March 14, 2016

අප්‍රසන්න ගද ලොව ලොකුම මල


ඉන්දුනීසියාවේ වැසි වනාන්තරවල දක්නට ලැබෙන Rafflesia arnoldii යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාකයේ ලොව විශාලතම පුෂ්පය හටගනී. මෙය Rafflesia ගණයට අයත්වේ. පුෂ්පයක විෂ්කම්භය අඩි 3.3ක් නැතිනම් මීටරයක් පමණවේ. මලක බර කිගෝ ග්‍රෑම් 10ක් එනම් රාත්තල්  22ක් පමණවේ. කුණුවූ මාලුවලින් නික්මෙන ගදකට සමාන ගදක් මෙම මලෙන් නිකුත්වේ. එබැවින් මෙය මිනීමල් ලෙසද හැදින්වේ. සනාල ශාක ගණයට අයත් වුවත් මෙම ශාක විශේෂයට ශාක දේහයක්, ශාක පත්‍ර, ශාක මුල් නැත. මෙහි හරිතප්‍රද නොමැති නිසා ප්‍රභාසංස්ලේෂණය කළ නොහැක. මෙම ශාකය වෙනත් ශාකයක් මත යැපෙමින් පරපෝෂණයෙන් අවශ්‍ය ආහාර ලබා ගනී. ධාරක ශාකයේ මුල් හෝ දේහය තුළ ශාකයේ අභ්‍යන්තරයේ ජීවත් වෙමින් අන්තර් පරපෝෂිතාවය දක්වයි.


 මලේ මැද කොටසේ මණ්ඩලය දක්නට ඇත. ඒ තුළ කණ්ඨක වැනි ව්‍යුහ ඇත. මල ජායා කොටස් සහිත එකක්ද නැතිනම් පුං කොටස් සහිත එකක්ද යන්න කිව හැක්කේ මෙහි අඩංගු කොටස් අනුවයි. මල් පෙති පහක් ඇත. මේ පෙති මත සුදු පැහැති ගැටිති සලකුණු ඇත.




Rafflesia arnoldii ශාකයක පුෂ්පයක් හටගන්නට මාස ගණනක් ගතවේ. ශාකයක් ඇතිවී වසර ගණනකින් පුෂ්පයක් හටගනී. ශාකයේ වර්ධනය සදහා මේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ගතවේ. ධාරක ශාකය සිදුරැ කරගෙන ඒ තුළට ගොස් වර්ධනය වන්නට සෑහෙන කාලයක් අවශ්‍යයි. මාස නවයක් පුරා මල් පොහොට්ටුව වර්ධනයවේ. වර්ධනය අවසානවී ධාරක ශාක දේහය හෝ මුල පුපුරවා ගෙන පුෂ්පය පිටතට පැමිණේ. පුෂ්පය දුඹුරැ පාටට හැරැණු පසු එහි වර්ධනය අවසන්වේ.


මිනී මල් හටගන්නා ශාක විශේෂය හා සමාන තවත් ශාක සුමාත්‍රා දූපත්වල වැඩෙන අතර එම විශේෂය Titan arum යන නමින් හැදින්වේ.

සැකසුම- විද්‍යා හා තාක්ෂණ නිළධාරි, මාවනැල්ල
උපුටාගැනීම - නවයුගය සගරාව

0 comments:

Post a Comment