August 5, 2014

අපි නොහිතන ආලෝක දූෂණය

ආලෝක දූෂණය (Light pollution) ලෙස හඳුන්වනු ලබන්නේ අධික ලෙස භාවිතා කරනු ලබන, වැරැදි දිශාවට එල්ල කරන ලද හා බාධා කරන සුලු පැහැදිලිව නොපෙනෙන කෘත්‍රිම ආලෝකයයි.මෙය ප්‍රකාශ දූෂණය (photo pollution) හෙවත් දීප්ත දූෂණය (luminous pollution) ලෙස ද හඳුන්වනු ලැබේ.

ආලෝක දූෂණයට හේතුවන මෙම කෘත්‍රිම ආලෝකය පරිසරයට නිකුත් වනු ලබන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙනි. බහුලව එළිමහන් ප්‍රදේශවල  සිදුවුව ද ගෘහස්‌ථව ද ආලෝක දූෂණයක්‌ ඇති වේ. මේ තත්ත්වය නිසා අදාළ පරිසරයේ දැකිය හැකි ස්‌වාභාවික ආලෝකයේ මට්‌ටම වෙනස්‌ වන අතර ඉන් පරිසරයේ තත්ත්වය වෙනස්‌ විය හැකි ය. 

ආලෝක දූෂණය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ නාගරික නේවාසික ප්‍රදේශවල ය. අධික ලෙස විදුලි බුබුළු දැල්වීම මෙන්ම වැඩි සැර විදුලි ආලෝක ප්‍රභව භාවිතය එම ප්‍රදේශවල සුලබ ය. ඇතැම් අවස්‌ථාවල දී උත්සව හා සැණකෙළිවල දී මෙවැනි තත්ත්ව ඇති වීමට ඉඩ තිබේ. ආලෝක දූෂණය වඩා බරපතළ වන්නේ දියුණු රටවල වුව ද, අද වන විට එය ලෝකයේ සෙසු නාගරික ප්‍රදේශවල ද දැකිය හැකි දෙයක්‌ වී ඇත. 
පරික්ෂණ වලට අනුව ආලෝක දූෂණයේ ප්‍රධාන අවස්‌ථා තුනක්‌ ඇති බව හදුනාගෙන ඇත.
(1)     ප්‍රදීප්තිය (glare)
(2)   ආලෝක අපචරණය (light trespass)
(3)    ආකාශ දිළියුම (skyglow) .

ප්‍රදීප්තිය යනු දැඩි දීප්තිමත් ආලෝකයයි. ආලෝක අපචරණය යනු අයකු ගේ ආලෝක ප්‍රභවයක්තවත් අයකු ගේ දේපොළකට ඇතුළු වීමයි. ආකාශ දිළිසුම යනු ආලෝකය අහසේ ඉහළට පැතිරීම නිසා ඇති වන තත්ත්වයයි.

ආලෝක දූෂණයෙහි බලපෑම් රාශීයකි.

අනාරක්ෂිත ආලෝකයෙන් විහිදුවන අධික දීප්තිය ප්‍රජා සෞඛ්‍ය ගැටළුවකි.විශේෂයෙන් අධික දීප්තිය ඇස තුලට ප්‍රකිරණය වීම නිසා පසු කාලීනව වෙනස්ව දැකීමේ හැකියාවඅහිමි වන අතර සමහර විට ඇස් තාවකාලීකව අන්ධවීම දැකිය හැක.
ආලෝක දූෂණයෙන් වැඩිම බලපෑමක් ඇති වන්නේ ස්වාභාවික පරිසරයට වේ. එහිදී නිෂාචර සත්ත්ව විශේෂයන් වැඩිම බලපෑමකට ලක්වනු ඇත.මේ සතුන්ගේ ගමන් මග සොයා ගැනීමට ඉන් බලපෑම් ඇති විය හැකි අතර ආහාර රටාවලට හා කායික විද්‍යාත්මක බලපෑම් ද ඇතිවිය හැකිය.ඇතැම් සතුන් ආලෝකය මග හරින අතර ඇතැම් සතුන් ආලෝකයට ආකර්ෂණය වෙති.විදුලි ආලෝකයට ආකඒශණය වන සතුන් කෘමීන් දඩයම් කිරීමට ආලෝකප්‍රභව අසල රැදී සිටින මකුළු දැල් බැදීම මීට හොදම නිදසුනකි.මේ නිසා ආහාර දාම වල වෙනස් වීම් ඇතිවිය හැක.එසේම මේ නිසා ශාක විශේෂ වලටද බලපෑම් ඇතිවනු ඇත.සමස්ත වශයෙන් පරිසර පද්ධතීන්ටම බලපෑමක් ඇති ව න අතර මෙසේ පරිසරයට දක්වන බලපැම පාරිසරික ආලෝක දූෂණය (Ecological Light Pollution) ලෙස හදුන්වනු ලැබේ.
ආලෝක දූෂණය නිසා අභ්‍යවකාශ නිරීක්ෂණ කටයුතු වලදී බාධා ඇතිවනු ඇත.මීට හේතුව වන්නේ අහස දෙසට පැතිරී යන ආලෝකය(ආකාශ දිලිසුම-skyglow) නිසා අඩු ආලෝකයක් විහිදුවන අභ්‍යවකාශ වස්තු දැක ගැනීම අපහසු විමය.
එසේම ගෘහස්ථව සිදුවන ආලෝක දූෂණය නිසා මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපැම් ඇතිවනු ඇත. විශේෂයෙන්ම මෙයට ගෘහස්ථව සිදුවන ආලෝක දූෂණය හේතු වනු ඇත.මෙමගින් නිතර හිසරදය ,නින්දට බලපෑම් ඇතිවිම මෙන්ම ආතතිය වැනි තත්වයන් ඇතිවිය හැකිය.එමගින් දේහයේ ස්වාභාවික ජිවන චක්‍රයට බලපෑමක් ඇතිවනු ඇත.
බලශක්ති නාස්තිය ආලෝක දූෂණයෙන් ඇතිවන තවත් බලපැමකි.ආලෝකය ලබා ගැනිමට විදුලිය භාවිතා කරනු ලබන අතර මේ නිසා බල ශක්තිය වැඩි වශයෙන් නිපදවිමට සිදු වේ.
මේ සියලු බලපෑම් හේතුවෙන් ලෝකයේ ඇතැම් රටවල ආලෝක දූෂණය පාලනය කිරීම සඳහා නීති රීති පනවා ඇති අතර ,අපටද ආලෝක දූෂණය අවම කිරීම සඳහා දායක විය හැකි ආකාර කිහිපයක්‌ පහත දැක්‌වේ. 
  • එළිමහන් ප්‍රදේශවල දී අධික ආලෝකයක්‌ නිකුත් කරන ආලෝක ප්‍රභව භාවිතය සීමා කිරීම.
  •   අපේ අවශ්‍යතාවට ප්‍රමාණවත් තීව්‍රතාවක්‌ ඇති ආලෝක ප්‍රභව පමණක්‌ යොදාගැනීම. 
  • ආලෝකය අවශ්‍ය ප්‍රදේශවලට පමණක්‌ යොමු වීමට සැලැස්‌වීම. 
  • එළිමහනේ හෝ ගෘහස්‌ථව භාවිත වන අනවශ්‍ය සියලු විදුලි ආලෝක ප්‍රභව නිවා දැමීම.
  • උත්සව අවස්‌ථාවල දී භාවිත වන විදුලි ආලෝක ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වීම.
  • ආලෝක දූෂණය හා එහි බලපෑම් පිළිබඳව අන් අය දැනුම්වත් කිරීම.     

උපුටා ගැනීම-www.globeatnight.org/light.pollution.php

0 comments:

Post a Comment