April 26, 2018

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් එක් දිනකින් සම්පූර්ණ නිවසක් ඉදිකරයි


සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා විශේෂයෙන් නිර්මාණය කරන ලද පළමු අනුදත් (බලපත්‍රලාභී) 3D (ත්‍රිමාණ) මුද්‍රිත නිවහනක්  ICON සමාගම සහ New Story නම් ලාභ නොලබන සමාගම විසින් ඉදිකර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදයේදී  පළමු බලපත්‍ර ලත් ත්‍රිමාණ මුද්‍රිත නිවස සම්පූර්ණ කළ බව පවසන ICON ඇමරිකානු සමාගම එම නිවස නිරිතදිග තාක්ෂණ සම්මේලනය සහ ප්‍රසංගය යේදී වාර්තාකරුවන් හා අමුත්තන් වෙත ප්‍රදර්ශනය කරන ලදී. දැඩි හා ශක්තිමත් ද්‍රව්‍ය සහ මිශ්‍රණ යොදා මෙම නිවාස ඉදිකිරිම සදහා විශාල 3D මුද්‍රණ යන්ත්‍රයක් සංවර්ධනය කළ බව ICON සමාගමේ සම නිර්මාතෘ Jason Ballard (ජේසන් බලාඩ්) පවසයි.

 “ මම ඇමරිකාවේ මුල්ම අවසරලත් 3D මුද්‍රිත නිවස ඉදිරිපිට සිටගෙන සිටිමි. ඇත්තෙන්ම අධික සුළං, දූවිලි හා වැසි ඇදහැලෙන පරිසර තත්වයන් යටතේ අපි මෙම නිවස ඉදිකළෙමු.” යැයි ඔහු ප්‍රකාශ කළේය. ඔවුන්ගේ අරමුණ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල නිවාස ඉදිකිරිම බැවින් මුද්‍රණ ක්‍රියාවලිය කාලගුණ විපර්යාස වැනි අතිශයින්ම අපහසු තත්වයන් යටතේ ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ.

ICON විසින් නිෂ්පාදිත ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රය සැහැල්ලු ඇලුමිනියම් වලින් නිමකර ඇති අතර එය උසින් මීටර 9 ක්ද පළලින් මීටර 4.5 ක්ද වේ. නිවාස අවශ්‍ය ස්ථානවලදී යන්ත්‍රය විසින් නිවාස ඉදිකළ යුතු නිසා එය එක් දේපලක සිට වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට තරම් සැහැල්ලු විය යුතුය.
නිවාස ඉදිකිරිම සදහා මෙවැනි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර බොහොමයක් ඉදිරිකාලයේදී ලොව පුරා ක්‍රියාත්මක වනු ඇතැයි බලාඩ්ගේ විශ්වාෂය වේ. නිවසක් ඉදි කිරීමට වඩා ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර ගොඩනැගීම පහසු බවද ඔහු සදහන් කරයි.

මෙම නිවස මුද්‍රණය කිරීම සඳහා යන්ත්‍රය සිය සාමාන්‍ය වේගයට වඩා හතරෙන් එකක (1/4) අඩු වේගයකින් ක්‍රියාත්මක කළද නිවස ඉදිකිරිම (අච්චු ගැසීම) සදහා ගතවූ කාලය පැය 48 ක් පමණක් බවත් සාමාන්‍ය වේගයෙන් යන්ත්‍රය ක්‍රියාතමක කළේ නම් ඒ සදහා ගත වන කාලය හුදෙක් පැය 12ක් පමණ බවත් වාර්තා වේ.

නිවාස අවශ්‍යතාව සත්‍යවශයෙන්ම තදින් බලපාන මිලියන සංඛ්‍යාවක ජනයාට කඩිනම්, ලාභ නිවාස විසඳුමක් ලබා දීම සදහා  ICON සමාගම, New Story නම් ලාභ නොලබන සමාගම හා සම්බන්ධ වි කටයුතු කිරීමට අපේක්ෂා කරයි.

“අප මුහුණ දෙන ගැටලුවේ විශාලත්වය ඉතා විශාලය. එය ජීවිතයේ වඩාත්ම මූලික මිනිස් අවශ්‍යතාවක් වූ ආරක්ෂිත නවාතැනක් නැති මිනිසුන් බිලියනයක් මුහුණපා සිටින ගැටළුවක්.”යැයි New Story සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි Brett Hagler(බ්‍රෙට් හැග්ලර්) පවසයි.
ඔවුන්ගේ සමාගම දැනටමත් විවිධ ප්‍රදේශවල/රටවල දුප්පත් පවුල් සමග එම පවුල්වල නිවාස අවශ්‍යතාවයන් සම්බන්ධව කටයුතු කරන නමුත්, ඇත්ත වශයෙන්ම වෙනසක් කිරීමට නම්, මෙම වැඩසටහන විශාල ලෙස පුළුල් කළ යුතු වේ. සාම්ප්‍රදායික නිවාස ඉදිකිරීමට වඩා ත්‍රිමාණ මුද්‍රණ ක්‍රියාවලිය වේගවත් වන හෙයින්, මුළු ප්‍රජාවකටම නිවාස මාස කිහිපයක් ඇතුළත ගොඩනැඟිය හැකිවීම භාග්‍යකි.

"එය ගුණාත්මකභාවය අඩුකිරිමකින් තොරව කැපී පෙනෙන ලෙස පිරිවැය අඩු කිරීමක් මෙන්ම වේගවත් කිරීමකි. සම්ප්‍රදායික  නිවාස ඉදිකිරීමේදී එක් නිවසක් සදහා ඩොලර් 6,500 ක් පමණ වැයවෙන නමුත් නව ක්‍රම නිසා ඉතා අඩු කාලයක් සහ එක් නව නිවසක් සදහා ඩොලර් 4,000 ක පමණ අඩු මුදලක් වැයවීම නිසා බොහෝ පිරිසකට සෙත සැලසීමට හැකි වේ. තවද කාලගුණික ආපදා අවස්ථාවන්හිදී ක්ෂණිකව සහය විය හැකිය. නව ගොඩනැඟිලි තාක්ෂණය දුප්පත් සහ පහළ මට්ටමේ මිනිසුන් වෙත් ළඟාකර දීමට ලොව පළමුවරට ගත් මෙම පියවර අගය කළ යුතුයි." Hagler සතුටින් ප්‍රකාශ කරයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/SvM7jFZGAec?t=12

0 comments:

Post a Comment