August 11, 2014

අපෙන් ගිලිහී යන අපට උරුම දේශීය ආහාර සංස්කෘතිය


කුසගින්නේ සිට මියදීම තරම් තවත් පාපයක් මේ මිහි පිට නැති වාට නම් සැක නැත. එහෙත් මේ මොහොත වන විටත් ලෝකයේ අති විශාල ජනකායක් කුසගින්නේ මිය යනවා ඇත. ලෝක ජනගහණයෙන් හරි අඩකටත් වඩා දුර්භීක්ෂයන් හේතුවෙන් අන්ත අසරණව සිටී. කෝටි 620ක් තරම් වූ ලෝක ජනගහණයෙන් මිලියන 800ක් පමණ මේ වන විට හාමතේ මියදෙමින් සිටී. වසරේ සෑම දිනකම අප්‍රිකානු, ආසියානු හා ලතින් ඇමරිකානුවන් 60000කට අධික ප්‍රමාණයක් කුසගින්න දරාගත නොහැකිව මිය යයි. මිනිසා විසින් පරිසරය වෙත එල්ල කරන අනිටු බලපෑම් හේතුවෙන් ලෝකය තුල උග්‍ර ආහාර හිඟයක් ඇති වෙමින් පවතී. ක්‍රි.ව. 2000න් මෙපිට මෙම තත්වය තවදුරටත් දෙගුණ, තෙගුණ වෙමින් පවතී. ලෝක ජනතාවගේ ප්‍රධාන ආහාර සම්ප්‍රදායට වග කියන සහල්, තිරිඟු, ඉරිගු හා සෝගම් වගාවන් උග්‍ර පාරිසරික ව්‍යසනයන් හේතුවෙන් දැඩි තර්ජනයකට ලක්ව පවතී. චීනය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, මියන්මාරය වන් ලෝක ආහාර නිෂ්පාදනයේ නියමුවන් මේ වන විටත් දැඩි නියං, ගංවතුර, සුළි කුනාටු වලට කොටුව බැට කමින් සිටී. අප්‍රිකානු මහද්වීපික ඇතැම් රටවල් දැඩි නියඟය හා නොනවතින යුධ ගැටුම් හේතුවෙන් උග්‍ර සාගතයකට මුහුණදෙමින් සිටී. මෙලෙස ආහාර හිඟයෙන් බැට කන අහිංසක ජනතාව බේරාගැනීමට ලෝක ආහාර සංවිධානය වැනි සංවිධාන ලොව ප්‍රබල රට වලින් ආධාර උපකාර ඉල්ලමින් සිටී. 

ලෝකය තුල එලෙස සිදුවෙද්දී අප රට තුලද මන්දපෝෂණ තත්වයන් හිස ඔසවමින් පවතින බවත් මෙයට අප රටේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා ගොදුරුව ඇති බවත් මෑත සමීක්ෂණ ප්‍රථිපල විදහා දක්වයි. දරුවන් වදන්නට සිටින මව්වරුන්ගෙන් 1/3ක් නීරක්තියෙන්ද, වසර 5ට අඩු සෑම දරුවන් 3 නෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයටද ගොදුරුව සිටී. මෙය නාගරිකව වෙසෙන මිළ මුදල් ඇත්තවුන් මෙන්ම ගම්බද හා වතු ආශ්‍රිත දිළිඳු ජනතාවටද එක ලෙස බලපා ඇත. 

එසේනම් හෙල අනාදිමත් කාලයක සිට පැවතගෙන ආ අපගේ උත්ම් වූ ආහාර සංස්කෘතියට කුමක් වීද? ලෝකය අතැඹුලක් වීමෙහි ප්‍රථීපලයක් ලෙස ඕනෑ එපා සෑම දෙයක්ම බදාගන්නට යෑමේ ඵලවිපාකයන් ඇස්පනා පිට අපට ඵලදෙන්නට පටන් අරගෙන හමාරය. බැලු බැලූ පැත්තේ සුපිරි ආහාර සැල්ය, පළතුරු කඩය. නිවසේ කෑම ටික පිලියෙල කරගන්නට මැලි කමක් දක්වන්නන්ට ක්ෂණික ආහාර ඇති පදමට ඇත. "Take Away" ආහාර කඩ ගම් දනව් සිසාරා ඇත. "Fast food" බහු ජාතික කූට වෙළදුන්ගේ ග්‍රහණයට හසු වී ඇති අපට ආවේනික වූ පෝෂණ සංස්කෘතිය දරුණු ත්‍රස්තවාදයේ ගොදුරක් වී හමාරය. අපේ දේශීය ගොවි කමේ පදනම බදු වූ කොටු, කොරටු, හේන්ද, ගෙවතු, බඩවැටි, ඕවිටි ද ස්වභාව දහමෙන් අපට දායාද වූ තෙත් බිම්, විල්ලු, කලපු, ගංගා හා ඇල දොල කිසිදාක අපව හාමතේ තබා නැත. මේවා මේ පිං බිමේ පිනට පහල වූ ඒවාය. එහෙත් අද...?

අපේ පැරන්නෝ අගනා ජල බැදි ශිෂ්ඨාචාරයක් අපට උරුම කර දුන්නෝය. දිය පහරවල් අවහිර නොකර පහල මිටියාවත් වල වැව් බැද ගොවිතැන් බත් කලෝය. මේ සියල්ල අපට උරුම අපේ කෘෂි ජෛව විවිධත්වයේත්, සංස්කෘතියේත් මුදුන් මූලයන්ය. මේ සෑම අංගයකින්ම අප බතින්, බුලතින් හා පළතුරින් පිරී ඉතිරී ගිය ජාතියක් බවට පත්කලේය. එහෙත් අද මදය වසින්, විසින් පෝෂණය කර නානාප්‍රකාර මාධ්‍ය කලාවන්ගෙන් ඔතා හැඩ ගැන්වූ, අහිංසක පාරිභෝගිකයාගේ ඔළුව හිරි වට්ටමින් ලබා දෙන ආහාරයන්ගේ අගය හා එහි විවිධත්වය සූක්ෂම ආකාරයෙන් වෙනස් කොට ඇති අතර ඒවායේ ගුණාත්මය තුට්ටුවකට මායිම් කල නොහැක. මෙසේ පිට ඔපයට මං මුලා වූ ශ්‍රී ලාංකික ජාතියම අද අඳුරේ ගිලී ඇත. පොලු මුගුරා අමෝරාගත් කිරි පිටි හා පාන් පිටි වෙළදුන්ට අනේක වාරයක් හිස නමමින් නොවටිනා මිලකට වස විස කමින් බොමින් මුහුදට දත නියවන ජාතියක් බවට අප පත්කර හමාරය. හාල්, පරිප්පු, පාන්පිටි, සීනි හා කිරිපිටි අත්‍යාවශ්‍ය ආහාර ලෙස සලකමින් විදේශයන්ට ගැත්තන් වී සිටින්නේ ඉන්නක් නිකන් ඇන්නත් පැලවෙන රත්තරං මහ පොලොවක් අප සතුව තිබියදීත්ය.

තවමත් අප බොහෝ ප්‍රමාද නැත. වහ වහා අපගේ පාරම්පරික ආහාර සංස්කෘතිය වෙත දෑස් විවිර කල යුතු කාලය පැමිණ ඇත. අප කල යුත්තේ වසර දහස් ගණනක සිට අපට උරුම අපගේ පාරම්පරික ඥානය වල් වැදීමට නොදී තවදුරටත් පරිණාමය කිරීමයි. 


අහරක අසිරිය කෘතිය හා 2014 ජූලි 24 පවත්වන ලද විදාතා දැනුවත් කිරීමේ
Food Additives & Cancer Causative Agent දේශනය ඇසුරිණි.

0 comments:

Post a Comment