April 7, 2017

ජලයේ ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පෙරණය


ජලයේ ඇති ලුණු ඉවත් කර පිරිසිදු ජලය ලබා ගැනීමට ග්‍රැෆින් භාවිතා කරන අයුරු විද්‍යාඥයෝ ප්‍රදර්ශනය කලහ. එහෙත් මෙමඟින් මිලියන ගණනාවක ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරාලිය හැකි වේද?

මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායම මේ පිළිබඳව Nature Nanotechnology  සඟරාවේ විස්තර පළකර තිබේ. ජලය පෙරනය කිරීම සඳහා සුදුසු ග්‍රැෆින් පටලයක් හෙවත් ග්‍රැෆින් සිහින් ස්ථරයක් භාවිතා කළ හැකි බව ඔව්හු සනාථ කළෝය.

මින් පෙර ජල පෙරණයක් නිපදවීමට ග්‍රැෆින්  යොදාගැනීමට මෙම විශ්ව විද්‍යාලයේම පරීක්ෂණ කණ්ඩායමක් 2004 වසරේදී උත්සහ කළ නමුත් ඔවුන් නිපද වූ ග්‍රැෆින් පටලය ක්‍රමයෙන් ඉදිමීම නිසා ඒ හරහා කුඩා ලුණු අංශු  ගමන් කරන ලදි. නව නිෂ්පාදනයේදී ග්‍රැෆින් පටලයේ ඉදිමීම වැලැක්වීම සඳහා  පටලය දෙපස ඇලෙන සුළු ලාටු වර්ගයක් භාවිතා කර පටලය ප්‍රසාරණය වීම වලක්වා ඇත.
ග්‍රැෆින් පටලයේ සිදුරු වඩා සියුම්ව පාලනය කිරීමෙන් ලුණු පටලය හරහා ගමන් කිරීම වළක්වා ජලයට පමණක් ඒ තුලින් යෑමට සැලැස්වීමෙන් ජලයේ ලුණු සියල්ල ඉවත් වී පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි විය.

මෙම අධ්‍යයනයේ සම කතෘ සහ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මහාවාර්ය රාහුල් ප්‍රකාශ කරන්නේ ජලයෙන් ලුණු ඉවත් කිරීමට ග්‍රැෆින් පටලය සාර්ථකව භාවිතා කල ප්‍රථම අවස්ථාව මෙය බවයි. මෙම වර්ගයේ ග්‍රැෆින් වඩාත් පහසුවෙන් පාරගම්‍ය ලෙස සැකසිය හැකි බවත් මහා පරිමාණයෙන් ලුණු ඉවත් කර ජලය නිපදවීමට සැලසුම් සකස් කරන බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කර තිබේ.

ලෝක ජනගහනයෙන් 14% කට පමණ වර්ෂ 2025 දි  ජල ඌනතාවයකට මුහුණ දීමට සිදුවන බව එක්සත් ජාතීන් ඇස්තමේන්තු කර ඇති අතර දැනට පවතින පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ සදහා  විශාල වියදමක් දැරීමට සිදුවේ. මේ නිසා ග්‍රැෆින් පටලය මඟින් ජලය පිරිසිදු කිරීම දැරිය හැකි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ් ලංකේශ්වර

https://youtu.be/3db7QHCV5ZU?t=5

0 comments:

Post a Comment