July 28, 2016

විදුලිය නිපදවීම සහ ජල පවිත්‍රකරණය යන දෙකම සිදුකරන සුර්ය පැනල

සූර්ය ශක්තිය යොදාගෙන විදුලිය නිපදවීම අලුත් දෙයක් නෙමෙයි. නමුත්, IBM ආයතනය සහ Airlight Energy ආයතනය එක්ව නිර්මාණය කල අලුත් සුර්ය බන්දේසි (solar dish) විශේෂයක් මගින් විදුලිය නිපදවීම සහ ජලය පිරිසිදු කිරීම යන කාර්යයන් දෙකම සිදු  කර ගන්න පුළුවන්. පිරිසිදු පානිය ජලය හිඟ උෂ්ණ රටවලට මෙම තාක්‍ෂණය භාවිතා කිරීමෙන් විදුලි ගැටලුවට වගේම ජල ගැටලුවටත් එකවර පිළිතුරු සපයා ගන්න පුළුවන්. 

මෙහි භාවිතා කරන්නේ concentrated solar power කියන තාක්ෂණය. ඒ කියන්නේ දර්පණ මගින් සුර්ය ශක්තිය එක තැනකට යොමු කර එමගින් එම ස්ථානයේ සුර්ය ශක්තියේ තීව්‍රතාවය ඉහල නංවා වැඩි විදුලි බලයක් නිපදවීමේ ක්‍රමවේදයයි.

සූරියකාන්ත මලක හැඩය අනුකරණය කරමින් තනා ඇති මේ සූර්ය පැනල වල සුර්ය ශක්තිය එක තැනකට යොමු කිරීම සඳහා දර්පණ 36ක් යොදා ගෙන තියෙනවා. මේ දර්පණ නිපදවා තියෙන්නේ රිදී ආලේපිත ප්ලාස්ටික් විශේෂයකින්. මෙසේ තීව්‍රතාවය ඉහල නංවාගත සුර්යාලෝකය photovoltaic චිප් මතට යොමු කර එමගින් විදුලිය නිපදවීම සිදු කරයි. හොඳින් සුර්යාලෝකය ඇති දිනකදී මෙම එක චිප් එකකින් වොට් 57ක උපරිමයක් නිපදවීමේ හැකියාව තිබෙනවා. මෙවැනි චිප් රාශියක් මේ එක සුර්ය බන්දේසියක ඇති අතර එක් සුර්ය බන්දේසියක් මගින් කිලෝවොට් 12ක විදුලියක් නිපදවන අතරම කිලෝ වොට් 20ක තාප ශක්තියක් ද නිපදවන්න පුළුවන්.
ඉහල තීව්‍රතාවයකින් යුතුව යොමු කෙරෙන සූර්ය රශ්මිය නිසා විදුලිය නිපදවන චිප විශාල රත්විමකට භාජනය වෙනවා. ඒ නිසා ඒවා සිසිලනය කළ යුතුයි. මේ සිසිලනය සඳහා මුහුදු ජලය වැනි බිමට නොසුදුසු ජලය භාවිතා කළ හැකියි. මෙසේ යොදා ගන්නා මුහුදු ජලය මගින් විදුලිය නිපදවන චිප සිසිල් කිරීමේදී, පවතින අධික තාපය නිසා මුහුදු ජලය වාෂ්ප කර එම වාෂ්ප සිසිල් කිරීම මගින් සුපිරිසිදු ජලය ලබා ගන්න පුළුවන්. වර්ග මීටර් එකක වපසරියක් ඇති සූර්ය බන්දෙසියකින් දිනකට පානීය ජලය ලීටර් 30-40ක් පමණ නිපදවිය හැකි බවයි මෙහි නිර්මාපකයින් පවසන්නේ.
විදුලිය මෙන්ම පානීය ජලයද හිඟ උෂ්ණ රටවල් සඳහා මෙය කදිම විසඳුමක් වේවි.

උපුටා ගැනීම :- විදු ලොව
සකස්කළේ :
ප්‍රියංකා ජයකොඩි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
රත්තොට 

0 comments:

Post a Comment