November 23, 2017

දියවැඩියාව (Type II Diabetes) ආපසු හැරවිය හැකි අවම කැලරි ආහාරයක් ?


2050 වන විට සෑම ඇමරිකානුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව සෑදීමේ අවධානමක් ඇත. සිරුරේ බර අඩු කිරීම සදහා සිදු කරන Bariatric ශල්‍යකර්මයෙන් පසු බොහෝ දියවැඩියා රෝගින්ගේ දියවැඩියා රෝගී තත්වය මැඩලිය හැකි බව වාර්තා වලින් සනාථ වී ඇත. මෙම ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු ආහාරයෙන් අවශෝෂණය වන කැලරි ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් අවශෝෂණය නොවී බැහැරට යයි. මේ පිලිබද අවධානය යොමුකල පර්යේෂක කණ්ඩායමක් (Yale University) දියවැඩියාව (දෙවන වර්ගය) ශීඝ්‍රයෙන් ආපසු හැරවීමට රෝගීයා පරිභෝජනය කරන කැලරි සීමා කිරීමෙන් කෙසේ කල හැකිද යන යාන්ත්‍රණය සොයා බැලීමට අවධානය යොමු කරන ලදී.

සාමාන්‍යයෙන් පරි‍භෝජනය කරන කැලරි ප්‍රමාණයෙන් ¼ කින් සමන්විත අවම කැලරි ආහාරයක් (Very Low Calorie Diet /VLCD) දියවැඩියා රෝගී මීයන්ට සැපයීමෙන් වන බලපෑම පර්යේෂණ කණ්ඩායම අධ්‍යයනය කරන ලදී.         

PINTA නැමැති ක්‍රමවේදය ඔස්සේ පරියේෂණය සිදුකල විද්‍යාඥයන්ට අවම කැලරි ආහාරය (VLCD) එම සත්වයන්ගේ අක්මාවෙන් මුදාහරින රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු කරන යාන්ත්‍රණ 3ක් සොයාගත හැකිවිය.
1.අක්මාවේදී ලැක්ටේට් (lactate) හා අමැයිනෝ(amino acids) අම්ල ග්ලුකොස් බවට පරිවර්තනය අඩුකරයි.
2.අක්මාවේ ග්‍ලයිකෝජන්(liver gaycogen) සංචිත ග්ලුකොස් බවට හැරවීම අඩුකරයි.
3.අක්මාවේ මේද ප්‍රමාණය අඩුකිරීමෙන් අක්මාව ඉන්සියුලින් හෝමෝනයට දක්වන සංවේදීතාව වැඩිකරයි.
මෙම ධනාත්මක සොයාගැනීම් ත්‍රිත්වය අවම කැලරි ආහාරය (VLCD) ගැනීමෙන් දින 3ක් වැනි කෙටි කාලයක් තුල විද්‍යාමාන විය.

මෙම ක්‍රමවේදය භාවිතයෙන් අක්මාවේ කාබෝහයිට්ඩේට් හා මේද පරිවෘත්තිය පිලිබද ගැඹුරින් සොයා බැලීමේදී ඉහත යාන්ත්‍රණ තුනේ සංයෝජනයෙන් මෙසේ දෙවන වර්ගයේ දියවැඩියාව ආපසු හැරවීමට හේතු කාරක වු බව විද්‍යාඥයින්ගේ අදහසයි.

පර්යේෂකයින්ගේ මීලග පියවර වන්නේ PINTA නැමැති පර්යේෂණ ක්‍රමය, දියවැඩියා රෝගින්ට යොදාගැනීමෙන් ඉහත යාන්ත්‍රණයන් මිනිස් සිරුර තුලද සිදුවන්නේදැයි සොයා ගැනීමයි. එහි ප්‍රතිඵල මිනිස් සිරුර තුලදීද සනාථ වුවහොත් දෙවන වර්ගයේ දියවැඩියාව සාර්ථකව ප්‍රතිකාර කලහැකි නව්‍ය ඖෂධ නිපදවිය හැකිවනු ඇති බව පර්යේෂකයින්ගේ අදහසයි.


අන්තර්ජාලය ඇසුරෙනි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
අතුරලිය.

0 comments:

Post a Comment