April 9, 2014

ආහාර රසකාරකය MSG ගැන ඔබ දන්නවාද?


මොනෝසෝඩියම් ග්ලුටමේට් හෙවත් MSG යනු දශක ගණනාවක් තිස්සේ ලෝකය පුරා ආහාර නිෂ්පාදනයේදී එක් කරන ආහාර රසකාරකයක් ලෙස හැඳින්විය හැක.  මෙය ග්ලුටමික් අම්ලයේ සෝඩියම් ලවණය වන අතර ස්වාභාවිකව පවතින අත්‍යාවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයකි.

මෙම ලවණය මුලින්ම , 1908 දී ජපන් ජාතික කිකුනේ අකෙඩා විසින් ප්‍රෝටීන බහුල  මුහුදු පැලෑටි වලින් නිස්සාරනය කරන ලදී. නමුත් අද වන විට කාර්මික පැසීමේ ක්‍රියාවලිය මගින් කෘත්‍රීම ලෙස මහා පරිමාණයෙන් MSG නිපදවන අතර ලෝකය පුරා ආහාර නිෂ්පාදනයේදී වැඩිපුරම භාවිතාවන රසකාරකයක් බවටද MSG පත්ව ඇත. 
MSG ඉතා ලාභදායී රසකාරකයක් වන බැවින් සකස් කරන ලද ආහාර වෙළඳාම් කරන ආයතනවල ඉතාම ජනප්‍රිය රසකාරකයක් බවට MSG පත්ව ඇත.

කෙසේ නමුත් MSG භාවිතය පිළිබඳ  මත භේද පවතින බව ඔබ දන්නවාද? ඇමරිකාවේ  FDA (Food and Drug Association)  ආයතනය මගින් MSG සාමාන්‍යයන් ආරක්ෂාකාරී රසකාරකයක් (Generally recognized as safe / GRAS )ලෙස වර්ගීකරණය කර ඇත. 
MSG අඩංගු ආහාර
ඔබ හා  ඔබේ පවුලේ අය දිනපතා ආහාරයට ගන්නා ආහාර වර්ග දහස් ගණනක මෙම MSG අඩංගු බව ඔබ දන්නවාද?
Ø  බෝතල් කරන ලද ආහාර
Ø  සකස් කරන ලද මස් වර්ග
Ø  සැලඩ් ඩ්‍රෙසින්
Ø  චයිනීස් ආහාර
Ø  ක්‍රැකර්ස්
Ø  ජපන් ආහාර
Ø  පැස්ටා වර්ග
Ø   සුප් කැට
Ø  ක්ෂණික නූඩ්ල්ස් වර්ග
Ø  ස්නැක් වර්ග
Ø  වියලි සුප් වර්ග
Ø  ශීත කල ආහාර
Ø  ක්ෂණික ආහාර
Ø  බිස්කට් වර්ග
Ø   ස්ටු වර්ග ආදිය MSG අඩංගු අහාර වර්ග කිහිපයක් පමණි.
MSG අඩංගු නොවන සකස් කල ආහාර   ද්‍රව්‍යයක් සොයා ගැනීම පවා ඉතා දුෂ්කරය.  MSG එකතු කිරීමේ පරමාර්ථය වන්නේ ආහාරයේ රසය වැඩිකර වෙළඳ පොල වැඩි කර ගැනීමයි.

නොමග යවන ආකාරයේ MSG අඩංගු කර ඇති ආකාරයන්  
ඔබ ගන්නා ආහාරවල පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය යටතේ සෘජුවම මොනෝසෝඩියම් ග්ලුටමේට් ලෙස සඳහන් නොකර පහත සඳහන් ආකාරවලින් දක්වා ඇත්තේද MSG ය.

ස්වාභාවික රසකාරක, අනුමත රසකාරක, රසයාමයන්,මෝල්ටඩ් බාර්ලි, වැඩිදියුණු කල ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වාභාවික චිකන් රසය, දැල්ලන් රසය, මාළු රසය, ආහාර පදම් කාරක,සෝයා ප්‍රොටීන්, තන්දුරි චිකන්, ඉරිඟු සිරප්,සෝයා සෝස්,ස්වාභාවික ඌරු මස් රසය, ස්වාභාවික  එළු මස් රසය, ජෙලටීන්,   ස්වයං විච්ඡේදක යීස්ට්( autolysis yeast), බාර්ලි මෝල්ට් , එන්සයිම්ස් පෙක්ටීන්, සිට්‍රික් ඇසිඩ් 
ඔබ යම් සකසන ලද ආහාරයක් ආහාරයට ගන්නේ නම් ඒ සෑම දෙයකම පාහේ සැඟවුනු ආකාරයෙන් MSG අඩංගු වී ඇති බව මතක තබා ගන්න. 
MSG භාවිතය නිසා ඇතිවන ප්‍රතිවිපාකයන් 
      1 .MSG භාවිතය නිසා සමහර පුද්ගලයන් තුල විවිධ කෙටිකාලීන අතුරු ආබාධයන් ඇති වන බව අනාවරණය වී ඇත. හිස කැක්කුම, දහඩිය දැමීම, හිරිවැටීම,ශරීරයේ දැවිල්ල, පපුවේ වේදනාව, හෘද ස්පන්දන ව්‍යාකූලතාවයන් ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. 
     2.      තරබාරු බව ඇතිවීම.
මිනිසුන් මෙන්ම පර්යේෂණාගාර සතුන්ද උපයෝගී කරගෙන කරන ලද පර්යේෂණ අනුව MSG භාවිතය නිසා තරබාරු බව හා දේහ බර වැඩිවීම සිදුවන බව අනාවරණය වී  ඇත.ආහාර රුචිය පාලනය කරන Leptin හෝමෝනයට ඇතිකරන බලපෑම් නිසා මේ තත්වය ඇතිවේ. 
3.      මොළයට හානි සිදුවීම.
MSG මගින් මොළයේ සෛල වලට  හානි සිදු කරන බවත් හෝමෝන පද්ධතියේ අසාමාන්‍යතා ඇති කරන බවත් දැනට සොයාගෙන ඇත.ඇතැම් විට පිළිකා ඇතිවීමට හේතුවිය හැක. 
4.      තද හිසරදය  (Migraine headache)
MSG  භාවිතය නිසා මෙම රෝගී තත්වයන්  ඇති වන බවට  දැනට අනාවරණය වී ඇත 
5.      අක්මාවේ රෝගී තත්වයන් ඇතිවීම.
මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් අක්මාවේ අසාත්මිකතාවයන්
(Liver inflammation)ඇති කර එහි ව්‍යුහික වෙනස්කම් ඇති කරන බවත් පිළිකා තත්වයන්ට හේතු විය හැකි බවත් සොයාගෙන ඇත. 
ග්ලුටමේට් කාණ්ඩයට අයත් වන රසායනිකයන් 5 ක නම් සහ එහි E අංකයන් පහත සඳහන් වේ.
E620   - Glutamic Acid  (ග්ලුටමික්  අම්ලය)
E621   - Monosodium glutamate(මොනෝසෝඩියම්  ග්ලුටමේට්)
E622   - Monopotassium glutamater(මොනෝ පොටෑසියම්  ග්ලුටමේට්)
E623   - Calcium diglutamate (කැල්සියම්  ඩයිග්ලුටමේට්)
E624   - Monoammonium glutamate (මොනඇමෝනියම්  ග්ලුටමේට්)
E625   - Magnesium diglutamate (මැග්නීසියම්  ඩයිග්ලුටමේට්) 
ඔබ ගන්නා ආහාරවල ඇසුරුමේ අඩංගු ද්‍රව්‍ය යටතේ ඉහත E අංකයන් අඩංගුවේ දැයි සැලකිලිමත් වන්න.
 සෞඛ්‍යයට හිතකර ආහාර වේලක රස විදින්න ඔබත් කැමතිද ? 
අලුත් එළවලු , අලුත් පළතුරු  හැකිතාක්   ඔබේ ආහාරයට එක්කර  ගන්න.ආහාර සැකසීමේදී හැකිතාක් දේශීය කුලුබඩු හා දේශීය රසකාරක යොදා ගන්න. සකස්කරන ලද ආහාර බීම වර්ග පරිභෝජනය හැකිතාක් අඩු කරන්න. අවන්හල් වලින් ආහාර ලබා ගැනීම හැකිතාක් අඩු කරන්න.  රසවත් ,නැවුම්, සෞඛ්‍යයට හිතකර, ස්වභාවික ආහාර වේලක රස විදින්න.
  
උපුටා ගැනීම - 
http://www.truthinlabeling.org/
http://foodmatters.tv/articles-1 /the- dangers-of-msg
hptt://en.wikipedia.org/wiki/Monosodium-glutamate


1 comments:

well done. very useful article.

Post a Comment