June 4, 2019

සෑම උදෑසනකම දරුවන්ගේ සෞඛ්‍ය පරික්ෂා කරන දොස්තර රොබෝ


සෑම උදෑසනකම, චීනයේ පෙර පාසැල් 2000 කට වඩා වැඩි සංඛ්‍යාවක සිටින දරුවෝ Walklake (වෝක්ලේක්) නම් රොබෝවක් සමඟ මුහුණට මුහුණ දී තම දිනය ආරම්භ කරති. කරුණාකර ඔබේ සුවතා පරීක්ෂණය සඳහා වෝක්ලේක් ඉදිරිපිට පෙනී සිටින්න යයි පවසන දරුවන්ගේ සෞඛ්‍ය පරික්ෂා කරන රොබෝ තත්පර 3 ක් වැනි කෙටි කාලයකදී අක්ෂි පටල ප්‍රදාහය (conjunctivitis) ඇතුළුව දෙඅත්, දෙපා සහ මුඛ රෝග වැනි කුඩා දරුවන්ගේ විවිධ අසනීප තත්වයන් නිරීක්ෂණය කරන බව වාර්තා වේ. මෙම පෙර පාසල්වල වයස අවුරුදු 2 ත් 6 ත් අතර සියලුම දරුවන්ගේ සෞඛ්‍ය තත්වය වෝක්ලේක් සෑම උදෑසනකම පරික්ෂ කරයි.  

යම් කිසි රෝග ලක්ෂණයක් නිරීක්ෂණය කර දරුවාට ආරක්ෂාව සැපයිය යුතු බව වොක්ලේක් රොබෝ තීරණය කළ විට ඒ පිළිබඳව අදාළ ගුරුවරයාට හෝ පාසැලේ හෙදියට දැනුම් දෙනු ලැබේ. ඉන්පසු රොබෝගේ කාර්ය අවසාන වන අතර දරුවා නිවසට යැවීමට හා ප්‍රතිකාර ලබාදීමට අදාළ බලධාරීන් තීරණය කරන බව මෑතකදී New Scientist හි පළවූ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

පාසැලේ ප්‍රාථමික රොබෝ වෛද්‍යවරයා වූ වොක්ලේක් පෙට්ටියක හැඩයක් හා සිනාසෙන කාටුන් රුපයක් ලෙස නිර්මාණය කර තිබේ. පන්තිකාමරයට ඇතුලත් වීමට පෙර දරුවෝ විනෝද ක්‍රීඩාවක් මෙන් තම ඇස්, උගුර වැනි අංග ඉතා ඉක්මණින් රොබෝට පෙන්වති. කැමරා පද්ධතියකින් හා සංවේදක උපකරණ වලින් සන්නද්ධ වොක්ලේක් දරුවාගේ මුහුණ සහ දෑත් පරික්ෂා කර උණ, උගුරේ ආසාදන වැනි රෝගී ලක්ෂණ සොයා බලයි.

රෝගී තත්ත්ව ඉක්මණින් හඳුනා ගැනීම මගින් රෝගය පාසලේ දරුවන් වෙත ව්‍යාප්තවීම වැළකීම මෙම රෝගාබාධ නිරීක්ෂණයේ එක් මුලික අරමුණක් බව සඳහන් වේ. ඒ සමගම රෝග හඳුනාගැනීමේ කාර්යය සඳහා තත්පර 3 ක් වැනි ඉතා කෙටි කාලයක් පමණක් ගතවේ. විශාල ලෙස ජනතාව එක් රැස්වෙන කාර්යාල, කර්මාන්තශාලා සඳහා මෙවැනි ක්‍රමයක් සේවකයන්ගේ සුවතාවය ආරක්ෂා කිරීමට ප්‍රයෝජනවත් බවත් එය විශාල වෛද්‍ය කාර්යය මණ්ඩලයක් අවශ්‍ය වන සහ සේවකයන්ගේ කාලය වැයවෙන ක්‍රියාත්මක කිරීමට අපහසු කාර්යයක් නොවන බවත් Tufts විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉංජිනේරු Karen Panetta (කැරෙන් පනෙට්ටා) පවසා ඇත.

ඉතා වර්ණවත් ආකර්ශනීය වොක්ලේක් අහිංසක හා අනුපද්‍රිත බව පෙණුනද පරිගණක අපහාරකයන්ට (hackers) රොබෝ තුල එක්රැස් වූ වෛද්‍යමය තොරුතුරු ලබාගැනීමට හැකි විභවයක් ඇතත් පාසල් පරිසරයක් තුල වොක්ලේක්ගේ සේවය අගය කළ යුතු බව Bath විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්ය Joanna Bryson (ජොආනා බ්‍රයිසන්) NewScientist සඟරාවට පවසා තිබේ.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ හර්ෂ ලංකේශ්වර

0 comments:

Post a Comment