October 16, 2014

අපව බලාත්මක කරන ශරීර ඉරියවු

 සන්නිවේදන කාර්යයේදී වචන මෙන්ම ශරීර ඉරියවුද යොදා ගත හැකි බව අප සැවොම දන්නා කරුණකි.  තවද  පුද්ගලයකුගේ ශරීර ඉරියවු නිරීක්ෂණය කිරීමෙන් එම පුද්ගලයාගේ මානසික මට්ටම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බව පර්යේෂණ වලින් හෙලි වී ඇත. මේ අනුව ඕනෑම පුද්ගලයකුගේ මානසික මට්ටම එම පුද්ගලයාගේ චර්යාවන් කෙරෙහි බලපාන බව සැබෑය.  මනස ලෙඩ වන විට ශරීරය ද ලෙඩ වන බව මනෝවිද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ එහෙයිනි.
ශරීරය තුල සිදුවන ජීව විද්‍යාත්මක මෙන්ම මනෝවිද්‍යාත්මක ක්‍රියාවන් ද පාලනය කිරීමට ශරීර අභ්‍යන්තරය තුල ස්‍රාවය වන හෝමෝන වැදගත් වන බව නොරහසකි. පුගලයකු තුල ඇතිවන ක්ලමථය (stress) නිසා ඔහු හෝ ඇය ශාරීරිකව මෙන්ම මානසිකවද ලෙඩ වන බව සොයාගෙන ඇත. මේ සඳහා ඉවහල් වන ප්‍රධාන හෝමෝනයකි කෝටිසෝල්. එසේම පුද්ගලයකු බලසම්පන්න (ආත්ම විශ්වාසය, සුභවාදිත්වය, එඩිතරකම ඇති වීම) කිරීමට  ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය  වැදගත් වන බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. ලෝකයේ මෙතෙක් ඕනෑම ක්ෂේත්‍රයක බිහිවූ අතිවිශිෂ්ඨ නායකයින් තුල මෙන්ම බලසම්පන්න දේශකයින්  (power speakers)  තුලද  ටෙස්ටොස්ටෙරෝන් හෝමනය  අධික ප්‍රමාණ වලින් තිබූ බව පර්යේෂකයින් විසින් ඔප්පු කර ඇත.
   හෝමෝන ස්‍රාවය වීම මඟින් පුද්ගලයකුගේ ශරීර ඉරියවු වෙනස්  වනවා සේම ශරීර ඉරියවු වෙනස්  කිරීම තුලින් ශරීර අභ්‍යන්තරය තුල ස්‍රාවය වන හෝමෝන මට්ටම වෙනස්  කළ හැකි බව ලොව සුප්‍රසිද්ධ හාවඩ් සරසවියේ  සමාජ මනෝවිද්‍යාඥයෙකු වන මහාචාර්ය එමී කඩි (Amy Cuddy)  විසින් මෑතකදී සිදුකළ පර්යේෂණයකින් ඔප්පු කර ඇත. මෙම පර්යේෂණයේදී එයට බඳුන් කළ පුද්ගලයින්ගෙන් හරි අඩකට බලාත්මක ඉරියවු හි (power  postures - රූපය 1) විනාඩි දෙකක කාලයක් සිටීමට සලස්වන ලද අතර අනිත් කණ්ඩායමට බලහීන ඉරියවු (lower  postures - රූපය 2 )  හි විනාඩි දෙකක කාලයක් සිටීමට සලස්වන ලදි. පසුව මෙම කණ්ඩායම් දෙකෙහිම සිටි පුද්ගලයින්ගේ හෝමෝන මට්ටම මැන බලන ලදි. මෙහිදී  බලාත්මක ඉරියවු හි සිටි පුද්ගලයින්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම 20% කින් වැඩි වී තිබූ අතර කෝටිසෝල් මට්ටම  25%  කින් අඩු වී තිබුණි. එසේම බලහීන ඉරියවු හි සිටි පුද්ගලයින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම 10% කින් අඩු වී තිබූ අතර කෝටිසෝල් මට්ටම  15% කින් වැඩි වී තිබුණි. ඒ අනුව මින් එළැඹිය හැකි නිගමනය වන්නේ  බලාත්මක ඉරියවු තුලින් සිදුවන හෝමෝන වෙනස්වීම හරහා යමෙකුගේ ආත්මවිශ්වාසය හා  එඩිතරකම ඉහළ යන බවත් බලහීන ඉරියවු තුලින් සිදුවන හෝමෝන වෙනස්වීම හරහා පුද්ගලයාගේ  ආත්මවිශ්වාසය පහළ යන බවත් ය.
රූපය 1                                                          රූපය 2     
  
   එමී කඩි මහාචාර්ය තුමිය      තවදුරටත් පර්යේෂණයට බඳුන් කළ එම කණ්ඩායම්  පර්යේෂණයෙන් පසුව සම්මුඛ පරීක්ෂණ (job interviews) සඳහා යොමු කළ අතර එහිදී බලාත්මක ඉරියවු හි පිහිටවූ කණ්ඩායමේ සාමාජිකයින්ව පමණක් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණය මෙහෙයවූ  අය (interviewers) කැමැත්ත පළ කර තිබීම මෙම බලාත්මක ඉරියවු වල ප්‍රායෝගික භාවිතය සම්බන්ධව සොයා ගත් මනා සාක්ෂියකි.
  ඔබටත් විනාඩි දෙකක කාලයක් පහත දැක්වෙන බලාත්මක ඉරියවු වල යෙදීමට හැකි නම් ඔබගේ හෝමෝන වෙනස්වන අතර ඒ තුලින් ආත්ම විශ්වාසය සහ එඩිතරකමෙහි කැපී පෙනෙන වෙනසක් අත්විඳිය හැකි ය. මෙය රැකියා සමමුඛ පරීක්ෂණයට පමණක් නොව ආත්ම විශ්වාසය අවැසි වෙනත් ඕනෑම කටයුත්තකදී (අලෙවිකරණ කටයුත්තක්,  දේශණ පැවැත්වීම, තරඟයකට පෙර, වැදගත් සාකච්ඡාවකට පෙර වැනි වූ අවස්ථා වලදී) යොදා ගත හැක. (ඉහළ පෙල- බලාත්මක ඉරියවු, පහළ පෙල -බලහීන ඉරියවු)
 
Toastmaster magazine (issue August 2014) සහ ted talk web  අඩවිය ඇසුරින් සකස් කරන ලද්දේ
කාංචනා හෙට්ටිආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැලණිය

1 comments:

වැදගත් පිටුවක්. මේක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. පිවිසුම පහතින්.

http://blogdharshakaya.blogspot.com/

Post a Comment