May 30, 2019

පර්යේෂණාගාර මුසිකයන් සැමරීමට ස්මාරකයක්

පොදුවේ ගත් කළ විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුලව භාවිතා වන සත්වයා ලෙස මීයන් හෝ මුසිකයන් හඳුන්වාදිය හැකිය. විද්‍යාවේ නාමයෙන් ඔවුන් බොහෝ රටවලදී තම ජීවිතය පරිත්‍යාග කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මිනිස් සංහතියේ ඉදිරිගමන සඳහා අවසන් පූජාව ලෙස නිර්මාණය කර ඇතැයි යයි සිතෙන තරමට ඔවුන් විද්‍යාව සමග එක්ව රෝග පිලිබඳ අධ්‍යනයේ සිට ප්‍රතිකාර සංවර්ධනය කිරීම දක්වා වූ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. එහෙයින් මෙම නිර්භීත කෘන්තකය සැමරීමට අතිශය ජනප්‍රිය ස්මාරකයක් මධ්‍යම රුසියාවේ ඉදිකර ඇත.

මෙම රසායනාගාර මූසික ස්මාරකය රුසියාවේ Akademgorodok හි ජීව විද්‍යා හා ජාන විද්‍යාව පිළිබඳ ආයතනයේ පිහිටුවා තිබේ. Novosibirsk (නොවොසිබස්ක්) රාජ්‍ය විශ්වවිද්‍යාලය සමග සහයෝගීව ක්‍රියාත්මක වන මෙම පර්යේෂණ ආයතනය DNA වල ස්වභාවය වඩාත් හොඳින් වටහා ගැනීම සඳහා පර්යේෂණවල නියැලේ. නිරිත දිග සයිබීරියාවේ පිහිටි Novosibirsk හිදී 2013 දී එළිදැක්වූ ප්‍රතිමාව, ඇස්කණ්නාඩි  යුගලයක් පැළඳ පර්යේෂණාගාර ඇදුමකින් සැරසි සිටින වයෝවෘද්ධ කාන්තාවක් වැනි මානවරූපී මුසිකයෙක් ලෙස නිර්මාණය කළ සිත් ඇදගන්නා පිළිමයකි. එම මානවරූපී මුසිකයේ දෑතේ ඇති ගෙතුම් මෝස්තරයෙන් ද්විත්ව දාම DNA හි ද්විත්ව හෙලික්සිය (කුන්ඩලය) නිරුපනය වේ.පවුම් 50,000 ක්  හෙවත් රුබල් මිලියන 1.7 වැයවූ ස්මාරකය සහ උද්‍යානය නිර්මාණය කිරීම සඳහා ආයතනය පරිත්‍යාග මගින් අරමුදල් එකතු කර ඇතැයි වාර්තා වේ.

වසර 15,000 කට ආසන්න කාලයක් පුරා මිනිසුන් සමඟ මීයන් ජීවත් වී ඇති අතර සෑමවිටම පාහේ ඔවුන් මිනිස් සිරුරේ සරල හා වේගයෙන් වර්ධනය වන සමාකාරයක් (analogue) ලෙස භාවිතා කර ඇත. පිළිකා රෝගවල සිට අභ්‍යවකාශ ගවේෂණය දක්වා වූ බොහෝ අධ්‍යන සඳහා චිරාත් කාලයක සිට මිනිසාට සමාකාරය ලෙස මුසිකයන් බොහෝ සේ ප්‍රයෝජනවත් වී තිබේ. තවද මෙම කුඩා ජීවීන් ලොව වටා ජෛව වෛද්‍ය පර්යේෂකයන් සඳහා භාවිතාවන සත්වයින්ගෙන් එක් අයෙකු වේ. මුසිකයන්ගේ මෙම දායකත්වයට හා මිනිස් සම්බන්ධතාවයට ගෞරවයක් ලෙස මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබීම ලොව වටා මිනිසුන්ගේ සතුටට හේතු වී තිබේ.
"ප්‍රතිමාව මගින් විද්‍යාගාර මූසිකයකු හා විද්‍යාඥයකුගේ රූප දෙකම එකට සම්බන්ධ වන අතර, මුසිකයා සහ වීද්‍යාඥයා යන දෙදෙනාම එක් පොදු හේතුවක් සඳහාම සේවය කරන බව එයින් හැඟවේ.” යයි ප්‍රතිමාව නිර්මාණය කළ ප්‍රතිමා ශිල්පී Andrei Kharkevich ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රවෘත්තිය 2013 පළවුවක් වුවද එහි ඇති කළගුණ සැලකීමේ ගුණය ජාති,ආගම්,වර්ග,වර්ණ මෙන්ම මනුෂ්‍යන්, සත්වයින්, පරිසරය,කාලය වැනි සියලුදේටම වැදගත් නොවේද?

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර
https://youtu.be/c47IR3XSPRE?t=39

0 comments:

Post a Comment