March 2, 2017

දරුවන්ගේ ආකල්ප වර්ධනයට මිත්‍රශීලි රොබෝවරු

ඔබේ දරුවාට හො උපදේශකයෙක් ලෙස ක්‍රියාකළ හැකි වීම කෘතිම බුද්ධියේ නවතම වර්ධනයයි. මිත්‍රශීලි රොබෝවරයකුගේ පෞරෂත්වය මඟින් දරුවන්ගේ හැසිරීමට බලපෑම් කිරීමේ හැකියාවක් ඇති බව පර්යේෂණාත්මක අධ්‍යයනයකදී හඳුනාගෙන ඇති බව  වාර්තා වේ. උදාහරණයක් ලෙස මෙම අධ්‍යයනයේදී උද්යෝගීමත් හෝ මධ්‍යස්ථ (උදාසීන) වැනි පෞරෂයන් ඇති රොබෝවරු සමඟ ක්‍රීඩාවේ යෙදීමෙන් දරුවන් විවිධ ක්‍රියාකාරකම් වල වැඩි කාලයක් ගත කිරීමට මෙන්ම ඒ සඳහා අමතර ජවයක් යෙදවීමටද යොමුවන බව පැහැදිලි වී තිබේ.

මේ සඳහා Tega නම් මිත්‍රශීලි රොබෝවරයෙක් භාවිතා කරමින් පර්යේෂණ මාලාවක් දියත් කරමින් අධ්‍යනය සිදු කර ඇත. දරුවන්ගේ හැසිරීම සඳහා Tega ගේ පෞරෂත්වය කෙසේ බලපාන්නේ දැයි දැන ගැනීම සඳහා විවිධාකාර ප්‍රතිචාර දැක්විය හැකි ලෙස Tega ක්‍රමලේඛ කර තිබේ.

පර්යේෂණ මඟින් අපේක්ෂා කළ අවසාන ජයග්‍රහණය නම් දරුවන් තුල සෙමින් ඇතිකර වර්ධනය කළ යුතු ගුණවත් හා නැණවත් චර්යාවන් දරුවාට ලබා දිය හැකි මිතුරෙකු නිර්මාණය කිරීම බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජික හා ඊශ්‍රායලයේ ටෙල්අවිව් විශ්ව විද්‍යාලයේ Goren Gorden ප්‍රකාශ කරයි.

දරුවන් 40 ක් Tega සමඟ ප්‍ර‍හේළිකා තරඟයකට සහභාගි විය. ඉන් ළමයින් 20 ක් ඉදිරියේ Tega උදාසීන (මධ්‍යස්ථ) පෞරෂත්වයක් ඇතිව තරඟ කරන ලදි. එනම් තරඟයෙන් Tega ජයගත් විට මම ගැටළුව විසඳුවා ලෙසද, පරාජය වූ විට ඒක හරි අමාරුයි යන වදන් වලින් ප්‍රතිචාර දක්වන ලදි. එහෙත් ඉතිරි දරුවන් ඉදිරියේ Tega වඩා තරඟකාරි ස්වරූපයකින් (උද්යෝගිමත්) තරඟ කරමින් ජයග්‍රහණය කල විට ඒක හරි අමාරුයි ඒත් මම හොඳින් උත්සහ කර ඔබව පරාජය කළා යැයිද Tega පරාජය වූ විට  ඔබ බොහොම හොඳින් තරඟ කර මා පැරදුවා යැයිද ප්‍රකාශ කරන ලදි.

Tega ගේ මෙම විවිධ වදන් ප්‍රතිචාර මඟින් හැසිරීමේ වෙනස පැහැදිලි කිරීමට අපහසු වුවත් එමඟින් වූ බලපෑම අනුව දරුවන්ගේ ප්‍රතිචාරය පැහැදිලිව හඳුනාගත හැකි විය. දෙවන කණ්ඩායමේ දරුවන් වඩා වැඩි උත්සහයකින් තරඟ කළ අතර පරාජය වූ විට ජයග්‍රහනය සඳහා වූ ඔවුන්ගේ අධිෂ්ඨානය වැඩි වූ බවද මැසචුසෙටිස් (Massachusetts) තාක්ෂණ ආයතනයේ Hae Won Park පවසයි. ඔහු මෙම අධ්‍යයන කණ්ඩායමේ මූලිකයාය.

දරුවන් කතන්දර අසා සිට කතාව තුල ජීවත් වීමට පටන් ගන්නා විට ඔවුන් මවට හෝ කතාන්දරය පවසන්නා දෙසට වඩාත් ළං වෙමින් කතාන්දර කරු (මව) දෙස ඉතා ආශාවෙන් බලා සිටින බව නිරීක්ෂණය කල හැකිය. කෙසේ වෙතත් ඒ ආකාරයෙන් රසවත් ලෙස කතාන්දර කීමට සැමටම නොහැකිය. එහෙත් රසවත් ලෙස කතාන්දර කීම දරුවාට ඉතා වැදගත් වේ.

මේ අනුව දෙපසින් සිටින් වර්ග දෙක එහෙත් පෙනුමින් එකහාසමාන Tega රොබෝවරුන් දෙදෙනකුට කතාන්දරයක් කීමට දරුවන් යොමු කරන ලදි. දරුවා කතාන්දරය රසවත් කර කියන විට දකුණු පස සිටි Tega  කතාන්දරය තුල ජීවත් වන දරුවකු සේ පෙර සඳහන් කළ පරිදි විවිධ ප්‍රතිචාර දක්වමින් දරුවාගේ කතාන්දරය අසා සිටියේය. වම් පසින් සිටි Tega විශේෂ ප්‍රතිචාර නොමැතිව කතාව අසා සිටියේය.  පසුව කළ විමසුමේදී  දරුවන් දකුණු පස සිටි Tega ට කතාන්දර කීමට බොහෝ කැමැත්තක් දැක්වූ අතර දරුවා කෙරෙහි Tega ගේ දැඩි  අවධානය නිසා දරුවා දිගු කථා කීමටත්, සංකීර්ණ දෙබස් භාවිතා කරමින් තම ශබ්ද කෝෂය වර්ධනය කර ගැනීමටත් උත්සහ කළ බව පැහැදිලි විය. 
            
අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

https://youtu.be/sF0tRCqvyT0

0 comments:

Post a Comment