July 26, 2017

දිවි පැටියාට කිරි දෙන සිංහධේනුව

   

බොහෝ කලාතුරකින් වූ සිදුවීමක් වන සිංහ ධේනුවක් විසින් දිවි පැටියෙකු කිරි පොවමින් හදා ගන්නා අයුරු මෑතකදී නිරීක්ෂණය කර තිබේ. ස්වභාවිකව එකිනෙකා හා සතුරු සත්ව වර්ගයන් දෙදෙනෙකුගේ මෙම අසාමාන්‍ය හැසිරීම ටැන්සානියාවේ Ngorongoro සංරක්ෂිත වනයේදී ජූලි 12 දින ඡායාරූප ගතකර ඇත.

බළල් වර්ගයේ විශාල සතුන්  ආරක්ෂා කරන ලෝක ව්‍යාප්ත සංවිධානයක් වූ Panthera හි සහයෝගය ලබමින් ටැන්සානියාවේ සංරක්ෂණ කාර්යයේ යෙදෙන KopeLion නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් කරපටියක් පැළද වීමෙන් නිරීක්ෂණය කරන මෙම සිංහ ධේනුව අවු 05ක් වයස වන අතර දිවි පැටියාගේ අනුමාන වයස සති තුනක් පමණ වේ. බළල් වර්ගයේ මෙම සත්ව විශේෂයන් දෙකම සාමාන්‍යයෙන් එකිනෙකාගේ පැටව් මරා දමනුයේ ඔවුන්ගේ ආහාර සදහා අනාගතයේදී ඇතිවිය හැකි තරගකාරීත්වය නැති කිරීමට සහ තම වර්ගයාගේ පැටවුන් වැඩිවියට පත්වෙන තෙක් ආරක්ෂා කිරීමටය.

ඇමරිකාවේ දිවි වර්ගයක් වූ Puma තම වර්ගයාගේ පැටවු පමණක් හදාවඩා ගන්නා බව හදුනාගෙන ඇතත් බළල් වර්ගයේ විශාල සතුන් අතර වර්ග දෙකක සතුන් හදාවඩා ගැනීම ඉතාමත් විරල බව Luke Hunter පවසයි.

Panther හි සභාපති සහ ප්‍රධාන සංරක්ෂක නිලධාරියා වන Hunter විශාල බළලුන් මෙලෙස වෙනත් පැටව් හදාවඩා ගැනීම තමන් මින් පෙර දැක නොමැති බවද මේ සිදුවීම සදහා ප්‍රධාන හේතුව සිංහධේනුව මසකට පෙර පැටව් ප්‍රසූත කර තිබීම බවද පවසයි. මේ නිසා කායික විද්‍යාත්මක වශයෙන් ඇයට පැටවකු රැකීම මූලික වී ඇති අතර ඒ සදහා දිවි පැටවා හොදින් ගැලපී තිබේ.

KopeLion සංවිධානයේ “මසායි සිංහ (Maasai Lion)” බාල දක්ෂ කණ්ඩායම විසින් සිංහ ධේනුව Nosikitok ලෙස නම් කර ඇති අතර ඇය ජූනි මස අවසානයේ දී දෙවන වරට පැටව් බිහි කළ බව නිරීක්ෂණය කර තිබේ. එහෙත් එම පැටව් දැන් ඇය හා නොමැති බැවින් සම වයසේ කුඩා දිවි පැටියා එම හිඩැස පිරවීමට සමත් වී ඇත. ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන නිසා දිවි පැටියාට කිරි දීමට ඇය පෙළඹී තිබිය හැකි නමුත් මෙම සිදුවීමට හේතුව ව්‍යාකූල බව  Hunter සදහන් කරයි.

ඉතා දියුණු සංකීර්ණ සමාජීය ඥාති සම්බන්ධතාවයන් සහිත සත්ව විශේෂයක්  වූ සිංහයින් පෙනුමෙන් හා ගර්ජනයෙන් තම වර්ගය වෙන් කර හොදින් හදුනා ගනියි.

Maasai ජාතීන් ඔවුන්ගේ පිරිමිකම (manhood) සනාථ කිරීම සදහා කළ සිංහයින් දඩයම් කිරීම දැන් නවතා ඇති නමුත් ඔවුන්ගේ පශු සම්පත් ආරක්ෂා කිරීම සදහා තවමත් සිංහයින් දඩයම් කරති. KopeLion රාජ්‍ය නොවන සංවිධානය Maasai වරුන්ගේ චරියාවන් බොහෝ සේ වෙනස් කිරීමට කටයුතු කර ඇති අතර, පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සදහා සිංහයින් දඩයම් කිරීම අවම කිරීම සදහා සිංහයන් වැනි සතුන් ගැවසෙන තැන් පිළිබද නිරීක්ෂණ කර Massai වරුන්ට තම පශු සම්පත් සිංහයන් දඩයම් නොකර ආරක්ෂා කර ගැනීමට උපකාර කරයි. මේ නිසා සිංහධේනුවට හා දිවි පැටියාට මිනිසුන්ගෙන් කිසිදු හානියක් නොමැති නමුත් සිංහධේනුවගේ කායික විද්‍යාත්මක      වෙනස් වීම හා සිංහ කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් නිසා දිවි පැටියාට අනතුරක් විය හැකි බව Hunter තවදුරටත් සදහන් කරයි.

අන්තර්ජාලයේ පිළිගත් ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment