September 28, 2015

මාචු පීචු හි සැරිසරමු

 මාචු පීචු ගොඩනගන ලද්දේ ඉන්කාවරු විසිනි. 15 වන ශතවර්ෂයේදී ගොඩ නගන ලදැයි සැලකෙන මෙම අපූර්ව වූ ස්ථානය ඉන්කාවරු විසින් අතහරින ලදි. 1911 වසරේදී ඇමරිකානු ජාතික හිරාන් බින්ග්හැම් විසින් සොයා ගන්නා ලද මාචු පීචු 1983 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවේ එහි ඇති ඓතිහාසික වටිනාකම සලකාය.
       පුදුම උපදවන සුළු නිර්මාණයක් වන මාචු පීචු නැරඹීමට මේ දිනවල සංචාරකයෝ වැල නොකැඩී පැමිණෙති. කුස්කෝ නගරයේ සිට එක්දිනක සංචාරයක් ලෙස මාචු පීචු නැරඹීමට යා හැකිය. හැම දෙනාම පාහේ මෙම අපූර්ව ස්ථානය දැක බලා ගැනීමට අවස්ථාව උදාවන තුරු මග බලා සිටින්නේ එය අරුම පුදුම වූ ස්ථානයක් නිසාමය. මෙය ගොඩැනැගීමට මෙම ස්ථානය ඉන්කාවරු විසින් තෝරා ගෙන ඇත්තේ එම ස්ථානයේ ඇති හුදකලා බව මෙන්ම තේජස නිසාය. මෙම කඳුගැටයේ උදාර බව මෙන්ම යමෙකුගේ අවධානය යොමු නොවීම පූජකවරුන්ට මෙයින් සරණක් ලැබෙන්නට හේතු විය.
       පසුගිය ශත වර්ෂය වනතුරු මාචු පීචු ඉන්කාවරුන් හා දේශිය පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අප්‍රසිද්ධව පැවති ස්ථානයක් විය. මිටියාවතේ පහළ සිට ලංවිය නොහැකි සහ අදෘශ්‍ය මාන ස්ථානයක් ලෙස මාචු පීචු තිබී ඇත. ඉන්කාවරු විසින් අත්හැර දමන ලද ශත වර්ෂ තුනක පමණ කාලය තුල ඝන වලාවෙන් වැසී පැවැතීම මෙම අදෘශ්‍යමාන බවට හේතු වී තිබේ. 1911 වසර අවසාන කාලයේදී ඇමරිකානු සංචාරකයෙකු වූ හිරාන් බින්ග්හැම් විසින් මෙම ස්ථානය සොයා ගනු ලැබුවේ මෙසේ ඝන වනයෙන් වැසී පවතින අතරතුරය.
මාචු පීචු හි ඇති අපූර්වත්වය පිළීබඳව එහි සංචාරය කළ පුද්ගලයෙකුගේ අත්දැකීම් ඇසුරින් අසන්නට ලැබෙන්නේ නම් එයද භාග්‍යයකි. මෙහි පහත පළවන්නේ මාචු පීචුහි සංචාරය කළ පුදගලයෙකු ඒ පිළිබඳව දක්වන ලද අදහස්ය.
           “අහස වළාකුළුවලින් බරවූ දිනක පවා මාචු පීචු නටඹුන් වෙත ළඟාවීම එතරම් පහසු නොවේ. මාචු පීචු වෙත ගමන් කරන අතරතුර ඉන්කාවරුන් විසින් ගෙඩ නගන ලද ඉතා අලංකාරවූ බිම් කබවල් සහ බොහෝ ආකර්ශණිය නටඹුන් පසුකළ යුතු වෙයි.
           සංචාරකයන් බොහෝ විට රාත්‍රිය ගත කරන ඉතා අලංකාරවූ බිම හඳුන්වනු ලබන්නේ හුයිනේ හයානා ලෙසිනි. පඩි දොළහක් සහිත ඉතා උස දිය ඇල්ලක් ඒ තැන පසුබිම් කොට ගලාගෙන යයි.
දිනයක් අවසන් වන මොහොත පැමිණ විට මාචු පීචු වෙත ඇතුල්වන ප්‍රධාන ගේට්ටුව වසා දමනු ලබයි. රැහැයියන්ගේ හා කුරුල්ලන්ගේ නාදයද  පැතිර යයි. ඉන්කා ගල් බිත්ති යෝධයන් සේ නැඟී සිටියි. උරුබාමා ගංගාව ඊට මීටර් සියයක් පමණ පහළින් ගලා බසියි. හරිත පැහැ කඳුගැට හාත්පස විසිර තිබේ.
විශාල ගල් පඩිපෙළවල් චතුරස්‍රාකාර දොරවල් යෙදූ විහාර සංකීර්ණය, නිවාස, දිය මල් ආදිය ඉන්කාවරු විසින් ගො නගන ලද්දේ මීට සහස්‍ර භාගයකට පමණ පෙරය. මෙම අපූර්ව නිර්මාණය මතට සඳ එළිය වැටුණු විට අමුතුම අලංකාරයක් එක් වෙයි.

0 comments:

Post a Comment