April 17, 2019

විද්‍යාඥයන් විසින් ලොව පළමු ත්‍රිමාන මුද්‍රිත හදවත හදුන්වා දෙයි


මිනිස් පටක භාවිතයෙන් ලොව මුල්ම ත්‍රිමාන මුද්‍රිත (3D  Print) හදවත ඊශ්‍රායලයේ  විද්‍යාඥයන් නිර්මාණය කර තිබේ. මෙම පර්යේෂණාත්මක ව්‍යාපෘතිය මෙහෙයවූ මහාචාර්ය Tal Dvir (ටල් ඩ්වීර්) පවසන්නේ මෙම කුඩා ඉන්ද්‍රිය  රෝගියාගේ සෛල වලින්ම සාදා ඇති "ප්‍රධාන වෛද්‍යමය ජයග්‍රහණයක්" ලෙස විස්තර කළ හැකි බවයි.

මෙම ත්‍රිමාන මුද්‍රිත (3D) හදවත සඳහා Tel Aviv (ටෙල් අවිව්) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් රෝගියාගේ සෛල හා ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය භාවිතා කර ඇත්තේ ඒවා රෝගියාගේ ප්‍රතිශක්තික විද්‍යාමය, සෛලීය, ජෛව රසායනික සහ කායව්‍යවච්ඡේද ගුණාංගවලට මුලුමනින්ම ගැලපෙන පරිදිය.

"පසුගිය වසර කිහිපය තුළදී ත්‍රිමාණ මුද්‍රණය ඉතා වේගයෙන් වර්ධනය වූ නමුත් මේ දක්වා රුධිර වාහිනී නොමැති සරල පටක පමණක් ත්‍රිමානව මුද්‍රණය කර තිබේ. ක්‍රියාකාරී මානව ඉන්ද්‍රියන් ත්‍රිමානව මුද්‍රණය කිරීම තවමත් දුරස්ථ සිහිනයකි. එසේවුවද  විද්‍යාඥයන් මෙම සිහින එක් පියවරක් ඉදිරියට ගෙන් ඒමට සමත් වි තිබේ. පර්යේෂණයේ නියමුවකු වන Tal Dvir  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ "අතීතයේ හෘදයේ ව්‍යුහය  ත්‍රිමාණව මුද්‍රණය  කිරීමට මිනිසුන් සමත් වී ඇත්තේ සෛල හෝ රුධිර වාහිනී සමග නොවෙයි. අනාගතයේදී පුද්ගලික පටක සහ ඉන්ද්‍රිය ප්‍රතිස්ථාපනය සාර්ථක  කිරීමේ හැකියාව සදහා විශාල විභවයක් අපගේ ප්‍රතිපල ලබාදී තිබේ.” " මෙම හෘදය මිනිස් සෛලවලින් සහ රෝගියාගේ විශේෂිත ජීව විද්‍යාත්මක ද්‍රව්‍යවලින් සාදා ඇත. කෙසේවෙතත්, මෙම ක්‍රියාවලියේදී එම ද්‍රව්‍ය , සීනි හා ප්‍රෝටීන් වලින් සාදන ලද ජෛව විද්‍යාත්මක තීන්ත (මුද්‍රණයට අවශ්‍ය ) ලෙස  සකස් කර භාවිතා කළා. එම ජෛව විද්‍යාත්මක තීන්ත සංකීර්ණ පටක ආකෘති ත්‍රිමානව මුද්‍රණය කිරීම සඳහා භාවිතා කළ හැකිය.”

ඔවුන් තම පර්යේෂණයේ විද්‍යාත්මක ක්‍රියාවලිය පිලිබඳ  වැඩි විස්තර “Advanced Science” සඟරාව වෙත ලබාදී ඇති අතර එහි රුධිර වාහිනී සිට අවසානයේ මුළු හදවතම අදාළ රෝගියාගේම නිශ්චිත ජීවවිද්‍යාත්මක ද්‍රව්‍ය වලින් ලබා ගත හැකි බවද සදහන් වේ. කෙසේවෙතත්, ඔවුන්ගේ හෘදය මිනිස් බද්ධ කිරීම සඳහා තවමත් සූදානම් නැති බව පවසන කණ්ඩායම "මේ අවස්ථාවේදී අපේ ත්‍රිමාන මුද්‍රණ දක්ෂතාවය හාවෙකුගේ හදවත ප්‍රමාණයේ කුඩා හෘදවස්තුවක්  නිෂ්පාදනයට පමණක් සමත් වී ඇති නමුත් ඒතුල විශාල මිනිස් හදවතක් ත්‍රිමානව මුද්‍රණය කර නිර්මාණය  කිරීමේ තාක්ෂණික විභවයක් පවතිනවා." යැයි පවසයි.

ත්‍රිමාන මුද්‍රණයේ මෙවැනි දියුණුවක් පිලිබඳ ඉඟි මෙම බ්ලොග් පිටුවේ 2014 වසරේ පලකළ“හදවත අච්චු ගැසීම සහ ත්‍රිමාණ මුද්‍රණය යනු කුමක්ද?”යන ලිපි ශීර්ෂය යටතේ පළකර ඇති බවද මෙහිදී සඳහන් කරමි.

අන්තර්ජාලය ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර   
https://youtu.be/aQC2FXDqNCA?t=6

0 comments:

Post a Comment