August 29, 2014

ශාක ආහාර වල සැගවගත් මහෞෂධය

විවිධත්වයෙන් යුත් ‍නොපාහින ලද ධාන්‍ය එළවළු සහ පළතුරු  ආහාරයට එකතු කර ගැනීම තුලින් අත්‍යාවශ්‍ය පෝෂක මෙන්ම පෝෂක නොවන ජීව  ක්‍රියාකාරී සංයෝග ශරීරයට ලබා ගත හැක. මෙම විවිධ සංයෝග අතර විටමින වර්ග ඛණිජ ලවන ජීව ක්‍රියාකාරී ශාක රසායනික ද්‍රව්‍ය සහ තන්තු අ‍ඩංගු වේ. බොහොමයක් ජාත්‍යන්තර ආහාර තෝරා ගැනීමේ උපදේශක මාලාවන්ට අනුව දිනකට කිලෝ කැලරි 2000 ශක්ති අවශ්‍යතාවයෙන් යුත් මිනිසෙක් එළවළු සහ පළතුරු ප්‍රමාණයෙන් අවම වශයෙන් නමයක් ආහාරයට ගත යුතුය. එම ප්‍රමාණයෙන් එළවළු හා කෝප්ප 4.5 කට සමානය. තව දුරටත් මෙම ප්‍රමාණය පළතුරු කෝප්ප 2ක් හා එළවළු කෝප්ප 2.5 වශයෙන් දැක්විය හැකිය.
ශාකආහාර වල අඩංගු වන ‍පෝෂක නොවන රසායන සංයෝග මිනිසාට වැලදෙන නිදන්ගත රෝග සීඝ්‍රතාවය අවම කර ගැනීම සදහා ඉවහල් වේ. එළවළු පළතුරු හා ධාන්‍ය වල අඩංගු වන ජීව ක්‍රියාකාරි සංයෝග වර්ග 5000 වැඩි ප්‍රමාණයක් වෙන් කර ගෙන හදුනාගෙන ඇතිමුත් තවමත් ඒවායේ වැඩි ප්‍රමාණයක ජීව ක්‍රියාකාරීත්වය පිළබදව සම්පූර්ණ වශයෙන් අධ්‍යයනය කර නොමැත.

නමුත් දැනට පවතින සාක්ෂි වලට අනුව හෙලි වන ප්‍රධාන කරුණක් වන්නේ මෙම ශාක ජීව ක්‍රියාකාරී සංයෝග ප්‍රමාණයන් මෙන්ම අන්තර්ගතයද එකිනෙක‍ට පුළුල් වශයෙන් වෙනස්වන බවය . එබැවින් ශාක ආහාර පරිභෝජනයේදී විවිධත්වයකින් යුතු දෑ  ආහාරයට එකතු කර ගැනීම වැදගත් වේ. නිදසුනක් ලෙස විවිධ ශාක කුල වලට අයත් එළවළු පරිභෝජනයට තෝරා ගැනීමෙන් විවිධ ක්‍රියාකාරි සංයෝග අපට ලබා ගත හැකි වන අතර ඒවායෙන් ඉටු කරන ජීව ක්‍රියාකාරීත්වයන් වල ප්‍රයෝජනය ලෙඩ රෝග පාලනයේදී වැදගත් කාර්යක් ඉටු කරයි.

ආහාර වල අඩංගු ජීව ක්‍රියාකාරී සංයෝග ප්‍රධාන වශයෙන් කාණ්ඩ කීහිපයකට වර්ග කල හැකිය. ඉතාමත් පුළුල් කාණ්ඩය වන ෆීනෝලික සංයෝගය ඇල්කොලයිඩ ඕර්ගනෝසල්ෆර් සංයෝගය වන ග්ලුකෝසි‍නොලේට හා ඇලිසීන් පොලි ඇසිටලයින් සහ කැරොටිනයිඩ  සංයෝග  හදුන්වාදිය හැක.
මෙම ජීව ක්‍රියාකාරී සංයෝග සියල්ලම පාහේ අප එදිනෙදා ආහාරයට ගන්නා එළවළු පළතුරු හා නොපාහින ලද ධාන්‍ය වල විවිධ ප්‍රමාණ වලින් අන්තර්ගත වේ. එසේම මෙම සංයෝග වැඩි වශයෙන් අඩංගු වන විශේෂිත ආහාර  කාණ්ඩ  වෙන් කර හදුනා ගත හැක. නිදසුනක් ලෙස පොලි ඇසිටලයින සංයෝග කැරට් ගොටුකොළ පාස්ලි හා ‍සෙලරි වැනි ශාක  ආහාර වල ප්‍රධාන වශයෙන් අඩංගු වේ. මෙම සංයෝගයන් අනෙකුත් විවිධ ජීව ක්‍රියාකාරීත්වයන් අතරේ පිලිකා කාරක  සෛල විනාශ කිරීමේ හා බැක්ටීරියා නාශක හැකියාවෙන් යුක්ත බැවි පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

 නිදන්ගත රෝග ඇතිවීම කෙරෙහි අධි ක්‍රියාකාරී සක්‍රිය අංශු වල දායකත්වය ඉතාමත් පැහැදිලිය. ශරීරය තුල සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවලියේදී ස්වභාවයෙන් නිදපවන සක්‍රිය අංශු වලට අමතරව පරිසරයෙන් හා ආහාර වලින්ද ශරීරය තුලට මෙම සක්‍රිය අංශු ඇතුලත් වේ. සක්‍රිය අංශු මගින්  ඇති කෙරෙන ඔක්සිකාරක ආතතිය නිදන්ගත රෝග ඇති වීම වේගවත් කරයි. ප්‍රති ඔක්සිකාරක ගුණය සහිත විවිධ ශාක රසායන සංයෝග මෙම සක්‍රීය අංශු අඩපන කිරීමට ඉවහල් වේ. එපමණක් නොව මෙම ක්‍රියාකාරී සංයෝග ශරීරය තුල නිසගයෙන් පවත්වන ප්‍රති ඔක්සිකාරක ආරක්ෂණ පද්ධතිය ක්ෂය වීමද වලක්වයි. මෙවැනි යාන්ත්‍රන තුලින්  ජීව ක්‍රියාකාරී ශාක රසායන ද්‍රව්‍යයන් නිදන්ගත රෝග ඇතිවීම හා වයස් ගත වීමේ සිඝ්‍රතාවය පාලනය කරයි.
ෆීනෝලික සංයෝග  අනෙකුත් ජීව ක්‍රියාකාරී සංයෝග අතරින් ශාක ආහාර වල බහුලව ප්‍රචලිත වී ඇති අතර වැඩි වශයෙන්ම අධ්‍යයනයට ලක් වී ඇති ෆීනෝලික අම්ල හා ෆ්ලේවනොයිඩ සංයෝග මෙම කාණ්ඩයට අයත් වන ශාක ආහාර වල බහුලව අඩංගු සංයෝගය වේ. පීනෝලික සංයෝග  කාර්යක්ෂම ප්‍රති ඔක්සිකාරකයන් වන අතර විවිධ අධ්‍යයනයන් මගින් මෙම සංයෝග අප ශරීරය තුල ප්‍රති ඔක්සිකාරක හැකියාව ඇති කිරීමට වැදගත් වන බව සොයාගෙන ඇත. මෙම නොපාහින ලද ධාන්‍ය, එළවඵ හා පළතුරු තේ කෝෆී වැනි පාන වර්ග ෆීනෝලික සංයෝග ලබා ගත හැකි ආහාර මුලාශ්‍ර වේ.

වෙනස් වු රසයක් ඇති බැවින් වැඩි වශයෙන් කෑමට එක් කර ගැනීමට වැඩි දෙනෙක් අකමැති වන ක්රිසිෆිරිසියේ  ශාක කුලයට අයත්වන ගෝවා , රාබු, නෝකෝල්, කෝලිෆ්ලවර් ද  බ්‍රොකෝලි හා කේල් වැනි එළවළු  ග්ලුකෝසිනොලේට් නැමැති ජීව ක්‍රියා සංයෝගයෙන් පොහොසත් වේ. විවිධ පර්යේෂණ වලින් පෙන්වා දී ඇති අයුරින් මෙම එළවඵ පරිභෝජනය පෙනහඵ ආමාශගත මහාන්ත්‍රයේ හා ගුද මාර්යේ ඇතිවන පිලිකා නිවාරණය කර ගැනීමට වැදගත් වේ.

මෙහිදි අපගේ අවධානය යොමු විය තවත් වැදගත් කරුණක් වනුයේ ශාක සංයෝග සිරුර තුලදී ආකලනය සහ සංශක්ති  ක්‍රියාවලිය ඇති කිරීමයි. එමගින් සංයෝගයන් තනි වශයෙන් ඇති කෙරෙන රෝග වැලැක්වීමේ බලපෑමට වැඩි කාර්යයක් ඉටු කරයි. එබැවින් මෙම ශාක සංයෝග  අඩංගු ආහාර මගින් ඒවා ශරීරයට ලබා ගැනීමට අප උනන්දුවිය යුතුය.
එබැවින් ජීව ක්‍රියාකාරී සංයෝග වියෝජනය කර ආහාර අතිරේකයක් වශයෙන් කරල් හෝ පෙති වශයෙන් ලබා ගැනීම එම සංයෝග වල නිසි ප්‍රයෝජනය ලබා ගැනීමේ  කාර්යක්ෂම ආකාරය නොවන බැව් පර්යේෂණ පෙන්වා දෙයි . ස්වභාවික ආහාර ලෙස පරිභෝජනය කිරීම මගින් පෝෂක පදාර්ත මෙන්ම පෝෂක නොවන ජීව ක්‍රියාකාරී සංයෝග ශාකමය ආහාර මගින් ලබා ගැනීමට අප උත්සුක විය යුතුය. එමගින් නිදන්ගත රෝග මෙන්ම වයස්ගත වීමත් සමග ඇතිවන බෙලහීනතාවය පාලනය කර ගැනීම දිගු සුවබවර දිවියකට මග පාදයි.

සී.එම්.එස්.එම්. චන්ද්‍රසේකර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - ගනේවත්ත 

0 comments:

Post a Comment