July 3, 2017

විදුරු බෝතල් ප්‍රතිචක්‍රියකරණයෙන් බැටරි නිෂ්පාදනය

සෑම වසරකදීම කසළ බිම් වල බිලියන ගණනින් විදුරු බෝතල් ගොඩ ගැසේ . විදුලි කෝෂ නිෂ්පාදන තාක්ෂණයද අනෙක් තාක්ෂණයන්ට සාපේක්ෂව ප්‍රමාණවත් වර්ධනයක් දක්වා නැත. මේ නිසා ඉවතන ලද විදුරු බෝතල් ප්‍රතිචක්‍රියකරණය කර වඩා වැඩි ධාරිතාවක් සහිත විදුලි කෝෂ නිෂ්පාදනය සදහා ක්‍රියාත්මක කළ පර්යේෂණ සාර්ථක වූ බව වාර්තා වේ.

Riverside California විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් Nation journal සඟරාවේ පළ කරන ලද වාර්තාවක් මගින් මේ පිළිබද තොරතුරු අනාවරණය කර තිබේ. විදුලි මෝටර් රථ , ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ බලගැන්වීම සදහා භාවිතා කළ හැකි නව විදුලි කෝෂ වර්තමාන විදුලි කෝෂ (බැටරි) වලට වඩා කළ පවතියි. ඊට අමතරව ඒවාට වැඩි බලයක් ගබඩා කළ හැකි බවත් කාසි ස්වරුපයේ විදුලි කෝෂ වලට වඩා ස්ථාවර බවත් පර්යේෂණ කණ්ඩායමේ නියාමක කතෘ සහ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු (materials science & engineering) විෂයෙහි පශ්චාත් උපාධි අපේක්ෂක Changling Li ප්‍රකාශ කරයි.

ලිතියම්-අයන් (Lithium-ion) විදුලි කෝෂ සදහා භාවිතා කළ හැකි පරිදි  ඉවත ලන විදුරු බෝතල් වල පවතින සිලිකන් ඩයොක්සයිඩ් වලින් සිලිකන් නැනෝ අංශු පර්යේෂයින් විසින් නිපදවන ලදී. එනම් සිලිකන් නැනෝ අංශු වලින් කෝෂයේ ඇනෝඩය හෙවත් පරිපථය තුළ ඉලෙක්ට්‍රෝන නිදහස් කරන අග්‍රය නිපදවිය. මේ සදහා ඔවුහු අඩු වියදම් රසායනික ක්‍රියාවලියක් අනුගමනය කළෝය.

ඉවත ලන විදුරු බෝතල් අඹරා (කුඩුකර) සිනි වැනි කුඩු නිපදවා ඉන්පසු  සාමාන්‍යයෙන් සංකීර්ණ magnesiothermic reduction ක්‍රියාවලිය භාවිතා කර සිලිකන් ඩයොක්සයිඩ් සිලිකන් නැනෝ ව්‍යුහයට පරිවර්තනය කරන ලදී. බලශක්තිය ගබඩා කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සදහා සිලිකන් නැනෝ අංශු කාබන් වලින් ආලේප කිරීමද මෙහිදී සිදු කර තිබේ. එක් විදුරු බෝතලයකින් කාසි ස්වරුපයේ බැටරි 100ක් හෝ කුඩා බැටරි 5ක් සදහා අවශ්‍ය ඇනෝඩ සකස් කළ හැකි වේ. පවත්නා බැටරි මෙන් සිව් ගුණයක ධාරිතාවක නව බැටරි වලට තිබේ.
 
මේ අනුව අනාගතයේදී ඔබගේ ජංගම දුරකථනය , විදුලි මෝටර් රථය , සෙල්ලම් බඩු යනාදිය ඉවතලන විදුරු බෝතල් වලින් නිපදවූ විදුලි කෝෂ මගින් පණගන්වෙනු ඇතැයි වාර්තාවේ තවදුරටත් සදහන්ව තිබේ.   

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර

https://youtu.be/BHKghUah_Nc?t=9

0 comments:

Post a Comment