May 13, 2019

ප්‍රබල පිළිකා රෝග හයකට "ට්‍රෝජන් අශ්වයා" නව ප්‍රතිකාරය

විවිධ වර්ගයේ උග්‍ර පිළිකා සඳහා ප්‍රතිකාර අතරට එක්වූ නවතම පුළුල් හා ව්‍යාප්ත ප්‍රතිකාර ක්‍රමයක් ලෙස විෂ ප්‍රතිදේහ (toxic antibody) ක්‍රමය සැලකේ. පිළිකා සෛල විනිවිද යාමට හා ඒවා තුලට පහර දීමට හැකියාව ඇති  නව පිළිකා ඖෂධයක් ලෙස මෙම ප්‍රතිකාරයේ පළමු අදියර I / II ගෝලීය සායනික පරීක්ෂාව පර්යේෂකයන් විසින් සම්පුර්ණ කර ඇත. ප්‍රතිකාරය"ට්‍රෝජන් අශ්වයා"යන අනවර්ථ නාමයෙන් හඳුන්වාදෙන ලද්දේ විවිධ ඖෂධ වර්ග සදහා සම්පුර්ණයෙන් ප්‍රතිරෝධීතා දක්වන සහ සුළු වශයෙන් පමණක් යහපත් ප්‍රතිචාර දක්වන වඩාත් දරුණු පිළිකා වලට එය භාවිතා කිරීම නිසාය.

ලන්ඩනයේ පිළිකා පර්යේෂණ ආයතනය සහ රාජකීය Marsden (මාර්ස්ඩන්) NHS පදනම මගින් රෝගීන් 147 සායනික පරීක්ෂණ සදහා නව ප්‍රතිකාරය භාවිතා කර තිබේ. එමගින් රෝගීන් ලබන ප්‍රතිලාභ සහ මුහුණදෙන අවදානම හා අතුරු ආබාධ පිළිබඳ විශ්ලේෂණයක් කර තිබේ.

Lancet Oncology (ලාන්සට් ඔන්කොලොජි/ Lancet ඖෂධවේදය) සඟරාවේ නව සොයාගැනීම වාර්තා කර තිබේ. සොයා ගැනීම් අනුව මුත්‍රාශ පිළිකා (bladder cancer) රෝගීන්ගෙන් සියයට 27 ක, ගැබ්ගෙල පිළිකා (cervical cancer)  රෝගීන්ගෙන් සියයට 26.5 ක, ඩිම්බකෝෂ පිළිකා (ovarian cancer) රෝගීන්ගෙන් සියයට 14 ක, අන්නස්‍රෝතීය පිළිකා (esophageal cancer) රෝගීන්ගෙන් සියයට 13 ක, පෙනහළු සෛල පිළිකා (non-small cell lung cancer) රෝගීන්ගෙන් සියයට 13 ක සහ එන්ඩෝමෙට්රියල් පිළිකා (endometrial cancer රෝගීන්ගෙන් සියයට 7 ක ගේ පිළිකා රෝගී තත්වය හැකිලීම හෝ වර්ධනය නැවතීම සිදුවී තිබේ. අවාසනාවකට මෙන්, පුරස්ථි පිළිකා සහිත පිරිමි පිළිකා රෝගීන්ගේ තත්වය මෙම ප්‍රතිකාරයෙන් කිසිදු වෙනසකට භාජනය වී නැතැයිද  වාර්තා වේ.

“Tisotumab vedotin” (ටිසොටුමැබ් වෙඩෝටින්) හෝ කෙටියෙන් TV ලෙස හැඳින්වෙන මෙම ප්‍රතිකාරය monoclonal (මොනොලෝනික) ප්‍රතිදේහවලින් සහ මාරක සෛල හානියක් සිදු කරන cytotoxic සංඝටකයකින් සෑදී ඇත. “ජීවිතය ආරක්ෂා කර ගැනීමේ හැකියාව ඉතා විරල වූ පිළිකා වර්ග ඇතුළුව විවිධ වර්ගයේ පිළිකා රාශියකට  ප්‍රතිකාරයක් ලෙස මෙය භාවිතා කළ හැකි බව අපගේ මුලික අධ්‍යයන වලදී පැහැදිලි විය.” යැයි ප්‍රධාන පර්යේෂක මහාචාර්ය Johann de Bono (ජොහාන් ඩි බොනෝ) ප්‍රකාශ කළේය.
"TV ප්‍රතිකාරය මගින් ඇති වූ අතුරු ආබාධ පහසුවෙන් පාලනය කළ හැකි අතර අපගේ පරීක්ෂාවේ දී රෝගීන්ගේ හොඳ ප්‍රතිචාර කිහිපයක් දක්වන ලදි. මෙම රෝගීන් සියල්ලෝම වෙනත් ඖෂධ සමඟ බෙහෙවින් පූර්ව පරීක්ෂාවට ලක් කරන ලද කල් ගතවූ මෙන්ම විකල්ප ප්‍රතිකාර නොතිබූ පිළිකා රෝගීන්." බව ඔහු සදහන් කරයි.

මෙය බොහෝ දෙනෙක් බලා සිටි නව්‍ය ප්‍රවේශයකි. පසුගිය දශක කිහිපය තුළ පිළිකා ප්‍රතිකාරවල සාමාන්‍යයෙන් අපේක්ෂා කළ නොහැකි තරම්  ප්‍රගතියක් පෙන්නුම් කළද ප්‍රතිකාර කිරීමට අපහසු පිළිකා වර්ග කිහිපයක්ම තවමත් පවතී. ගැබ්ගෙල, මුත්‍රාශ, ඩිම්බකෝෂ, එන්ඩොමෙට්රියම්, අන්නස්‍රෝත (oesophagus) සහ පෙනහළු පිළිකා එවැනි පිළිකා කිහිපයකි. නව ප්‍රතිකාර ක්‍රමය මගින් මුත්‍රාශ පිළිකා ඇති රෝගින් වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිචාරයක් දැක්වූ අතර එය සියයට 27 ක් පමණ වී ඇත.

2018 දී මිනිසුන් මිලියන 9.6 ක්  පිළිකා රෝගවලින් මරණයට පත්විය. ලොව පුරා සිදුවන මරණ වලට හේතු වූ ප්‍රධාන කරුණු අතර දෙවන ස්ථානය පිළිකා රෝගය ලෙස සැලකෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරන පරිදි මෙම පිළිකා රෝගීන්ගෙන් සියයට 50 ක පමණ පිළිකා රෝගී තත්ත්ව වළක්වාගත හැකි බවත් වාර්තාවේ සදහන් කර තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර  
  https://youtu.be/S0BwKO53m6c

0 comments:

Post a Comment