May 17, 2019

ඝෝෂාවකින් අවශ්‍ය කටහඬ ශ්‍රවණය කිරීම.


සමහර අවස්ථාවලදී ඝෝෂාකාරී වාතාවරණයක් තුළ මිනිසුන් පවසන දේ දැනගැනීමට අපහසුය. ඔබේ මනස කියවීමට උපකාරී වන උපකරණයක් මගින් ඔබට ඇසීමට අවශ්‍ය කටහඬ හඳුනාගෙන එහි ශබ්දය වැඩිකර ඔබට ඇසීමට සැලැස්වීම මෙම ගැටළුවට විසඳුමක් වේ. එක් හඬකින් තවත් හඬක් වෙන් කර හඳුනාගැනීමේ මොළයේ ස්වභාවික කුසලතා අනුකරණය කර එක් හඬක් අනාවරණය කිරීමට හා ඉන්පසුව එහි ශබ්දය වැඩි කිරීමට හැකි පර්යේෂණාත්මක  තාක්ෂණයක් පිලිබඳ විස්තර කොලොම්බියා ඉන්ජිනේරුවන් විසින් නිවේදනය කර තිබේ. කෘත්‍රිම බුද්ධිය (AL) මගින් බල ගැන්වුණු මොළය මගින් පාලනය වන නව ශ්‍රවණ ආධාරකය, ස්වයංක්‍රීය පෙරහනයක් ලෙස ක්‍රියාකරමින් අදාළ පුද්ගලයාගේ මොළයේ තරංග අධීක්ෂණය කර ඒඅනුව අවධානය යොමු කළ යුතු හඬ හි ශබ්දය වැඩි කරයි.

තවමත් සංවර්ධනය වන මුල් අවධියේ පසුවන මෙම තාක්ෂණය වඩා හොඳ ශ්‍රවණ ආධාරකයක් සඳහා වැදගත් පියවරකි. අත්හදා බැලීමේ උපකරණයට එකම ශබ්දයකින් නිකුත්වෙන හඬවල් දෙකක් හෝ තුනක් තත්කාලීනව වෙන්කිරිමේ හැකියාව තිබේ. එනම් නව උපකරණයට මොළයේ තරංග ලබාගෙන යමෙකුට සවන්දීමට අවශ්‍ය හඬ හඳුනාගැනීමට හා එම හඬ හි ශබ්දය වැඩි කිරීමට හැකිය.  

නිව් යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ Nima Mesgarani (නීමා මෙස්ගරානි) විසින් නිර්මාණය කරන ලද නව උපාංගය, සාදයකදී, භෝජනාගාරයකදී,රැස්වීමකදී,වෙළඳපොළකදී වැනි අවස්ථාවන්හි මතුවන සංවාදයේ යෙදීමේ අපහසුතාවය වැලැක්වීමට උපකාරී වේ. එනම් සමුහයකගේ ඝෝෂාවකදී වුව අවශ්‍ය හඬට සවන්දිය හැකිවේ.

ගූගල් සහ ඇමේසන් වැනි විශාල සමාගම් කිහිපයක්ම Alexa වැනි හඬ සහායකයින් වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි ආකාරයේ කෘත්‍රිම බුද්ධිය (AI) පාදක කර ගත් ක්‍රම නිර්මාණය කර ඇත. එහෙත් එම ක්‍රමවේදය මගින් හඬ වෙන්කිරීම සිදු කරනුයේ මිනිසුන් කථාකර අවසාන වූ පසුවය. නමුත් නව උපරණය තත්කාලීනව හඬ වෙන් කිරීමටද සමත්ය.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තිදෙනෙකුගේ මොළ අධීක්ෂණය කිරීම මගින්, ඔවුන් සවන්දීමට අවශ්‍ය  හඬ හඳුනාගෙන එහි ශබ්දය වැඩි කිරීමට ශ්‍රවණ උපාංගයට හැකි බව සනාථ කර ගෙන තිබේ. තවද ඔවුනට වෙනත් හඬක් වෙත අවධානය යොමු කිරීමට අවශ්‍ය වූ විට, උපකරණයට එය හඳුනාගෙන ඒ අනුව ප්‍රතිචාර දැක්විය හැකි බවද පැහැදිලි වි ඇත.

මෙම තාක්ෂණය උපයෝගී කරගෙන වෙළඳපොළට ප්‍රායෝගික ශ්‍රවණ ආධාරකයක් නිර්මාණය කිරීමට තවකාලයක් ගත විය හැකිය. එකම ශබ්දයකින් නිකුත්වෙන හඬවල් දෙකක් හෝ තුනක් තත්කාලීනව වෙන්කිරිමට නව උපකරණයට ඇති හැකියාව බොහෝ ශබ්ද හෝ හඬ එකිනෙකින් වෙන්කර ගැනීමේ හැකියාව දක්වා වර්ධනය විය යුතුය. ඇත්ත වශයෙන්ම, මිනිසුන් තමන්ගේ හිසෙහි ඉලෙක්ට්‍රෝඩ පැළඳීමට අකමැතිය. එහෙත් මොළයේ තරංග හඳුනාගැනීමට සමත් ශිර්ෂචර්ම (scalp) ඉලෙක්ට්‍රෝඩ හෝ දැනට බහුලව භාවිතාවන earphones (කන් නලා) තුල සවිකිරීමට හැකි ඉලෙක්ට්‍රෝඩ පවා හෙට දින නිපදවනු ඇතැයි Mesgarani (මෙස්ගරානි) පවසයි.  

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment