November 27, 2017

Biotechnology (ජෛව තාක්ෂණය)

සෛල හා සෛලීය ද්‍රව්‍ය සමග ක්‍රියා කිරීම ජෛව තාක්ෂණය ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. මෙහිදී ජීවීන් වෙනස් නො කර ඍජුවම භාවිතය හෝ ජාන තාක්ෂණයෙන් ජීවීන්ගේ අණුක සංයුතිය වෙනස් කර භාවිත කිරීමක් ප්‍රධාන වශයෙන් සිදු වේ.


අනාදිමත් කාලයක සිට ජෛව තාක්ෂණය භාවිත කරමින් මිනිසා නොයෙක් ප්‍රයෝජන ලබා ගෙන ඇත. ඒ අතර, කිරි මුදවීම, රා, බීර වැනි කර්මාන්ත උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මේ වන විට ජෛව තාක්ෂණය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ භාවිතයට ගනි.

එනම් ශාක සම්බන්ධව හරිත ජෛව තාක්ෂණය (Green Biotechnology) ද, සාගරය හා සම්බන්ධව නීල ජෛව තාක්ෂණය (Blue Biotechnology) ද, කර්මාන්ත සම්බන්ධව ස්වේත ජෛව තාක්ෂණය (White Biotechnology) ද, වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළව රතු ජෛව තාක්ෂණය (Red Biotechnology) ද  ලෙස ජෛව තාක්ෂණය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පුළුල් පරාසයක භාවිතාවේ ඇත.

හරිත ජෛව තාක්ෂණය
හරිත ජෛව තාක්ෂණය ශාක හා සම්බන්ධව භාවිතා වන අතර, මෙහි සුලභ යෙදවුමක් ලෙස පටක රෝපණය (Tissue Culture) පෙන්වා දිය හැකිය. මීට අමතරව, අධි ලවණ සාණ්ද්‍රනවලට ඔරොත්තු දෙන වී ප්‍රභේද තැනීම ඇතුළු නව ශාක දර්ශ ඇති කිරීම, ශාක රෝග හා පළිබෝධ පාලනයට ක්ෂුද්‍රජීවීන් (Microbial Pesticide) යොදා ගැනීම වැනි  උදාහරණ පෙන්වා දිය හැකිය.


නීල ජෛව තාක්ෂණය
සාගර හා ජලජ ජීවීන් ආශ්‍රිතව ජෛව තාක්ෂණය යොදා ගැනීමයි.
ජලජ ජීවීන් භාවිතයෙන් ආහාර නිෂ්පාදනය, ජෛව ඉන්ධන නිෂ්පාදනය, අහිතකර ජලජ ජීවීන්ගේ වර්ධනය පාලනය කිරීම, පස හා භූගත ජලයේ ඇති Cr, Ni, Cu, Pb වැනි බැර ලෝහ අවශෝෂණය කරමින් පිරිසිදු කිරීම, විවිධ ඖෂධ නිෂ්පාදනය සඳහා ජලජ ජීවීන් භාවිතය පෙන්වා දිය හැකිය. 
උදා - ලෙස
·        Spirulina හරිත ඇල්ගී හා  Chlorella  වැනි  සයනොබැක්ටීරියා භාවිතයෙන් ආහාර නිෂ්පාදනය
·       Dunaliella වැනි හරිත ඇල්ගී භාවිතයෙන් පෝෂණීය අතිරේක ආහාර නිෂ්පාදනය, ß කැරොටීන් වැනි වර්ණක හා ග්ලිසරෝල් නිෂ්පාදනය
·        D. tertiolecta වැනි විශේෂ පරිසර පද්ධතිවල දූෂණය පෙන්වා දෙන දර්ශක ලෙස භාවිතය.
·        ඇතැම් Dunaliella විශේෂ අපජලය පිරිසිදු කිරීම
·       Chlamydomonas reinhardtii  වැනි හරිත ඇල්ගී හයිඩ්‍රජන් නිෂ්පාදයට යොදා ගැනීම.
·    Cephalosporium acremonium වැනි සාගරවාසී දිලීර කාණ්ඩ මගින් ප්‍රතිජීවක නිෂ්පාදනය මෙන්ම Marine sponge භාවිතයෙන් පිළිකා හා වෛරස් රෝග සදහා ඖෂධ නිෂ්පාදනය
නීල ජෛව තාක්ෂණයේ භාවිතයන් ලෙස පෙන්වා දිය හැකිය.

ස්වේත ජෛව තාක්ෂණය‍
ජෛව තාක්ෂණය කර්මාන්ත සඳහා භාවිතය මේ යටතේ සිදු වේ.
·        නව නිෂ්පාදන ඇති කිරීම-  දිරාපත්වන ප්ලාස්ටික් නිෂ්පාදනය (Biodegradable Plastics)
·       කර්මාන්ත තුළින් වන පාරිසරික දූෂණය අවම කිරීම - කර්මාන්ත තුළ ඇතැම් අවස්ථාවලදී භාවිත වන අහිතකර රසායන ද්‍රව්‍ය වෙනුවට ඉන් සිදුවන කාර්යයන් සඳහා එන්සයිම නිෂ්පාදනය (රෙදිපිළි කර්මාන්තයේදී, කඩදාසි කර්මාන්තයේදී)
·    සම්පත් කළමනාකරණය - ජෛව ඉන්ධන නිෂ්පාදනය (Bio Fuels) වැනි අවස්ථා මෙහිදී සැළකිල්ලට ගත හැකිය.

රතු ජෛව තාක්ෂණය
වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධව ජෛව තාක්ෂණය යොදා ගැනීමයි.
ප්‍රධාන වශයෙන් ජීවී සෛල හා සෛලමය ද්‍රව්‍ය පර්යේෂණ සඳහා භාවිතා කරමින් එමගින් රෝග විනිශ්චය කිරීම,  ඖෂධ නිෂ්පාදනය මෙන්ම ජාන චිකිත්සා සඳහා භාවිත වේ.

මෙහිදී ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතයෙන් මානව ඉන්සියුලීන් හෝමෝනය නිෂ්පාදනය එක් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. 1978 දී Escherichia coli බැක්ටීරියා හරහා DNA ප්‍රතිසංයෝජන තාක්ෂණයෙන් ඉන්සියුලීන් හෝමෝනය නිෂ්පාදනය සිදු විය. 



මීට අමතරව, මානව වර්ධක හෝමෝනය නිෂ්පාදනය, රුධිර කැටි ගැසීමේ සාධක නිෂ්පාදනය මෙම තාක්ෂණයෙන් සිදු වේ.

තවද ජාන සංයුතිය වෙනස් කරන ලද බැක්ටීරියා හා වෛරස් යොදා ගනිමින් මානව ප්‍රෝටීන හා එන්නත් නිෂ්පාදනය සිදු කිරීම

ශරීරයේ විනාශ වී ගිය සෛල වෙනුවට ජාන වෙනස් කර ප්‍රාථමික සෛල (Stem Cells) හඳුන්වාදීම. (පසුව සාමාන්‍ය සෛල මෙන් එම සෛල වර්ධනය වීමක් සිදු වේ.) මෙමගින් ඇට මිදුළු ගුණනය, විනාශ වී ඇති හදවත් පටක ඉවත් කිරීම, කැඩී ගිය ස්නායු වර්ධනය සිදු කර ගත හැකිය.

පටක ඉංජිනේරු විද්‍යාව ආශ්‍රිතව කෘත්‍රිමව සම, කාටිලේජ, ඇට මිදුළු වැනි මිනිස් ශරීර කොටස්  නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මේවනවිට කෘත්‍රිම අක්මා, මුත්‍රාශ හා අගන්‍යංශය වැනි අවයව නිෂ්පාදනය කර ඇත.

විද්‍යාව, දිනෙන් දින දියුණු වෙමින් සමාජ ප්‍රගමනයට දායකත්වය ලබා දේ. එහි එක් නව සොයා ගැනීමක් ලොව පෙරළියක් ඇති කරනු ඇත. එහි එක් ප්‍රතිඵලයක් ලෙස ජීව රසායන ද්‍රව්‍ය හා මිනිස් සෛල භාවිතා කරමින් මානව අවයව ත්‍රිමාණ මුද්‍රණය සිදු කිරීම ද ජෛව තාක්ෂණයේ තවත් පියවරකි. මේනිසා නුදුරු අනාගතයේදී  සැත්කම් මගින් මිනිස් අවයව බද්ධ කිරීම වෙනුවට මෙලෙස නිපද වූ අවයව ප්‍රතිස්ථාපනයක් සිදු වනු ඇත.

( අන්තර්ජාලය ඇසුරිනි)

ආර්.ඩී.එන්.ප්‍රියන්ති,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කිරින්ද පුහුල්වැල්ල


0 comments:

Post a Comment