March 31, 2016

ලුණු භාවිතයේ ගුණ අගුණ

මානව ඉතිහාසයේ වසර දහස් ගණනක සිටම මිනිසුන්ට ලුණු ඉතා වැදගත් හා වටිනා ද්‍රව්‍යයක් බවට පත්ව ඇත.සෝඩියම් හා ක්ලෝරයිඩ් වලින් සෑදි ඇති ලුණු පහසුවෙන් නොබිදෙන ශක්තිමත් අණුවලින් සෑදී ඇත.මිනිස් සිරුරට සෝඩියම් නිපදවා ගත නොහැකි වීමත් ලුණු මගින් සෝඩියම් ශරීරයට ලබා ගත හැකි වීමත් නිසා ලුණු ආහාරයට ගැනීම වැදගත්වේ.ලුණු ශරීරයට අත්‍යවශ්‍ය වූවද ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම නුසුදුසුවේ.වයස අවුරුදු 11 ඉක්මවු පසු දෛනික ලුණු අවශ්‍යතාවය 6g ක් එනම් ලුණු තේ හැන්දක් පමණ වේ. එම ප්‍රමාණය ඉක්මවා ලුණු ආහාරයට ගැනීම නුසුදුසුවේ.
ලුණු නිසි පමණින් ආහාරයට ගත් විට කුඩා අන්ත්‍රෙයේදි පෝෂක පහසුවෙන් උරා ගැනීමට හැකිවේ. එමෙන්ම එමගින් සෛලවල තිබෙන ජල ප්‍රමාණය ,පෝෂක ප්‍රමාණය හා අපද්‍රව්‍ය සමබර කර ගැනීමට උපකාරීවේ.

ලුණු අධිකව ආහාරයට ගැනීම, අධි රුධිර පීඩනය,හෘද රෝග වැනි රෝග රැසක් ඇති වීමට හේතුවේ.
නිවසේ විවිධ කාර්යයන් සදහා ලුණු උදව් කර ගැනීමේ හැකියාව ඇත.රෙදි මදින ඉස්ත්‍රික්කයේ පතුලේ පැල්ලම් ඇත්නම් ඒවා ඉවත් කර ගැනීමට ලුණු යොදා ගත හැක.කඩදාසියක් මතට ලුණු ඉස ඒ මතින් මද උණුසුම් ඉස්ත්‍රික්කය සෙමින් ගෙන යාමෙන් එහි පතුලේ පැල්ලම් ඉවත්වේ.
තේ පීරිසි හා බදුන් වල ඇති තේ හා කෝපි පැල්ලම් ඒ මත ලුණු ඇතිල්ලීමෙන් ඉවත් කර ගත හැකිය.
මාළු ටැංකිවල බැදී තිබෙන වතුර මට්ටම පෙන්වන පැල්ලම් ඉවත් කිරීම ,අයඩීන්  රහිත ලුණු ඇතිල්ලීමෙන් කළ හැකි අතර නැවත මාළු දැමිමට පෙර ටැංකිය හොදින් සේදිය යුතුය.
එළවළු කපන ලෑලි හොදින් සේදිමෙන් පසුව ලුණු වලින් පෙගවු රෙදි කැබැල්ලකින් හොදින් පිස දැමීමෙන් ලෑල්ලට හොද පෙනුමක් ලබා දිය හැක.
ලුණු ,ලෙමන් යුෂ හෝ විනාකිරි සමග මිශ්‍ර කර හොද සේදුම්කාරකයක් සාදා ගත හැක.
ලුණු කෝප්ප එකක් නටන උණු වතුර කෝප්ප 1 ½ කට මිශ්‍රකර දැමීමෙන් මුළු තැන්ගෙයි සින්ක් වල බැදි ඇති කුඩා සෙවල කැබලි හා ගද ඉවත් කර ගත හැකිය.‍
ගෙවත්තේ ටයිල් කැට අතර වල් පැල වැවීම ලුණු කුඩු ඉසීමෙන් මර්ධනය කළ හැකිය.
ඇදුම් වල ඇති ලේ පැල්ලම් ඉවත් කිරීම, එය පළමුව සීතල ලුණු වතුරේ පොගවා පසුව සබන් මිශ්‍ර උණු වතුරෙන් සෝදා හැරිම මගින් කළ හැකිය.
කෘතිම මල් වල දූවිලි බැදී ඇති විට ඒවා ලුණු දැමූ බෑගයකට දමා සෙලවීම මගින් ඉවත් කර ගත හැකිය.එමගින් මල් වලට අළුත් පෙනුමක් ලබා ගත හැකිය.
නිව‍සේ කූඹින් එන මාර්ග වලට ලුණු ස්වල්පයක් ඉසීමෙන් කූඹි කරදරය මගහරවා ගත හැකිය.
කැන්වස් සපත්තු වලට ඉදහිට ලුණු ස්වල්පයක් ඉසීමෙන් ඒවායේ ගද නැනි කර ගත හැකිය.
උගුර රිදෙන විට මද උණුසුම් වතුරට ලුණු දමා උගුර සේදීම මගින් සහනයක් ලබා ගත හැකිය.
බිත්තර තම්බන වතුරට ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් බිත්තර කටුව පහසුවෙන් ඉවත් කළ හැකිය.වතුර කෝප්පයකට ලුණු තේ හැදි දෙකක් දමා දියකර එයට බිත්තරය දැමු විට බිත්තරය අළුත් නම් එය දියේ ගිලෙන අතර පරණ නම් එය දිය මත පාවෙනු ඇත.
අළුත් මල් වැඩි කාලයක් ප්‍රාණවත්ව තබා ගැනීමට මල් දැමු වතුරට ලුණු ස්වල්පයක් එකතු කර ගත හැකිය.
වීදුරු බදුන් අව පැහැ ගැන්වී ඇත්නම් ලුණු මිටක් හා විනිකාරි ස්වල්පයක් ජලයට එකතු කරඑම මිශ්‍රණයේ වීදුරු බදුන් රැයක් බහා තබා උදෑසන පිසදා හරින්න.
මෙලෙස කාර්යයන් රැසකට ලුණු ප්‍රයෝජනවත් වන අතර ජීවත්වීම සදහා සියළුම ජීවින්ට ස්වල්ප වශයෙන් හෝ අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව ලුණු ප්‍රමාණය දැන ආහාරයට ගැනීමටත් ඉන් ලබා ගත හැකි ප්‍රයෝජන ලබා ගැනීමටත් අප කල්පනාකාරි විය යුතුය.

සැකසුම -විද්‍යා හා තාක්ෂණ නිළධාරි- බලපිටිය.

පොත පත ඇසුරිනි

1 comments:

ලුණු ගණන් ගිය වෙලේ අගුණම කියුවනම් තමයි වටින්නේ.. :)

Post a Comment