප්‍රජනනය වැනි සියළු ක්‍රියාවන් ජලය තුළදීම සිදුවේ.
            සර්පයකුගේ ආකාර ශරීරයක් ඇති Olm දිගින් 20-30 cm පමණ වේ. ශරීරය සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර ලා කහ හෝ ලා රෝස පැහැයක් ගනී. බොහෝවිට උදරයේ අභ්‍යන්තර අවයව විනිවිදව පෙනේ.
මෙම සත්ත්වයා ජලය ආශ්‍රිතව පොළව යට සම්පූර්ණයෙන්ම අඳුරු පරිසරයක ජීවත්වන බැවින් එම පරිසරයට හොඳින් අනුවර්තනය වී ඇත.   උගේ ඇස් වර්ධනය වී නොමැති අතර ගන්ධය හා ශ්‍රවණය වැනි අනෙකුත් සන්නිවේදන තියුණු ලෙස වර්ධනය වී ඇත.  රූපාන්තරණය සිදු වුවද, කීට අවස්ථාවේ දක්නට ලැබෙන බාහිර ජලක්ලෝම ඒ ආකාරයෙන්ම සුහුඹුල් සතාගේද දක්නට ලැබේ.
            මෙම සත්ත්වයාගේ කලල වර්ධනය සඳහා දින 140 ක් ගතවන අතර ලිංගිකව පරිණත වීම සඳහා  වසර 14ක් පමණ ගතවේ.  එහිදී මාස 4 කින් පමණ කීට අවධිය පසුකර සුහුඹුල් අවස්ථාවට පත්වුවද ඒ සඳහා  ගතවන කාලය ජලයේ උෂ්ණත්වය මත රඳා පවතී.
            මෙම සතුන් ගුල් තුළ ජීවතවීමට අනුවර්තනය වී ඇති බැවින්, බාහිර පරිසරයේ වෙනස්වීම් වලට ඔරොත්තුදීමේ හැකියාව නැත. එබැවින් ජල දූෂණයේ අනිසි විපාකයන් මෙම අරුම පුදුම සත්ත්ව විශේෂයද  අත් විඳිමින් සිටී.

Daily News පුවත් පතේ  ‘ Weirdest endangered  animals’ ලිපි පෙළ ඇසුරෙන් සකස් කරන ලද්දකි.
සැකසුම
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

වත්තල

0 comments:

Post a Comment