April 27, 2018

මුහුණු හඳුනාගැනීමේ නියමු නියැදියක් මගින් අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත ළමයින් සොයා ගැනේ.

දිල්ලි නගර පොලිස් දෙපාර්තමේන්තුව විසින් අත්හදා බැලීමේ ක්‍රමයක් ලෙස මුහුණු හඳුනාගැනීමේ නියමු නියැදියක් හෙවත් FRS නම් පරිගණක මෘදුකාංගයක් භාවිතා කර දින හතරක් තුලදී අතරමං හෝ අතුරුදහන් වූ ළමයින් 3000 ක් පමණ දිල්ලි නගරයෙන් සොයා ගත් බව ඉන්දියානු NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. එය නව ප්‍රවේශය නිසා ලද අගය කළ යුතු සේවයකි.


බිලියනය 1.3 ක ජනගහනයක් සිටින රටක සෑම වසරකම පාහේ අතුරුදහන් වන දහස් සංඛ්‍යාත දරුවන් හඹා යමින් සොයා ගැනීම අතිශය අපහසු දැවැන්ත කර්තව්‍යයකි. ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි 2012 සහ 2017 අතර කාලයේදී පමණක් දරුවන් 240,000 ක් පමණ අතුරුදහන් වී තිබේ. සත්‍ය සංඛ්‍යාව මිට බොහෝසේ වැඩි බවත් එම ප්‍රමාණය 500,000 කට ආසන්න බවත් සමහර සංවිධාන ප්‍රකාශ කරයි.

අතුරුදහන් වූ දරුවන් සොයා ගැනීම සදහා අමාත්‍යාංශය විසින් ජාතික පද්ධතියේ TrackChild නම් දත්ත ගබඩාවක් ස්ථාපිත කර ඇත. අතුරුදහන්වූ හා සොයාගත් දරුවන්ගේ ඡායාරූප එහි ඇතුලත් කිරීමට මෙන්ම එහි ඇති දරුවන්ගේ ඡායාරූප නැරඹීමටද හැකිය. තවද එමගින් ඊට අදාල පොලිස් තොරතුරු නියෝජිතයන් හා පුරවැසියන් සමඟ බෙදා ගත හැකි වේ. මෙම ඩිජිටල් සම්පත (දත්ත ගබඩාව) ප්‍රයෝජනවත් මෙවලමක් බවට පත් වුවද, විශාල ඡායාරූප ප්‍රමාණයක් තිබීම නිසා ළමයින් හඳුනා ගැනීමේ සහ සොයාගැනීමේ කටයුතු අපහසු විය.

එනිසා Bachpan Bachao Andolan (BBA) නමැති ළමා සුභසාධක සංවිධානය විසින් TrackChild ජායාරුප සැසඳීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රිය කිරීමට FRS මෘදුකාංගය නිර්මාණය කර ඇත. මෙම වැඩසටහන භාවිතා කරනු ලබන විශේෂිත මුහුණු හඳුනා ගැනීමේ ඇල්ගොරිතම පිළිබඳ විස්තර පළකර නොමැති නමුත් වත්මන් FRS වේදිකාව ජ්‍යාමිතික හෝ ඡායාමිතික (geometric or photometric) යන ප්‍රධාන ප්‍රවේශයන් දෙකම භාවිතා කරයි

ජ්‍යාමිතික ඇල්ගොරිතම විසින් මුහුණේ ඉන්ද්‍රියන්, විවිධ ලක්ෂණ අතර දුරමැනීම මගින් සහ මුහුණේ විවධ සලකුණු හදුනාගැනීම මගින් මුහුණු සංසන්ධනාතමක විශ්ලේෂණයකට බඳුන් කරයි. ඡායාමිතික ඇල්ගොරිතමය මගින් ජායාරුපයේ පික්සලයෙන් පික්සලය දක්වා සංකීර්ණ මට්ටමට රුප සංසන්දනය කරනු ලැබේ. ඡායාමිතික ඇල්ගොරිතමය භාවිතය සදහා සංසන්ධනය කිරීමට රුප විශාල ප්‍රමාණයක් අවශ්‍ය නිසා FRS මෘදුකාංගය එය කොතරම් දුරට අනුගමනය කරනවාදැයි පැහැදිලි නැත.

තරමක් අවුල් සහගත විව්ධාකාර ගැටලු නිසා පොලිස් දෙපාර්තමේන්තුවට සහාය වීමට දිල්ලි මහාධිකරණය මැදිහත් වන තුරු FRS නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකළේය. කෙසේවෙතත් එය අනුමත කළ පසු මේ දක්වා ළමයින් 2930 ක් හඳුනාගැනීමට හැකිවී තිබේ. මේ සදහා TrackChild දත්තගබඩාවේ ළමා ජායාරුප 45,000 ක් පමණ FRS මෘදුකාංගයට ඇතුළු කිරීමට සිදුවී තිබේ.

"ඉන්දියාවේ දැනට අතුරුදහන් වූ ළමයින් 200,000 ක් පමණ සහ විවිධ ළමා ආරක්ෂණ ආයතනවල පදිංචිව ළමයින් 90,000 ක් පමණ සිටියි. එනිසා ජායාරුප ගලපා ළමයින් හඳුනාගැනීමට ස්වයංක්‍රීය ක්‍රමවේද නොමැතිව මිනිසුන්ට කළ නොහැකියි” යැයි BBA ක්‍රියාකාරියෙක් වන  Bhuwan Ribhu ,The Better India වෙත ප්‍රකාශ කර ඇත.
   
"වෙනත් පොලිස් දෙපාර්තමේන්තු මෙම මෘදුකාංගය භාවිතා කරන්නේද නැද්ද යන්න ගැටළුවක් නොවේ. එක් දෙපාර්තමේන්තුවකට මෙම මෘදුකාංගය තිබේ නම් සහ කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති  සියළුම දත්ත සමුදායන් හරහා එය ක්‍රියාත්මක කරයි නම් අවශ්‍ය ප්‍රතිපල ළඟාකර ගෙන ඒවා අදාල සියලුදෙනා අතර බෙදා හදා ගත හැකිය.” යැයිද ඔහු සදහන් කරයි.
කෙසේවෙතත් TrackChild වැඩසටහනට ස්ථිරවම හා අඛණ්ඩව පවත්වාගෙන යාමට තවදුරටත් නීතිමය බාධාවන් ඉවත් කිරීමට පද්ධතියට අවශ්‍ය වන්නේද යන්න දැනට පැහැදිලි නැති බවද වාර්තාවේ සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/TdFEoelaatM?t=2

0 comments:

Post a Comment