May 30, 2019

වලාකුළු පරිගණකකරණය....................

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වලාකුළු පරිගණකකරණය අපගේ පරිගණක හා ජංගම දුරකථන භාවිතයට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවයි.

වලාකුළු පරිගණකකරණ සංකල්පය යනු අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑම පරිගණක උපාංගයක් පරිගණක ජාලයකදී භාවිතා කල හැකි වීමයි.

වලාකුළු පරිගණක ක්‍රමයේ වාසිය වන්නේ නඩත්තු කිරීමේ අපහසුව හා වියදම අවම කිරීම, කාර්යක්ෂමතාවය, වේගවත් කිරීම හා සම්පත් වැඩි දියුණු කර ගනිමින් ඔබගේම පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ප්‍රගමනය කිරීම හා පරිමාණය කිරීමයි. 

එමෙන්ම මෙහිදී ඔබගේ පරිගණකයේ සැකසුම් වේගය, මතක ධාරිතාවය, මෘදුකාංග යෙදවුම් හා නඩත්තු අවශ්‍යතාවයන් අවම වීමද විශේෂත්වයකි. තවද මෙමගින් ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් ඕනෑම ප්‍රමාණයේ, ඕනෑම මාදිලියේ ගොනුවක් වෙත පිවිසීම, ගබඩා කිරීම, ඕනෑම පරිගණක ක්‍රීඩාවක යෙදීම, ඕනෑම පරිගණක පැකේජයක් භාවිතා කිරීම, වැඩිදියුණු කිරීම, වීඩියෝ නැරඹීම, වදන් සංස්කරණය, විද්‍යාත්මක ගණනයන් සිදු කිරීම, වැනි ඔබට අවශ්‍ය ක්‍රියාවන් සිදු කල හැකිය.

මෙම වලාකුළු පරිගණක ක්‍රමවේදය මෙසේ සරල උදාහරණයක් මගින් විග්‍රහ කල හැකිය. ඒ සදහා අප ඔබගේ ගෘහස්ථ විදුලි අවශ්‍යතාවය උදාහරණයකට ගනිමු. ඒ වෙනුවෙන් ඔබගේම විදුලි ජනන ක්‍රමවේදයක් ඇත්නම් ඒ සදහා වැය වන ප්‍රාග්ධනය, නඩත්තු වියදම, ගත වන කාලය, දැරිය යුතු අවදානම ආදී සාධක ගණනාවකින් යුක්ත වේ. මෙය වලාකුළු පරිගණකයකින් සිදු කෙරෙන කාර්යය ඔබගේම පරිගණකයකින් සිදු කිරීමට යාම වැන්නකි.

එසේම,  වළාකුළු පරිගණක භාවිතය, කිසියම් සංවිධානයක් සමාගමක් (හෝ රඡය) වැනි ආයතනයන් ලබා දෙන විදුලි සැපයුම ලබා ගැනීමට සමකල හැකිය.ඔබට ඇත්තේ ඔවුන්ගේ විදුලි ඡාලයට සම්බන්ධ වීම පමණි.ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල ගෙවීම පමණක් සෑහේ. අමතර වියදමක් අවදානමක් කාලය වැය වීමක් සිදුනොවේ.

මයික්‍රොසොෆ්ට් IBM ගූගල් වැනි ප්‍රධාන පෙලේ පරිගණක සමාගම් මෙම වලාකුළු පරිගණක ක්‍රමයේ සංවර්ධනයට හා පර්යේෂණයන්ට මහත් වු ආයෝඡනයන් සිදු කරමින් පවති.

  
මූලාශ්‍රය-Computer Org
K J A V පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

0 comments:

Post a Comment