January 2, 2018

නූතන ලෝකයේ දක්‌නට ලැබෙනු ඇති නව තාක්‌ෂණයන්

අනාගතය දෙස එබී බැලීම සැම විට ම චමත්කාරජනක අත්දැකීමක්‌. අනාගතය කෙබඳු තැනක්‌ වනු ඇත් දැයි යන්න පුරෝකථනය කරන්නට හැම දා ම මිනිසුන් උත්සාහ කරනවා. එවැනි පුරෝකථන අනාගතයේ සැබෑ වීමට ඉඩ ඇතිවා සේ ම කිසිවකු පුරෝකථනය නො කළ දේ ද අනාගතයේ සිදු වන්නට පුළුවන්.

තාක්‌ෂණයේ දියුණුව කිසි දා නො නැවතී ඉදිරියට ගලා යන ගඟක්‌ බඳුයි. දැනට වසර දහයකට පහළොවකට පෙර අපව විස්‌මයට පත් කිරීමට සමත් වූ නවීන තාක්‌ෂණික උපාංග අද සැම දෙනා අත ම පවතින අතිශය සාමාන්‍ය උපාංග බවට පත් වී තිබෙනවා. මේ ප්‍රවණතාව නවතින බවක්‌ නම් පෙනෙන්නට නැහැ. මේ ලිපියෙන් අප ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ තවත් දශක දෙකකින් එනම් 2035 වන විට ලෝකයේ සාමාන්‍ය භාවිතාවන් ව පැවතිය හැකි තාක්‌ෂණික නව නිපැයුම් හතක්‌ ගැනයි. මේ පුරෝකථනයන් කර තිබෙන්නේ අද වන විට නිර්මාණය වෙමින් පවතින තාක්‌ෂණික විභවතාවන් මත පිහිටා නිසා මේවා මෙලෙසින් ම සැබෑවන් බවට පත් වීමට විශාල ඉඩක්‌ තිබෙනවා. වසර විස්‌සක්‌ යනු විශාල කාලයක්‌ නො වන නිසා අප ඔබ වැඩි දෙනකුට මේ තාක්‌ෂණික නව නිර්මාණ ලෝකයට බිහි වන අයුරු දැකගැනීමට හා ඒවා සජීවී ව අත්දකින්නට හැකි වේ වි. එවිට මේ අපූරු විස්‌මයන් සාමාන්‍ය දේ බවට පිළිගැනීමට අප අපේ සිත්සතන් වෙනස්‌ කරගන්නවා නොඅනුමානයි.

01.
කෘත්‍රිම බුද්ධි - පෞද්ගලික සහකරුවන්


පෞද්ගලික පරිගණක සහකරුවකු මුලින් ම ලෝකයට පැමිණිලා තරමක්‌ කල් වෙනවා. මයික්‍රොසොෆ්ට්‌ වින්ඩෝස්‌ XPවලට කලින් තිබුණු මෙහෙයුම් පද්ධතිවල තිරයේ කෙළවර කෙටි උපකාරක පණිවිඩ සමඟ මතු වුණු පේපර් ක්‌ලිපයක හැඩය ගත් කාටුනය සමහර විට ඔබට මතක ඇති. ඒ මයික්‍රොසොෆ්ට්‌ සමාගමෙන් හඳුන්වා දුන් Clippyනම් සරල පෞද්ගලික සහකරුයි. මේ සහකරුවා පසුකාලීන මෙහෙයුම් පද්ධතිවලින් ඉවත් වී ගියේ ඉන් එතරම් ප්‍රයෝජනයක්‌ අත් නො වූ නිසයි. නමුත් දැන් වඩා ප්‍රබල, වඩා බුද්ධිමත් පරිගණක පෞද්ගලික සහකරුවන් රැසක්‌ කරලියට පැමිණ තිබෙනවා. ඊට හොඳ ම උදාහරණය වන්නේ ඇපල් ස්‌මාර්ට්‌ දුරකථන, ටැබ් හා ඔරලෝසු සමඟ එන කෘත්‍රිම බුද්ධිමය පරිගණක වැඩසටහනක්‌ වන SIRI. ගූගල් සමාගම ඉදිරිපත් කළ Google Now හා මයික්‍රොසොෆ්ට්‌ සමාගම ඉදිරිපත් කළ Cortanaද අයත් වන්නේ මේ ගණයටයි. මේවාට ඔබේ කටහඩින් දෙන විධානවලට අනුව ක්‍රියාත්මක වී බොහෝ කටයුතු ඉටු කර දෙන්නට පුළුවන්. කිසිවකු ගේ හෝ නම සොයා ඔහුට දුරකථන ඇමතුමක්‌ ගැනීම, කෙටි පණිවිඩ හෝ ඊ මේල් යෑවීම, දිනයට නියමිත කටයුතු අවශ්‍ය වේලාවට මතක්‌ කිරීම, විවිධ ඇප් ක්‍රියාත්මක කිරීම, සෙවුම් යන්ත්‍ර මගින් විවිධ දේ සොයා දීම ආදිය මේ පෞද්ගලික සහකරුවන්ට කර දිය හැකියි. කාලයත් සමඟ එන්න එන්නම මේවායේ ශක්‍යතාව වඩාත් වර්ධනය වෙමින් පවතිනවා.

තවත් වසර විස්‌සකට පසු ලෝකයේ බිහි ව තිබෙනු ඇති පෞද්ගලික සහායක පරිගණක වැඩසටහන්වලට සාපේක්‌ෂව මේවා පෙනෙනු ඇත්තේ සෙල්ලම් බඩු ලෙසයි. අනාගතයේ බිහි වන පෞද්ගලික සහකරුවන් දවසේ පැය විසි හතර පුරා ම අප පිළිබඳව සොයා බලමින් සිටිනු ඇති. ඒවා අපේ චර්යා රටාවන්, අපේ හැඟීම් හා ආකල්ප අප කැමැති අකැමැති දේ පිළිබඳව අධ්‍යයනය කරමින් ඊට අනුරූපව අපේ කටයුතු කරගෙන යැමට අපට උපකාර කරනු ඇති. යම් සිදුවීමක්‌ සිදු වූ විට අප කෙබඳු ආකාරයකින් හැසිරෙනු ඇත් ද යන්න නිවැරදිව පුරෝකථනය කර එයට අවශ්‍ය කටයුතු අපට කලින් ම සිතා සම්පාදනය කර තැබීමට ඒවා සමත්කම් දක්‌වා වි. අපේ කායික මානසික සෞඛ්‍යය ගැන සොයාබලන්නටත් බිල් ගෙවීම්, භාණ්‌ඩ ඇණවුම් කිරීම්, ලිපි ලිවීම් වැනි දහසකුත් එකක්‌ ගෙදරදොරේ හා කාර්යාලයේ වැඩ කර දීමටත් මේවා සමත් වනු නොඅනුමානයි. එක්‌ අතකින් ඒවා අපේ මනසේ ඩිජිටල් ක්‌ලෝන ලෙස ද ක්‍රියාත්මක වනු ඇති. අන්තර්ජාලය තුළ මෙන්ම සැබෑ ලෝකය තුළ ද හොලෝග්‍රැෆික්‌ රූ ලෙස අප වෙනුවෙන් පෙනී සිට කටයුතු කර දීමට මේවා සමත් වන බවට සැකයක්‌ නැහැ. කෙසේ වෙතත් අප වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට හෝ තීන්දු තීරණ ගැනීමට මේ පෞද්ගලික සහකරුවන්ට හෝ සහකාරියන්ට කෙතරම් දුරකට ඉඩ දිය යුතු ද යන්න ගැන එදිනට අපට සලකා බලන්නට සිදු වනු ඇති.

02.
නො පෙනෙන පරිගණක - හැමතැන ම
පරිගණකමය හැකියාවන් සහිත විවිධ තාක්‌ෂණික උපාංග අපේ ජීවිතයේ සෑම පැතිකඩකට ම එළඹෙමින් තිබෙනවා. අපේ මෝටර් රථවල, ජංගම දුරකථනවල, සෙල්ලම්බඩුවල, නිවාස ආරක්‌ෂණ පද්ධතිවල පමණක්‌ නො ව ශීතකරණයේ පවා දැනටමත් පරිගණක දැකගත හැකියි. නමුත් බොහෝ විට මේවා බැලූ බැල්මට පෙනෙන බොත්තම් මගින් හෝ යතුරු මගින් විධාන සැපයිය යුතු පන්නයේ ඒවායි. එහෙත් ක්‌ෂුද්‍ර ඉලෙක්‌ට්‍රොනික යාන්ත්‍රික පද්ධති (Micro ElectroMechanical Systems - MEMS) ආදී තාක්‌ෂණික ධාරාවන් වෙත නැඹුරු වෙමින් පවතින ලෝකයක මේ පරිගණක පද්ධති ඉතා කුඩා ඒවා බවට පරිණාමය වීම වැඩි ඈතක නැහැ. එවිට ඒවා අපේ ඇඳුම්, සපත්තු, කුඩ, පුටු, ඇඳන් ආදී සැම උපාංගයකට ම සංක්‍රමණය වීමට ඉඩ තිබෙනවා. මීට කදිම උදාහරණයක්‌ වන්නේ කැමරාව. වරක්‌ විශාල උපාංගයක්‌ ව තිබූ ඩිජිටල් කැමරාව අපේ ජංගම දුරකථනවලටත් සංක්‍රමණය වුණා. දැත භාවිත නො කර සජීවී දර්ශන පටිගත කර ඒවා බෙදාහදාගත හැකි ගූගල් ග්ලාස්‌ උපැස්‌ යුවල එහි ඊළඟ පියවර ලෙස සැලකිය හැකියි. 2014 වසරේ දී ගූගල් සමාගම ඇස තුළ සවි කළ හැකි කැමරාවක්‌ සහිත අක්‌ෂි කාචයක්‌ (contact lense) හඳුන්වා දුන්නා. තවත් වසර 20ක්‌ ගත වන විට ලෝකයේ සියලු දෙනා ම පාහේ කිසිසේත් ම බාහිරින් හඳුනාගත නොහැකි කැමරා තම දෙනෙතෙහි පැළඳ සිටීමට හොඳට ම ඉඩ තිබෙනවා.

මෙවැනි ඇසට නො පෙනෙන විවිධ තාක්‌ෂණික උපාංග දහස්‌ ගණනක්‌ පිරුණු ලෝකයක ජීවත් වීම අනාගතයේ දී අපට සාමාන්‍ය දෙයක්‌ වනු ඇති බවට සැකයක්‌ නැහැ. එලෙස ම එය අපේ සමාජ සංස්‌කෘතික වටපිටාවට ද අද අපට පෙරැයිය නොහැකි අන්දමේ වෙනස්‌කම් තොගයක්‌ ද එකතු කරනු ඇති බව ද අමුතුවෙන් කිව යුතු නැහැ.

03.
ඩිජිටල් මනස්‌ සහිත අථ්‍යය සතුන්
මිනිස්‌ මොළයේ රටාවන් එලෙස ම අනුකරණය කළ හැකි ඩිජිටල් මිනිස්‌ මොළයක්‌ නිර්මාණය කිරීම ගැන අදහස්‌ විද්‍යාඥයන් සතු ව පවතින්නේ බොහෝ කලක පටන්. එහෙත් එය සැබෑවක්‌ බවට පත්වන දිනය මේ ශතවර්ෂයේ මැදභාගය පසු කරන තුරු වත් එළඹෙනු ඇතැයි අපේක්‌ෂා කළ නොහැකියි. එහෙත් යම් දිනෙක ඊට මගපාදන, එතරම් සංකීර්ණත්වයක්‌ නො දරන සතුන් ගේ මොළය පරිගණකගත කිරීමේ උත්සාහයන් දැනටමත් ඇරඹී අවසන්. ඇමෙරිකාවේ, යුරෝපයේ හා රුසියාවේ විද්‍යාඥයන් පිරිසක්‌ එක්‌ ව දියත් කර ඇති Openwormව්‍යාපෘතිය ඊට උදාහරණයක්‌. එහි දී ඔවුන් සිදු කරන්නේ නෙමටෝඩා පණුවකු ගේ මොළය සහ ශරීරය ඩිජිටල්ගත කිරීමයි. මෙහි දී එම පණුවා ගේ සියලු ම නියුරෝන හා මාංශපේශිවල විද්යුත් ක්‍රියාකාරීත්වය පරිගණක වැඩසටහනක්‌ තුළට ආකෘතිගත කිරීමට ඔවුන් කටයුතු කරනවා. මීළඟ දශක දෙක තුළ මේ ක්‍රියාවලිය වැඩිදියුණු වී මී මැස්‌සන්, කූඹින් වැනි කුඩා සතුන් ද මෙලෙස පරිගණක වැඩසටහන් තුළට ආකෘතිගත කළ හැකි වනු ඇති. සමහර විට මීයන් වැනි කුඩා ක්‌ෂීරපායීන් ද මේ ලැයිස්‌තුවට එක්‌ විය හැකියි. මෙලෙස යම් සතකු සම්පූර්ණයෙන් ම ඩිජිටල්ගත කළ පසු එයට සැබැවින් ම පරිගණකය තුළ ගොඩනැඟූ අථත්‍ය ලෝකයක්‌ තුළ අථත්‍ය සිරුරක්‌ දරමින් ජීවත් විය හැකියි. මෙය අප ජීවය දෙස බලන කෝණය සහමුලින් ම වෙනස්‌ මානයකට ඔසවා තබන සිදුවීමක්‌ වනු ඇති බවට සැකයක්‌ නැහැ. එම සත්ත්ව ශරීර සේ ක්‍රියා කරන රොබෝවන් තුළට එම ඩිජිටල් සත්ත්ව මොළ ඇතුළත් කළ හොත් ඔවුන් අපේ භෞතික ලෝකය තුළත් සැරිසරන්නට සමත්කම් දක්‌වා වි.

අපේ ඩිජිටල් මොළ ඇතුළත් කළ රොබෝ ශරීර මතින් සවාරිගැසීම තවත් ශතවර්ෂයකට වැඩි දුරකින් ඇති සිහිනයක්‌ වුවත් ඩිජිටල් මනස්‌ සහිත අථත්‍ය සතුන් බිහි වන දිනය වැඩි ඈතක ඇත්තේ නැහැ. කෙසේ නමුත් එවැනි ඩිජිටල් සතුන් තම පැවැත්ම නිසා වද වේදනා විඳිනවා ද වැනි සදාචාරාත්මක පැනයන්ට පිළිතුරු සැපයීමට ද එවැනි දිනක අපට සිදු වනු ඇති.

04.
ඝාතනයට අවසර ඇති ස්‌වයංක්‍රීය රෝබෝවන්
මිනිසුන් ඝාතනය කළ හැකි ස්‌වයංක්‍රීය රොබෝවන් අනාගතයේ බිහි වනු ඇත් ද යන්න බොහෝ දෙනා ගේ සිත්වල ඇති බියක්‌. Terminator වැනි චිත්‍රපට මේ බිය තවත් අවුළුවනවා. එහෙත් ඒ පිළිබඳව තවදුරටත් බිය වීමට හේතුවක්‌ නැහැ. ඒ දැනටමත් එවැනි අවිආයුධ නිපදවා අවසන් නිසා. වසර විස්‌සක්‌ ගත වන විට මෙවැනි අවි මුළු ලෝකය පුරාබහුලව භාවිත වනු ඇති බවට සැකයක්‌ නැහැ.

ස්‌වයංක්‍රීයව සතුරා හඳුනාගෙන ඔහුට පහර දී විනාශ කළ හැකි අවි පද්ධති ගණනාවක්‌ මේ වන විටත් නිර්මාණය වී තිබෙනවා. රටවල් ගණනාවක නාවික හමුදා භාවිත කරන Aegis Combat system එවැන්නක්‌. බලගතු පරිගණක හා රේඩාර් පද්ධති පරිහරණය කරන එයට ස්‌වයංක්‍රීය ව ම සතුරු ඉලක්‌ක හඳුනාගෙන මිසයිල ප්‍රහාර එල්ල කර ඒවා විනාශ කළ හැකියි. Samsung Techwinසමාගම නිපදවා දැනටමත් දකුණු කොරියාව, ඊශ්‍රායලය වැනි රටවල් භාවිත කරන SGR-A1 ආරක්‌ෂක රොබෝව ද එවැන්නක්‌. දේශ සීමා අසල පිහිටුවා ඇති මේ අවි පද්ධතියට සැතපුම් දෙකක පමණ දුර සිට පවා ඒ දෙසට පැමිණීමට උත්සාහ කරන සතුරන් හඳුනාගෙන වෙඩි තබා විනාශ කර දැමිය හැකියි. දැනට මෙවැනි උපාංගවලට වෙඩි තැබීමට පෙර මිනිසකු ඊට අවසර දිය යුතු පරිදි වන සේ ප්‍රොaටකෝලයක්‌ ඇතුළත් කර තිබෙනවා. එහෙත් දිනෙන් දින සංකීර්ණ වන යුදමය තත්ත්වයන් යටතේ තවත් කෙටි කලක්‌ ගත වන විට මෙවැනි ප්‍රොaටකෝලයන් ඉවත් කර දැමීමට හමුදාවන් ක්‍රියා කිරීමට බොහෝ සේ ඉඩ තිබෙනවා.

හමුදා නායකයන් තම සොල්දාදුවන් අනතුරේ දමනවාට වඩා මෙබඳු අවිවලට බලය පැවරීමට තීරණය කිරීම අතිශය ස්‌වාභාවිකයි. එපමණක්‌ නො ව විශාල භූමි පරාසයක්‌ ආවරණය කිරීම සඳහා මෙබඳු යන්ත්‍ර යොදාගැනීම මානව සම්පත් යොදාගන්නවාට වඩා කාර්යක්‌ෂම වනවා. මිනිස්‌ අවසරයකින් තොර ව වෙඩි තැබීමට හැකි යන්ත්‍ර පිළිබඳ විරෝධතා මතු වී තිබුණත් යුද බලවතුන් ඒවා කනකට ගනී යෑයි සිතන්නට අපහසුයි.

05.
පර්යේෂණාගාරයේ නිපදවන අවයව හා මස්‌
අද වන විට ජෛව තාක්‌ෂණය මෙතෙක්‌ ලෝකයේ අධිපතිත්වය දැරූ වෙනත් තාක්‌ෂණයන් අභිබවමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා. එය බොහෝ දෙනා ගේ අවධානයට ලක්‌ ව ඇත්තේ ඉන් විවර කරනු ලබන විභවතාවන් තුළ අප ජීවත් වන ලෝකයේ ඇති බොහෝ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් සොයන්නට හැකියාවක්‌ ඇති නිසයි.

පර්යේෂණාගාර තුළ කෘත්‍රිමව සෛල වර්ධනය කිරීමට ඇති හැකියාව සහ ත්‍රිමාන මුද්‍රක (3D printers) ආශ්‍රයෙන් ඒවා පෙළගස්‌වන්නට ඇති හැකියාව මෙහි දී කැපී පෙනෙන එක්‌ ක්‍ෂෙත්‍රයක්‌. මස්‌ පරිභෝජනය කිරීම සඳහා සතුන් මැරීම වෙනුවට කෘත්‍රිම මස්‌ නිපදවීම එම ක්‍ෂෙත්‍රයේ එක්‌ ආකර්ෂණීය පොරොන්දුවක්‌ වනවා. න්‍යායාත්මකව හා පර්යේෂණාත්මක ව එය කිසිසේත් නො කළ හැක්‌කක්‌ නො වෙයි. තවත් දශක දෙකක කාලයක්‌ ගත වන විට එය ප්‍රායෝගික භාවිතයක්‌ බවට පත් වීමට විශාල ඉඩක්‌ තිබෙනවා. සත්ත්ව ඝාතනය ලෝකය පුරා බොහෝ දෙනකු ගේ විරෝධයට ලක්‌ වන දෙයක්‌. මස්‌ නිසා සතුන්ට වැළඳෙන රෝග මිනිසාට බෝ වීමේ අවදානමක්‌ ද තිබෙනවා. අනෙක්‌ අතට සතකු නඩත්තු කිරීමට වැය වන ජලය, තණකොළ ප්‍රමාණය හා උගේ ජීවිත කාලය පුරා පිට කරන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ගැන සලකන විට මස්‌ පිණිස සතුන් ඇති කිරීම මිනිසාට එතරම් වාසිදායක ගනුදෙනුවක්‌ නො වෙයි. මේ සියල්ල අතරේ ලෝකයේ මස්‌ පරිභෝජනයත් දිනෙන් දින ඉහළ යනවා. එය 2050 වන විට අද මෙන් දෙගුණයක්‌ වනු ඇති බවයි පුරෝකථනය කෙරී ඇත්තේ. මේ තත්ත්වයට හොඳ ම විසඳුම සෛල ජනනය මගින් කෘත්‍රිම ව මස්‌ නිපදවීමයි. තවත් වසර විස්‌සක්‌ ගත වන විට මස්‌ බඳු ම පාට, හැඩය හා රසය ඇති කෘත්‍රිම මස්‌ ඔබේ සුපිරි වෙළෙඳසලෙනුත් මිල දී ගන්නට හැකි වන්නට පුළුවන්. Modern medowවැනි සමාගම් දැනටමත් මේ උත්සාහයේ ඉදිරියෙන් සිටිනවා.

මෙය හා ම බැඳී එන අනෙක්‌ මාතෘකාව වන්නේ කෘත්‍රිම ව ජෛව අවයව වර්ධනය කිරීමයි. දැනටමත් මේ ක්‍රමය මගින් සරල ඉන්ද්‍රියයන් නිර්මාණය කිරීම් වාර්තා වනවා. පසුගිය දා ප්‍රින්ස්‌ටන් සරසවියේ පර්යේෂකයන් පිරිසක්‌ 3D මුද්‍රණ යන්ත්‍රයක්‌ උපයෝගී කරගනිමින් මිනිස්‌ ශ්‍රව්‍ය පරාසයට වැඩි ශබ්ද පරාසයක්‌ ග්‍රහණය කරගත හැකි ඉලෙක්‌ට්‍රොනික උපාංගයක්‌ සම්බන්ධිත ජීව සෛලවලින් සෑදුණු කනක්‌ නිර්මාණය කර තිබුණා. අපට දුබල වූ ඉන්ද්‍රියයන් ප්‍රතිස්‌ථාපනය කිරීමට පමණක්‌ නො ව මිනිස්‌ හැකියාව ඉක්‌මවා ගිය හැකියාවක්‌ ලබාගන්නට ද මේ තාක්‌ෂණය භාවිත කළ හැකි බව ඉන් පෙනී යනවා. හදවත් වැනි ඉන්ද්‍රියයන් රෝගියා ගේ ශරීරය විසින් ප්‍රතික්‌ෂේප නො කෙරෙන අන්දමට ඔහුට ම ගැලපෙන පරිදි නිර්මාණය කිරීමට මෙමගින් අවස්‌ථාව සැලසෙනවා. තවත් වසර විස්‌සක්‌ යන විට මේවායේ ප්‍රායෝගික භාවිතාවන් සුලබව අපේ වෛද්‍ය විද්‍යා ක්‍ෂෙත්‍රය තුළ යොදාගැනෙනු ඇති.

06.
මහ මුහුදෙන් පානීය ජලය

ලෝකයේ ජනගහනය දිනෙන් දින ම වර්ධනය වන අතර නාගරීකරණය ද දිනෙන් දින ඉහළ යනවා. මීට සාපේක්‌ෂව ජල ඉල්ලුම ද ඉහළ යැම වැළැක්‌විය නොහැක්‌කක්‌. ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැනටමත් පිරිසිදු පානීය ජලය සොයාගැනීම උග්‍ර ගැටලුවක්‌ වී තිබෙනවා. මෙයට විසඳුම විය හැක්‌කේ කුමක්‌ ද? අනාගතයේ ඇති වන විශාල ජල ඉල්ලුම පුරවන්නට නම් අපට සාගරය වෙතට ම යොමු වන්නට සිදු වනවා.

ලෝකයේ ඇති සම්පූර්ණ ජලයෙන් අපට භාවිත කළ හැකි පිරිසිදු ජලය ලෙස පවතින්නේ සියයට 1ක්‌ පමණයි. කොටසක්‌ අයිස්‌ තට්‌ටු ලෙස පවතින අතර සියයට 97.5ක්‌ ම පවතින්නේ ලුණු මිශ්‍රිත සාගර ජලය ලෙසයි. යම් හෙයකින් සාගර ජලය පහසුවෙන් පිරිසිදු ජලය බවට හැරවිය හැකි නම් ඉන් මානව ජල අවශ්‍යතාව සහමුලින් ම විසඳී යන බව පැහැදිලියි.

දැනට ලවණ ජලය පිරිසිදු කිරීම සඳහා භාවිත වන සාම්ප්‍රදායික ක්‍රම සඳහා වැය වන මිල ඉතා අධිකයි. ඊශ්‍රායලය, සෞදි අරාබිය වැනි රටවල් මහ පරිමාණයෙන් මෙය සිදු කළත් ජලය පිරිසිදු කිරීම සඳහා වැය වන බලශක්‌තිය අධික වීම එහි බහුල භාවිතය අධෛර්යය කරන්නක්‌. මේ ගැටලුවලට පිළිතුරු සැපයීම සඳහා පර්යේෂකයන් සූර්ය තාපයේ බලයෙන් මුහුදු ජලය පිරිසිදු කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දී තිබෙනවා. සංකේන්ද්‍රිත සූර්ය බලය (Concentrated Solor Power - CSP) අනාගතයේ මහා පරිමාණයෙන් භාවිතයට පැමිණෙතැයි සැලකෙන එබඳු ක්‍රමයක්‌. මෙහි දී සිදු වන්නේ විශාල ප්‍රදේශයකට වැටෙන හිරුඑළිය එක්‌ තැනකට කේන්ද්‍රගත කර එහි දී ලැබෙන තාපයෙන් ජලවාෂ්ප නිපදවා ටර්බයින කරකැවීමෙන් ලැබෙන ශක්‌තිය ජලය පිරිසිදු කරවීම සඳහා යොදාගැනීමයි.

සංකේන්ද්‍රිත ප්‍රකාශ විද්යුත් කෝෂ (Concentrated potovoltaic cells - CPV) ද මෙබඳු තාක්‌ෂණයක්‌. එහි සූර්ය කෝෂ තනා ඇත්තේ කුඩා උත්තල කාච ගණනාවකින්. ඒවායෙන් සංකේන්ද්‍රණය කරන හිරු එළිය සාමාන්‍ය ලෙස විදුලිය නිපදවන අතර සූර්ය කෝෂ තලය දිගේ විහිදුණු ජලය ගලා යන කේෂිකා ජාලයක්‌ හරහා ජලවාෂ්ප නිපදවා ඒ හරහා ද විදුලිය නිපදවා ගැනෙනවා. මේ ශක්‌තිය ඉන් පසුව යොමු කෙරෙන්නේ ප්‍රති ආස්‍රැතිය (Rivers Osmosis) වැනි ක්‍රම හරහා ජලය පිරිසිදු කිරීමටයි.

මේ තාක්‌ෂණයන් තවදුරටත් වැඩිදියුණු වීම සමඟ ඒවායේ මිල ද විශාල ලෙස පහළ වැටෙතැයි අපේක්‌ෂා කළ හැකියි. තවත් වසර විස්‌සක්‌ ගත වන විට ලොවපුරා මුහුදු ජලයෙන් නිපදවූ වතුර ලාබයට බීමට ගත හැකි වීම පිළිබඳව අපට බලාපොරොත්තු තබාගත හැකියි.

07.
ලොව සැමට අන්තර්ජාලය
ලෝකයේ බොහෝ දෙනකුට අද අන්තර්ජාලය නැති ව ම බැරි දෙයක්‌ බවට පත් වී හමාරයි. ලෝකයේ බොහෝ භාණ්‌ඩ හා සේවාවන් සපයන්නට අන්තර්ජාලය මැදිහත් ව තිබෙනවා. ලෝකයේ නූතන සමාජ ආර්ථික දේශපාලන ප්‍රවණතාවන් සියල්ල බැඳී ඇත්තේ අන්තර්ජාලය සමඟයි. එහෙත් තවමත් ලෝක ජනගහනයෙන් 60%කට ම අන්තර්ජාලයට ප්‍රවේශ වීමට හැකියාවක්‌ නැහැ. ලෝකයේ අඩු ජන ඝනත්වයක්‌ ඇති හා දුප්පත් ජනතාව වෙසෙන ප්‍රදේශවලට අන්තර්ජාල සේවා සැපයීම අන්තර්ජාල සේවා සම්පාදකයන්ට පාඩු දනවන කරුණක්‌ වීම ඊට හේතුවයි.

ලෝකයේ අධිතාක්‌ෂණයේ වේගවත්. ඉදිරි ගමනට අන්තර්ජාල පහසුකම් නොමැති වීම විශාල බාධාවක්‌. ලෝකයේ දැවැන්ත ආධිපත්‍යයක්‌ පතුරුවාගෙන සිටින ෆේස්‌බුක්‌ හා ගූගල් වැනි සමාගම් දැන් ලෝකයේ සැමට අන්තර්ජාල පහසුකම් සැපයීමේ කර්තව්‍යයට අතගසා තිබෙනවා. එය එක්‌ අතකින් ඔවුන් ගේ සේවාවන් ව්‍යාප්ත කිරීමට ඇති බාධා ජයගැනීමක්‌ ද වනවා. බැලුන් මගින් අන්තර්ජාල සේවාවන් සැපයීමට උත්සාහ දරන ගූගල් ලූන් ව්‍යාපෘතිය ඊට එක්‌ උදාහරණයක්‌. මීට අමතර ව ගූගල් හා ෆේස්‌බුක්‌ සමාගම් දෙක ම විසින් පසුගිය දා ෙඩ්‍රාaන් යානා නිපදවන සමාගම් මිල දී ගනු ලැබුවා. ඔවුන් ගේ අරමුණ ඉහළ අහසේ අඛණ්‌ඩව දිගු කලක්‌ ගමන් කරන ෙඩ්‍රාaන් යානා සමූහයක්‌ හරහා ලොවට ම අන්තර්ජාල සේවා සැපයීමයි. මීට අමතර ව ලොව අංක එකේ විදුලි මෝටර් රථ සමාගමක්‌ වන ටෙස්‌ලාහි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk ද පසුගිය දා කියා සිටියේ චන්ද්‍රිකා සමූහයක්‌ හරහා ලෝකයට ම අන්තර්ජාල පහසුකම් සැපයීම තමා ඉටු කරගැනීමට බලාපොරොත්තු වන සිහිනයක්‌ බවයි.

මේ කවර ක්‍රමයකින් හෝ වේ වා මීළඟ දශක දෙක තුළ ලෝකයේ විශාල වපසරියකට අන්තර්ජාල පහසුකම් ලාභදායී ව ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කළ හැකියි. ලෝකය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම විශ්ව ගම්මානයක්‌ බවට පත් වනු ඇත්තේ එවිට පමණයි.
අන්තර්ජාලය ඇසුරෙන් 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි, පාදුක්ක.

0 comments:

Post a Comment