April 5, 2018

මධ්‍යධරණී මුහුදේ ඩොල්ෆින් ධීවරයින්ගෙන් මසුන් සොරා ගනියිද?

තම ආහාරය සදහා ප්‍රමාණවත් මසුන් අල්ලා ගැනීමට අපහසු වීම නිසා මාධ්‍යධරණී මුහුදේ ඩොල්ෆින් ධිවරයින් අල්ලා ගන්නා මසුන් සොරා ගැනීමට පුරුදු වි සිටින බව වාර්තා වේ.

ගොඩ බිමදී සිදුවන මානව-වනජීවී ගැටුම් පිළිබඳ අප බොහෝ දේ අසා ඇත. මුහුදේදී එවැනි සිදුවීම් පිළිබඳ වාර්තා වැඩි වෙමින් පවතියි. උතුරු සයිප්‍රස් දියෙහි ඩොල්ෆිනයන් සහ ධීවරයන් අතර සම්බන්ධය ගැන සොයා බලන පර්යේෂකයින් ඩොල්ෆින් සතුන් ගැවසෙන විට ධිවර දැල් වලට සිදුවන හානිය හය ගුණයකින් වැඩිවන බව නිරීක්ෂණය කර තිබේ. මේ පිළිබද තොරතුරු පත්‍රිකාවක් Human Ecology  (මානව පරිසර විද්‍යා) සඟරාවෙහි පළ වි ඇත.

ඇතැම් ඩොල්ෆින් ආහාර ලබා ගැනීම සඳහා ධිවර දැල් සොයමින් ක්‍රියාශීලි ලෙස හැසිරෙන බව Exeter විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා හා සංරක්ෂණ මධ්‍යස්ථානයේ Robin Snape ප්‍රකාශ කරයි. මෙය බොහෝවිට මුහුදේ මත්ස්‍ය තොග  හිනවීම නිසා සිදුවන අතර එමගින් ධිවරයින් අල්ලා ගනු ලබන මසුන් ප්‍රමාණය අඩු වනවා පමණක් නොව ධිවර දැල් අලුත්වැඩියාවටද වැඩි මුදලක් වැය වේ. එනම් මත්ස්‍ය මිල ඉහළ යාම මෙන්ම ධිවර කර්මාන්තයටද හානි සිදුවේ.

මධ්‍යධරණී මුහුදේ බොහෝ ප්‍රදේශවල ධීවරයන්ගෙන් බහුතරයක් සුළු පරිමාණයෙන් මසුන් ඇල්ලීම සඳහා මුහුදු මට්ටමේ සිට දළ වශයෙන් මීටර් 1.2 ක් (අඩි 4 ක් පමණ) උසට දැල් දැමීම සිදු කරති. මෙම දැල් වලින් පහසු ආහාර වේලක් ලබාගැනීමට පුරුදු වූ සාමාන්‍ය bottle-nose ඩොල්ෆින් වර්ගය මත්ස්‍ය ඵලදාවෙන් 28% ක් පමණ පරිභෝජනය කරන බව පර්යේෂකයින් විසින් සොයාගෙන තිබේ.

මත්ස්‍යයින් අනුභව කිරීම  සදහා මෙම මුහුදු ක්ෂීරපායින් බොහෝ විට ධිවර දැල් පලුදු කරන අතර එමගින් ඔවුන්ටද අනතුරු සිදු වේ. වර්ෂයකදී දැල්වල සිරවී අනතුරට ලක්ව ඇති ඩොල්ෆින් ප්‍රමාණය 10 ක් ලෙස වාර්තා වි ඇති නමුත් එය පිළිගත නොහැකි බව ද, කෙසේනමුත් සෑම වසරකම ඉරා දැමු  දැල් අලුත්වැඩියා කිරීමට යුරෝ දහස් ගණනක් වියදම් කිරීමට ධීවරයින්ට සිදුවන බවද සදහන් වේ.

මත්ස්‍ය වෙළඳපොළ වැඩි ඉල්ලුමක් සහිත මත්ස්‍ය විශේෂ සඳහා තවාන් (බෝකිරීමේ ස්ථාන) සෑදිමත් ඒවාට ඇතුළුවීම සිමා කිරිමත් මගින් ඩොල්ෆින් මසුන් මෙන්ම ධිවර කර්මාන්තයද රැක ගත හැකි හෙයින් එය දෙපාර්ශවයම ජයග්‍රහණය කරන ඵලදායි කළමනාකාරණ ක්‍රියාවලියක් බව කලාපයේ ධීවරයෝ ප්‍රකාශ කරති.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක විභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment