March 9, 2016

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සහල්

උද්භිද විද්‍යාත්මකව Oryza Sativa ලෙස වී ශාකය හැද්න්වේ.ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවති බව ලේඛනගත සාධක වලට අනුව හෙළිවේ. මේ බැව් වඩාත් තහවුරු වන්නේ ක්‍රිස්තු පූර්ව 300 සිට ඉදිකරන ලද අති විශාල වාරි මාර්ග සැලැස්ම, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලිනි. පාරම්පරික වී මගින් සහල් නිෂ්පාදනය කොට බත සපයා ගැනීමේ මෙරට ඉතිහාසය නිශ්චිතව කිව නොහැකි දුරාතීතයකට අයත්ය. ප්‍රභේද 3000 කට ආසන්න සංඛ්‍යාවක්‌ මේ සඳහා භාවිතා කළ බවට සාක්‍ෂි හමුවේ. එය සුවිසල් ජෛව විවිධත්වයකි. එයට හේතුව ලංකාවේ දේශගුණික කලාප සහ භූගෝලීය විවිධත්වයේ ස්‌වභාවය නිසාවෙනි. මේ තත්ත්වය මත සුවිශේෂී ආහාර සුරක්‍ෂිතතාවක්‌ ගොඩනැඟී තිබුණි. පණහේ දශකයේදී ආරම්භ වූ හරිත විප්ලවයෙන් බලාපොරොත්තු වූයේ එවකට ලංකාවට ආනයනය කරමින් තිබූ රසායනික පොහොරවලට ප්‍රතිචාර දක්‌වන වී ප්‍රභේද අභිජනනය කොට හඳුන්වා දීමයි. නමුත් 16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ලැබූ අතර නැවතත් එම අවධානය 20 වන ශත වර්ෂයේ දී වී ගොවිතැන කෙරෙහි විය. කෙසේ වුවත් ජනගහණය වර්ධනය වීමත් සමඟ, 1930 වර්ෂයේදී H ශ්‍රේණියේ වී වර්ග සමඟ අස්වැන්න වැඩි කර ගත හැකි රසායනික පොහොර භාවිතය හඳුන්වා දී ඇත. මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid), අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය .
1980 වසරේ පටන්, 90% ක ප්‍රමාණයක වගා බිම් වල semi-dwarf යන නමින් කියනු ලැබූ අලුතින් වැඩිදියුණු කරන ලද වී වර්ගයක් වගා කරනු ලැබුහ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ 95% වී නිෂ්පාදනය දෙමුහුන් ප්‍රභේදයි. මෙම දෙමුහුන් ප්‍රභේද වී නිෂ්පාදනය සඳහා රසායනික ද්‍රව්‍ය, අකාබනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යොදා ගනු ලබන්නේ අඩු මිලකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්ය. නමුත් වර්තමානයේ ගෝලීය ප්‍රවනතාවය අනුව කාබනික පොහොර යෙදු ආහාර භාවිතයේ ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක තුල ඇති අවධානමත් සහ යටත් විජිත යුගයට පෙර ජිවත් වූ මිනිසුන්ගේ කායශක්තිය හා දිර්ඝායුෂ පිළිබඳ සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි අවධානය යොමු කොට ඇත.
 ඈත අතීතයේ මෙම වී වර්ග ඖෂධීය ප්‍රතිකාර ක්‍රම වලට භාවිතා කර ඇත. ශරීරයෙන් විස ඉවත් කිරීමේ හැකියාවක් මෙම වී වලට නිතැතින්ම ඇති බව කියැවේ. සෑම බෝගයකටම වස විස යොදන අද සමාජයේ මනුෂ්‍ය ශරීරය ආහාරයෙන් එන විස එකතු වූ ගබඩාවක් වැනිය.හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර කරද්දී මෙම සහල් වල නිවුඩ්ඩ ප්‍රයෝජනයට ගැනේ. මෙම ඖෂධීය සහල් වර්ග වලින් කැඳ සදා බීමෙන් පමණක්ම මනුෂ්‍ය ශරීරයේ තැන්පත් වී ඇති විස ඉවත් වන බව පැවසේ.
එවැනි පාරම්පරික සහල් වර්ග කිහිපයක තොරතුරු පහත දැක්වේ.

1.සුවදැල්

මෙහි පරිවර්තක නාමයෙන් අදහස් වනුයේ සුවඳයි. රසැති සහ ප්‍රණීත සුදු වී වර්ගයකි.මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මෙවා බෙහෙවින් උපකාරී වේ.
සියලු රෝග නිවාරණය සඳහා ඖෂධීය ගුණයකින් යුත් මෙම සහල් වර්ගය කයෙහි හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ. කයෙහි ඇති ඇඩ්‍රිනලින් වර්ගවල ශ්‍රාවයන් පාලනය කිරීම සඳහා අවශ්‍යවන, සෙලියුලෝස් වල සංයුතියට බොහෝ දුරට කිට්ටු වන්නා වූ එහෙත් ඇමයිලෙස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්‍රේට් වර්ග වලින් සමන්විත ය. එනම් ග්ලුකෝස් අධික සංචිතයක් මෙයින් ඇති නොකරවන අතර තල, කුරහන්, මුං ඇට වැනි ධාන්‍ය වර්ග සමග කලවම් කර කැඳ හෝ තලප ආකාරයට සකසා ගැනීමෙන් මෙම සහල් වර්ගයෙන් කායික හා මානසික නිරෝගීතාවයට උපරිම දායකත්වයක් සැපයෙනු ඇත. හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ථ ආකාරයට පවත්වාගැනීමට උපකාරී වන බැවින් හෘද ස්පන්දන වේගය අධික නොවනු ඇත. කයෙහි ඇති වන්නා වූ අධිරුධිර පිඩනයට හේතුකාරක වලක්වනු ඇත. වස විස නොයොදා පසෙහි ස්වභාවික ක්‍රියාවලිය සිදුවන ආකාරයට මෙම සහල් වගා කල විට පසෙහි ඇති අයන වර්ග විශාල වශයෙන් උරා ගැනීමේ හැකියාවක් සුවඳැල් ශාකයට ඇත. ඉතා සියුම් ආකාරයට සකස් වී ඇති තන්තුමය ව්‍යුහය සමග බද්ධ වී ඇති ඛනිජ අයන ශරීරයට උරා ගන්නා ආකාරයට ආහාරය පිළියෙළ කර ගැනීමට උදවු වන්නේ තවත් ධාන්‍ය කිහිපයක් සමග එකතු කර කැඳ  පිළියෙළ කර ගැනීමෙනි. එය වෙනත් සහල් වර්ග කිහිපයක් එකතු කිරීමෙන් වුව ද කල හැක. කයෙහි ස්නායු වල උත්තේජනය, පිළිසකර කරවීම, ඇස් කූප වලට සම්බන්ධ වන රුධිර කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය  මැනවින් පාලනය කරවීම, සුවිශේෂී ආකාරයට කරවිය හැකි සහල් වර්ගයකි. එබැවින් රුධිරය හොඳින් ඇස් වලට සපයමින් විශේෂිත ආකාරයට සැකසුනු ඇස හා මොලය අතර පණිවිඩ හුවමාරුව පිණිස සම්බන්ධ වන ස්නායු වල ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් වර්ධනය කරයි. මෙම සහල් වල ඇති කිරි රසය නිසා උත්සව අවස්ථාවන් සඳහා භාවිතයට ඉතාමත් සුදුසුය. සුවඳැල් වී වල පෝෂ පදාර්ථ වලින් 90% ක් කාබොහයිඩේ‍්‍රට්ද, 7% ක් අසංස්කෘත ප්‍රෝටීන්ද, 0.7% ක් අසංස්කෘත මේදයද සහ 0.1% ක ප්‍රමාණයක අසංස්කෘත තන්තුද වේ. මෙය ලංකාවේ දක්ෂිණ පහත බිම් ආශ්‍රිතව වගා කරනු ලබයි. මේ හේතුවෙන් මෙම වී වගාවන් සඳහා විශාල කාලයක් ගත වේ. අනෙකුත් වී වගාවන් මෙන් නොව අස්වැන්න නෙලීම සඳහා මාස 5-6 ක කාලයක් ගතවේ

2.කුරුළු තුඩ

මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. එමෙන්ම මෙය ආහාරයට ගත් කල රුධිර සංසරණය සමග එකතුවී ඇට මිදුළුවලට ගොස් තැන්පත් කරවීම එදා සිංහල වෙදකමේ දී කර ඇත. අද ද අපි රෝගීන්ට බෙහෙත් කරද්දී හන්දිපත් රෝගවලට සාර්ථකව ප්‍රතිකාර කරමින් සිටිමු (මෙහිදී විවිධ සහල් වර්ගවල නිවුඩ්ඩ අපි භාවිතා කරමු). ඇට මිදුළුවල ඇති ප්‍රතිශක්ති ජනක උත්පාදන හැකියාවන් වර්ධනය කරයි. මෙය සාමාන්‍ය ආකාරයට ආහාරයට ගැනීමෙන් මෙහි ඇති තන්තුමය ස්වභාවය සමග නිවුඩ්ඩේ ඇති වර්ණකවල ශක්තිය වැටකොළු, පතෝල, වට්ටක්කා පොත්ත වැනි එළවලුවල වර්ණක සමග එකතු වී අහාර මාර්ගයේ දිරවීම පහසු කරන එන්සයිම වර්ධනය උත්පාදනය කරවයි. යකඩ සහිත අහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය මුල්‍යමය ආධාරය ඇට මිදුළුවලට සපයයි. එබැවින් ස්වභාවික කහ වර්ණ හා තන්තුමය ස්වභාවය අධික එළවලු වර්ග හා යකඩ අධික පලා වර්ග සමග ආහාරයට ගැනීම ඉතා යෙහෙකි. කැඳ වර්ගවලදී කුරුළු තුඩ භාවිතය රෝග නිවාරණයට උපකාරී වේමේවා ප්‍රෝටීන් හා මේදයන්ගෙන් සපිරි මනෝහර හා පොෂ්‍යදායි රතු සහල් විශේෂයකි. ඉතා කදිම රසයකින් හෙබි මෙම සහල් පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ, පුරුෂ කාම ශක්තිය වැඩි කිරීමේ සහ බෙලහිනතාවය මඟහැරවීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ.
3.කළුහීනටි


හීනටි වර්ග ඈත අතීතයේ සිටම ඖෂධ සඳහා පරිහරණය කල වී වර්ගය. මෙම ශාකයේ මූල කේශ තුල විශේෂිත ආකාරයේ බැක්ටීරියා සංචිතයක් රඳවා ගනී. එම ක්‍රියාකාරීත්වයෙන් ශාකයට උරා ගන්නා අයන වර්ග වල ධන රිණ භේදය, එනම් ධ්‍රැවීයතාවය වැඩි කරවා විස සහිත අයන ශාකයෙන් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම ක්‍රියාත්මක කෙරේ. සියලු රෝග වලට ගුණාත්මක භාවයෙන් නිවාරණ ගුණයක් දෙන මෙම වී වර්ගය වසරේ සියලු කල්හි පරිභෝජනයට සුදුසුය. ඖෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත තවද රතු කැකුළු සහල් වර්ගයක් ලෙසින් හඳුන්වන කළු හීනටි හාල් දිනපතා ආහාරයට සුදුසු වන අතර විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශිතය. කායික ශක්තිය වර්ධනය කරන අතර ආහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු බහුලව ඇත. දියවැඩියාව පාලනය කිරීමට සහ සර්ප විෂ නැසීම සඳහාද උපකාරී වේ. කළු හීනැටි සහල් වලින් පිසින ලද කැඳ කහ උණ රෝගීන් සඳහා ඖෂධයක් ලෙස සැලකේ.


පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගකෝරළේ

1 comments:

GOOD WORK MR.DHANASENA .... GOOD LUCK....

Post a Comment