November 13, 2017

බැලුවොත් වැඩියෙන් රස කන්න වෙනවමයි වස

වර්තමානයේ කාර්ය බහුලත්වය, සිඝ්‍රයෙන් වෙනස්වන සමාජ ආර්ථික පසුබිම, අවිවේකී බව හා කාන්තා රැකියා නියුක්තිය නිසා පහසුවට සහ කාලය ඉතිරි කරගැනීමට කෙතරම් මිල අධික වුවත් ක්ෂණික කෑම වර්ග වලට නැඹුරු වෙමින් සිටී. කලින් සකස් කල මෙවැනි කෑම වල බහුලව ඇත්තේ සීනි, ලුණු, මේද වර්ග(සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය)හා කල්තබා ගැනීමට රසගැන්වීමට හා වර්ණ ගැන්වීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය වේ. මේවායේ කිසිදු පෝෂණීය අගයක් නොමැති අතර අසාත්මිකතා, ස්නායු ආබාධ, පිළිකා වැනි තත්ත්ව ඇතිවීමට හේතු වේ. මෙසේ අප රස කරමින් කෑමට ගන්නා එවැනි ආහාර වර්ග කිහිපයක  ඇති අහිතකර බව මෙසේ හඳුනා ගත හැකිය.

තිරිඟු පිටි පාන්
            තිරිඟු පිටි ලබාගැනීමේදී ලංකාව අනුගමනය කරන්නේ 70% ක්‍රමය වේ. මෙහිදී එහි මැද ඇති පිෂ්ඨය කොටස පමණක් වැඩිපුර නිස්සාරණය වන අතර ප්‍රොටින්, විටමින්,ඛණිජ ලවණ හා තන්තු ඉතා ස්වල්ප වශයෙන් අඩංගු වේ. මෙම පිටි පදම් කිරීමට හා සුදු පැහැ ගැන්වීමට කල්තබා ගැන්වීම විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි. පාන් වල තිරිඟු පිටිවලට අමතරව මේදය ,ලුණු, යීස්ට් අඩංගු වේ. මේවා පමණක් යෙදූ පාන් එක් දිනක් පමණක් තබාගත හැකි අතර වර්තමානය වන විට කල්තබා ගැනීමට, පිපුම් කාරකයක් ලෙස සහ පාන් මෘදු වීමට විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම සිදුවේ.
බිස්කට්, ක්‍රැකර්ස් හා කුකීස්
            මෙම ආහාරවලද ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ද තිරිඟු පිටි වේ. ඊට අමතරව අසංතෘප්ත මේද වර්ග, සීනි හා ලුණු අමුද්‍රව්‍ය ලෙසද ඇමෝනියම් බයිකාබනේට් පිපුම් කාරකයක් ලෙසද භාවිතා කරයි. ඊට අමතරව යොදන තෙල්වර්ග මුඩුවීම වැළැක්වීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය ලෙස BHT/BHA යොදන අතර සමහර රටවල් පිළිකා කාරක ලෙස ඒවා ඉවත් කර ඇත. බිස්කට් සඳහා යොදන අසංතෘප්ත මේදය ඉහල උෂ්ණත්ව වලට ලක්වීමේදී හදවතට අහිතකර ට්‍රාන්ස් මේදය බවට පත් වේ. එසේම මේවාට යොදන රස වර්ග ස්වාභාවික නොවන අතර පෙට්ට්‍රෝලියම් ඊතර් හා ක්‍රෝල්ට්‍රාවල නිස්සාරකයන් වේ.
නූඩ්ල්ස්
            සාම්ප්‍රදායනුකූල ක්‍රමයට නූඩ්ල්ස් නිෂ්පාදනයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස තිරිඟු පිටි හා ලුණු පමණක් භාවිතා කරයි. නමුත් ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදනයේදී රසවත් බව වැඩිකර ගැනීමට රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක් කරයි. ඒ සඳහා එක්කර මොනසෝලියම් ග්ලුටමේඩ් (අජිනමොටෝ) භාවිතා කරන අතර අවුරුදු 03න් පහල දරුවන් සඳහා නුසුදුසු බවට ර්‍ශ්‍ර ලංකාවේ ආහාර පනතේ පවා සඳහන් කර ඇත. තවද ඒවා තුල ඇති රසකාරක වල කිසිදු ස්වාභාවික ද්‍රව්‍යයක්  අඩංගු නොවන අතර ඒවා සකසා ඇත්තේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමිනි. ඒවා සියල්ල අසාත්මිකතා, පිළිකා හා ස්නායු ආබාධ වැනි රෝගි තත්ත්වයන් සඳහාද හේතුවේ. එම නිසා සාමාන්‍ය ලෙස සකස්කරන ලද නූඩ්ල්ස් වලට එලවළු වර්ග හා ස්වාභාවිකව රසකාරක යොදා සකස්කර ගැනීම සෞඛ්‍යයට හිතකර වේ.
සුප්කැට හා සුප් මිශ්‍රණ
            සුප්කැට හා සුප් මිශ්‍රණ පෝෂණ ගුණයෙන් හීන අතර මේවායේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ එළවළු තෙල්,කෝන්පිටි,විවිධ වර්ණක, ලුණු වන අතර අජිනොමොටෝවලින් රසගන්වා ඇත. නිවසේදීම එළවළු යොදා අවශ්‍ය නම් මස් මාළු වලින් රසගන්වා සුප්වර්ග සකස්කර ගත හැක.
සකස් කරන ලද මස් වර්ග
            මේයටතේ මීට්බෝල්ස්, සොසේජස් අයත් වේ. මෙහි ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ඉවත ලන සත්ව සම,මේද ස්ථරය,බඩවැල් කොටස් වන අතර දුඹුරු වර්ණය ගැන්වීමට සහ කල්තබා ගැනීමට සෝඩියම් නයිට්‍රේට් වැනි රසායනික ද්‍රව්‍ය භාවිත කරයි. මේවා මස් සමග ප්‍රතික්‍රියා කර නයිට්‍රෝසැමයින් නමැති සංයෝගය සාදන අතර මෙය පිළිකාකාරකයකි. මෙය ආහාරයේ තිබිය යුතු උපරිම අංශු ගණන මස් අංශු මිලියන 1කට මෙම රසායනික අංශු 150ත් 200ත් අතර ප්‍රමාණයකි. තවද එම ආහාර වල සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය ඉහල නිසා නිතර ආහාරයට ගැනීම නුසුදුසු වේ. එම නිසා ප්‍රෝටීන ලෙස මාළු, මේද රහිත මස්, බිත්තර, පියළි ඇට වර්ග හා රනිල බෝග භාවිතා කල හැක.
කාබනීකෘත බීම වර්ග  
            කාබනික බීම බොහොමයක ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ජලය, සීනි,විවිධ වර්ණක හා කාබන් ඩයොක්සයිඩ් වායුවයි. තවද මෙවැනි බීම වල අධික සීනි අඩංගු වන අතර සීනි වෙනුවට සැකරින්, ඇස්පාට්මින් වැනි රසකාරක ද භාවිතා කරයි. එමගින් ස්නායු ආබාධ හා පිළිකා හා තරබාරුව ඇති කරයි. ලෙමනේඩ් වීදුරුවක සීනි හැඳි 3ක් අන්තර්ගත වන අතර විවිධ රසායනික ද්‍රව්‍ය සුවඳ කාරක ලෙස භාවිත කරයි. මෙම ද්‍රව්‍ය මගින්ද පිළිකා, ඇදුම, අසාත්මිකතා ඇති කරයි.
ටින් කරන ලද ආහාර
            ටින් කරන ලද ආහාර සීනි හෝ ලුණු සාන්ද්‍රණ වල බහා ඇති අතර ඉහල උෂ්ණත්වයට රත් කර සකස් කරයි. එම නිසා ආහාර වල ඇති විටමින් වර්ග විනාශ වේ. කල්තබා ගැනීමට රසායනික ද්‍රව්‍ය යොදන නිසා පිළිකා තත්ත්ව අසාත්මිකතා ඇති වේ. නිර්වායු තත්ත්ව යටතේ අහුරා ඇති බැවින් එහිදී වර්ධනය විය හැකි බැක්ටීරියා වර්ග විෂ නිපදවන නිසා පිම්බුනු, නැමුණු සහ මල බැඳුනු ටින්වල ඇති ආහාර අනුභවය නුසුදුසුවේ. 
 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය 
කටුවන.   

0 comments:

Post a Comment