October 26, 2014

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට්


දිනෙන් දින තාක්ෂණය දියුණු වෙමින් පවතින ලෝකයේ සෑම රටක්ම යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරයි. එහිදී ගමනාගමනය (අධිවේගී මාර්ග, ගුවන් පථ නිර්මාණය) , ක්‍රීඩා පිට්ටනි නිර්මාණය, කෘෂි කර්මාන්තය(Green house floors), කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් වලදී බිම් අලංකරණය සඳහා වැනි ක්ෂේත්‍ර ගණනාවක් සඳහා  අද වන විට ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් යොදා ගැනීම බහුලව සිදුකෙරේ.

මෙයින් මංමාවත් ඉදිකිරීම ප්‍රධාන තැනක් ගනී. මාර්ගයක් නිර්මාණය කිරීමේදී වැඩි මුදලක් වැය වන්නේ මතුපිට අතුරන පූර්ව මිශ්‍රණ තට්ටුව (Asphalt Concrete layer) සඳහාය. මාර්ග තැනීමේ මුල් කාලයේ සිටම භාවිතා වූ මැකඩම් නමින් හැඳින්වූ ක්‍රමය වූයේ සකස් කරන ලද මාර්ග තලයේ මතුපිට 4”,2” හා  ¾” ප්‍රමාණයේ කැටගල් (Metal) තට්ටු වශයෙන් අතුරා ස්ථාවර තත්වයකට පත්වන තෙක් තැලීමෙන් ඒ මතුපිට පිළිවෙලින් උණු කරන ලද තාර දෙවරක් හා වැලි ඇතිරීමත්ය.
අමු තෙල් පිරිපහදු කිරීමෙන් පසු ඉතිරිවන මණ්ඩි එනම්  Bitumen ( සාමාන්‍ය භාවිතයේදී තාර නමින් හැඳින්වේ.) වල අගය ඉංජිනේරුමය ද්‍රව්‍යයක් වශයෙන් විද්‍යාඥයින්ට වඩ වඩාත් දැනෙන්නට වූයෙන් ඒ පිළිබඳ නිරන්තර පර්යේෂණයන් සිදු කෙරිණ.

එම පර්යේෂණයන්හි ප්‍රතිඵල වශයෙන් වඩාත් ස්ථායි වූ මාර්ග මතුපිටක් නිර්මාණය කිරීම සඳහා මෙම
බිටුමන් වලින් මිශ්‍රණ සෑදිය හැකි අන්දම පිළිබඳව අත්හදා බැලීම් සිදු කෙරුණි. මෙම අත්හදා බැලීම් වලින් ලත් අත්දැකීම් මත ලෝකයේ බෙහෝ රටවල ඇස්ෆොල්ට් කොන්ක්‍රීට් මාර්ග නිර්මාණය කිරීම ආරම්භ කෙරුණි. ඒ අනුව ගල්, වැලි, ගල්කුඩු (Aggregates) හා බිටුමන් (Binder) විවිධ අනුපාතයන්ට මිශ්‍ර කර (Asphalt Mix Designs) ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් නිෂ්පාදනය ආරම්භ විය. (බිටුමන් සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝණ තත්වයේ පවතී).  මේවා මිශ්‍ර කිරීම සඳහා විශාල යන්ත්‍ර (Asphalt plant) හා උණුසුම් තත්වයේදී  තිබෙද්දීම ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ වූ වාහනද ඒවා උණුවෙන්ම මාර්ගයේ ඇතිරීම සඳහා ඇස්ෆෝල්ට් අතුරන යන්ත්‍රද  (Aspalt pavers)  හඳුන්වා දෙනු ලැබිණ.

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් මිශ්‍රණ කරන ක්‍රම කිහිපයක් ඇත.
Hot Mix Asphalt (HMA)       – ඇස්ෆෝල්ට් බන්ධනය(Binder) 150C0 -190C0 තෙක් රත් කිරීමෙන් නිෂ්පාදනය කරයි. උණුසුම් තත්වයේ තිබියදීම භාවිතා කළ යුතුය. මෙය ලොව බහුලවම භාවිතා වන ක්‍රමයයි.
Warm Mix Asphalt(WMA)   -  20- 40 C0 උෂ්ණත්වයේදී සිදු කෙරේ. Zeolites, Waxes සහ ඇස්ෆෝල්ට් තෛලෝදය (Emulsion) භාවිතා කර නිෂ්පාදනය කරයි.
Cold Mix Asphalt                   - Aggregate රත්කිරීමෙන් තොරව නිෂ්පාදනය කෙරේ.මේ සඳහා ජලය සහ Emulsifying Agent රසායනිකයක් සමග බිටුමන් මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා බිටුමන් ඉමල්ෂනය භාවිතා කරයි.
Cut back Asphalt concrete   - ඇස්ෆෝල්ට් බන්ධනය භූමිතෙල් (Kerosene) තුළ හෝ වෙනත් පෙට්ට්‍රෝලියම් සංඝටකයක ද්‍රාවණය කර භාවිතා කරයි.
Natural Asphalt concrete     - ස්වභාවිකව හමුවන Bituminous rock මගින් නිෂ්පාදනය කෙරේ.

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් භාවිතයේදී පහත සඳහන් කරුණු පිළිබඳව සලකා බලනු ලැබේ.
ඉක්මනින් ගෙවී නොයාම - Wearing Resistance
ශක්තිය - Strength
ස්ථායි බව - Stability
දැඩි නොවන බව- Flexibility
ඒකාකාරි මතුපිට- Evenness
ජලය යටට කාන්දු නොවීම- Impermeability
කල් පැවැත්ම - Durability
මතුපිට වතුර බැස්ම- Surface runoff
මෙම ගතිගුණ සම්මත සීමාවන් තුළ තබා ගැනීම සඳහා ඇස්ෆෝල්ට් මිශ්‍රණ නිරන්තර පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබේ. කැටගල්(Metal), වැලි , ගල්කුඩු හා බිටුමන් සඳහා වෙන වෙනම වූ විශේෂ පරීක්ෂණ මාර්ගයෙන් ඒවායේ යෝග්‍යතාව නිර්ණය කෙරේ. උදාහරණ ලෙස ගල්කුඩු සඳහා (Sieve Analysis test) නියමිත ප්‍රමාණයේ අංශු සියල්ලක්ගෙන් පිළිගත් සම්මත ප්‍රමාණවලින් අඩංගුදැයි බැලීය යුතුය. Bitumen penetration test (විනිවිදුම් පරීක්ෂාව) මෙමගින් බිටුමන් වල දුස්ස්‍රාවිතාවය (Viscosity) අනුව විවිධ රටවල පාරිසරික සාධක ( උෂ්ණත්වය වැනි) වලට ගැලපෙන බිටුමන් සම්මත ශ්‍රේණි ගත කිරීමක් කර ඇති අතර එම විනිවිදුම් පරීක්ෂාවෙන් ලබා ගන්නා අගය මත ප්‍රදේශයට සහ කාර්යයට වඩාත් ගැලපෙන බිටුමන් තෝරා ගත හැක.  මෙවැනි පරීක්ෂණ ගණනාවක් මෙම මූලික අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා කළ යුතුය.

එලෙසම මාර්ගය නිර්මාණය කෙරෙන අතරතුර දිනපතාම ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් සාම්පල පරීක්ෂණාගාරය තුළදී පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබේ. අනුමත මිශ්‍රණය මාර්ගයේ අතුරා තැලීමෙන් පසුවද සාම්පල (core samples) කපා ගෙන ගොස් පරීක්ෂණ කීපයකට භාජනය කරනු ලැබේ.

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී ඉංජිනේරුවන් විසින් හඳුනාගත් ලොව සම්මත පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
Marshall Mix Designs, Ignition Method of Determining Asphalt Content (ඇස්ෆෝල්ට් ප්‍රමාණය), Maximum Specific Gravity –(උපරිම විශිෂ්ට ගුරුත්වය-), Bulk Specific Gravity of Mixture , Sieve Analysis, Tensile Strength Ratio( ආතන්‍ය ප්‍රබලතාව), Ductility (තන්‍යතාව), Air Voids testing (හිඩැස්) , Flash point (ජ්වලන අංකය), Solubility(Purity) (ද්‍රාව්‍යතාව).
මෙවැනි පරීක්ෂාවන්ට ලක් නොකර භාවිතා කරන ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් වල ඉහත සඳහන් කළ ගුණාංග අපේක්ෂා කළ නොහැක.

සකස් කළේ
ඩී.එස්.උඩහේන්තැන්න

උපුටා ගැනීම් - 

0 comments:

Post a Comment